ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්

පසුගිය කාලයේ පැවති වර්ෂාව සහ ගංවතුර බැසයාම හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩිවිය හැකි බවත්, එම නිසා ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කරන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඒ මහතා ප්‍රකාශ කළේ රෝගීන් වාර්තා වන ස්ථානවල අවශ්‍ය දූමායන කටයුතු සිදුකරන බවයි.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින්.

දෙසැම්බර් 01 වෙනිදා මධ්‍යම රාත්‍රිය වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 45,660ක් වාර්තා වී ඇති බවත් ඔක්තෝම්බර් මාසයේ රෝගීන් 2938ක් හා නොවැම්බර් මාසයේ 3178ක් ලෙස ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පෙන්වා දෙනලදි.

මෙම වසර තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 43%ක් බස්නාහිර පළාතෙන්ද, 25%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇතිබව පැවසූ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12.3%ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 9.4%, මහනුවර දිස්ත්‍රික්කයෙන් 8.7%, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 6.3%ක්ද ලෙස වාර්තා වූ බව පවසයි.

කාලීන පුවත්