ඩොනල්ඩ් ට්‍රම්ප් හිරේ යයි ද?

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොකු අමාරුවක වැටෙන්නට යන පාටක් පෙනේ. ඒ ඔහුට එරෙහිව මේ වනවිට ආරම්භ වී ඇති නීතිමය කටයුත්තක් නිසා ය. ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාවේ ෆෙඩරල් අධිකරණයක අධි චෝදනා ගොනු කර ඇති අතර ඉතා බරපතල චෝදනා රැසක් ඒ අතර වේ. යම් හෙයකින් ට්‍රම්ප් මෙම චෝදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බව නීති විශාරදයන්ගේ අදහස වී තිබේ.

ට්‍රම්ප්ට එරෙහිව පසුගිය දා ඇමරිකාවේ මයාමි හි අධිකරණයක අධි චෝදනා ගොනු කෙරුණේ රාජ්‍ය රහස් ඇතුළත් වැදගත් ලිපි ලේඛන තොගයක් වැරදි ලෙස පරිහරණය කිරීමක් සම්බන්ධයෙනි. ඔහු ජනාධිපති ධුරයෙන් සමුගෙන යද්දී මෙම රහස් ලියැවිලි අඩංගු ලිපිගොනු 300 කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ගොස් ඇතැයි සඳහන් වේ. පසුව මේවා ෆ්ලොරිඩාහි පිහිටි ඔහුගේ පෞද්ගලික මැදුරක තබාගෙන සිට ඇති බවට චෝදනා එල්ල වෙයි. වාර්තාවන ආකාරයට ජාතික ආරක්‍ෂාවට අදාළ ලියකියවිලි රැසක් ද මේ අතර තිබේ. ඇමරිකාවේ න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳ රහස්, හමුදා සැලසුම්වලට අදාළ තොරතුරු, අවි ආයුධ සම්බන්ධ තොරතුරු, විදෙස් ප්‍රහාරයකට මුහුණ දීමේ දී අනුගමනය කරන සැලසුම් පිලිබඳ තොරතුරු ආදිය මෙම ලේඛනවල අඩංගු බව පැවසේ. 

මෙවැනි රාජ්‍ය රහස් අඩංගු ලේඛන ගබඩා කර තැබෙන්නේ ඒ සඳහා අනුමත ස්ථානවල පමණි. ඒවා අතන මෙතන රැගෙන යාම අතිශයින් අනතුරුදායක කටයුත්තක් වන්නේ යම් හෙයකින් එම රහස් වැරදි පාර්ශ්වයක් අතට පත් වුවහොත් ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බැවිනි. ට්‍රම්ප් මෙම ලේඛන තබාගෙන සිටි බව පැවසෙන ඔහුගේ පෞද්ගලික වාසස්ථානය ඒවා තබා ගැනීම සඳහා අනුමත ස්ථානයක් නොවේ. එහි බාල් නැටුම් ශාලාවක සහ නාන කාමරයක තිබී ද මෙම ලේඛන විමර්ශකයන්ට හමුවී තිබිණි. මෙම ස්ථාන බොහෝ පිටස්තර පුද්ගලයන් ගැවසෙන ස්ථාන ලෙස සැලකෙන ඒවාය.

මේ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශණවලට ට්‍රම්ප් බාධා කළ බවට ද චෝදනා එල්ල වී තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති අධි චෝදනාවල ඇතුළත් සමහර චෝදනා ඉතා බරපතල ඒවාය. යම් හෙයකින් ට්‍රම්ප් ඒවාට වැරදිකරු වුවහොත් ඒ එක් එක් චෝදනාව සඳහා වසර 20 ක පමණ සිර දඬුවම් නියම කළ හැකි බව සඳහන් වේ. මෙවැනි චෝදනා හතරක් ඇති බව ද සඳහන් ය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව ෆෙඩරල් අධිකරණයක අධි චෝදනා ගොනු කෙරුණු පළමු වතාව මෙයයි. ඒ අතින් ද මෙය ඉතිහාසගත වන සිද්ධියකි.

ට්‍රම්ප් යනු පසුගිය කාලයේ විවිධාකාරයේ චෝදනාවන්ට ලක් වූ පුද්ගලයකු බව රහසක් නොවේ. නමුත් එම සියලු චෝදනාවලට වඩා මෙම චෝදනා බරපතල බව නීති අංශවල අදහස යි. ට්‍රම්ප්ට එරෙහිව මෙවැනි බරපතල චෝදනා එල්ල වන්නේ ඔහු 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාමයෝජනා දිනා ගැනීමේ සටනට තමා ඉදිරිපත්වන බව ඔහු පසුගිය නොවැම්බරයේ ප්‍රකාශයට පත් කළේය. ඔහු මේ බව නිවේදනය කළේ ද ඉහත කී අධි චෝදනාවලට පසුබිම්වන ෆ්ලොරිඩාහි පිහිටි ඔහුගේ සුවිසල් මන්දිරයේදී ම ය. Mar a Lago යන නමින් හැඳින්වෙන මෙය ඉතා සුඛෝපභෝගී මන්දිරයකි.

රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීම සඳහා වන ට්‍රම්ප්ගේ සටනට ඉහත කී නීතිමය කටයුතු කවරාකාරයෙන් බලපාවිද යන්න ගැන ද මේ වනවිට විශාල සංවාදයක් ඇති වී තිබේ. ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙවැනි චෝදනා ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතුවල දී ඔහුට වාසිදායක ආකාරයෙන් බලපා ඇති ආකාරයක් ද පෙනෙන බවයි. ට්‍රම්ප් ඔහුගේ ආධාරකරුවන්ට පෙන්වා දෙන්නේ තමාව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා විශාල කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවකි. මේ නිසා වඩ වඩාත් ආධාරකරුවන් ඔහු වටා රොක් වෙමින් සිටින බවක් සඳහන් වේ.

රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාම යෝජනා දිනාගැනීම සඳහා මේ වනවිට තවත් ප්‍රබල අපේක්‍ෂකයෝ කිහිප දෙනෙක්ම සටනට අවතීර්ණ වී සිටිති. ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ කාලයේ ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මයික් පෙන්ස් ද ඒ අතර වේ. පසු කාලයේ ට්‍රම්ප් සහ පෙන්ස් අතර යම් යම් මතභේද ඇති වූ අතර ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාකාරකම් පෙන්ස් අනුමත කළේ නැත.

කෙසේ හෝ වේවා, ඉහත කී චෝදනා නිසා ට්‍රම්ප් සිරගත වීමට හැකි බවක් ඡන්දදායකයන්ට ඒත්තු ගියහොත් එය ඔහුගේ ජනාධිපති සටනට යම් බලපෑමක් කිරීමට ඉඩ තිබේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්