ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නාලදි.

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයෙන් ඊයේ (27) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

ඊයේ (27) සිට හෙට ( 29) දක්වා තෙදිනක් තුළ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍රයන් සෞඛ්‍ය වෘත්තිකයින්, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කරන අතර ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැනෙයි.

ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් වලට ළඟාවිය නොහැකි ස්ථාන වල මදුරු මර්දන කටයුතු සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය ද යොදා ගැනීමට කටයුතු කරන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ සඳහා දායකත්වය දක්වනු ලබයි.

වර්තමානය වන විට ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා නොවුනත් ඉදිරි මෝසම් වර්ෂා තත්ත්වයන් සමඟ ඇතිවිය හැකි ඩෙංගු මදුරු ව්‍යාප්තිය අවම මට්ටමකින් පාලනය කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රමඛ අරමුණක් වන අතර ජනතා සහභාගීත්වය, සහයෝගය මේ සඳහා ලබා ගැනීම මෙන්ම ජනතාව මේ පිළිබදව දැනුවත් කිරීම ද මෙහි අරමුණකි.

කාලීන පුවත්