ඉතා කුඩාවට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර මහත් පරිශ්‍රමයෙන් එය දියුණු කරගත් යුවළක් වූ ලලිත් සහ මාධවී ඉහළ අධ්‍යාපනයක් ලබා තිබූ අය නොවේ. එසේම ඔවුන් දෙදෙනාටම ඉංග්‍රීසි දැනුමක් තිබුණේ ද නැත.
මේ අනුව කොතෙක් වත් පොහොසත්කම් තිබුණත් ඉහළ සමාජයට යාමට වරම් නැති වීම ගැන ලලිත්ට වඩා තැවුණේ මාධවී ය.
ඒ නිසා තමන්ට අහිමි වූ එම සමාජ තත්ත්වය දරුවන් වෙතින් ඉටු කරවා ගැනීම මාධවීගේ අපේක්ෂාව විය.
ඇගේ දරුවන්ගෙන් වැඩිමලා දියණියකි. බාලයා පිරිමි දරුවෙක් විය. දියණිය ඉගෙනීමට දක්ෂ දැරියක වූ අතර සාමාන්‍ය පෙළ විභාගය ඇය ඉහළින් සමත් වූවා ය. ඉන්පසු නගරයේ ප්‍රසිද්ධ බාලිකාවකට ඇය ඇතුළු කිරීමට මාධවී පිවවර ගෙන තිබිණි. නමුත් එම පාසලට නිවසේ සිට යාම කළ නොහැකි වූයෙන් පාසලට ආසන්නයෙන් ඇනෙක්සියක් කුලියට ගත් මාධවී දියණිය එහි නතර කළේ මෙහෙකාරියක ද සමග ය .
පාසල් යාමට අමතරව සතියේ සෑම දිනකම සවස් කාලයේත්, සති අන්තයේත් අමතර පන්ති රැසකට මෙම දියණිය ඇතුළත් කරනු ලැබුවේ ඇයට ඉහළම අධ්‍යාපනයක් දෙනු රිසියෙනි. පාසල් විෂයන් වලට අමතරව මෙම පන්ති අතරට සංගීතය, මැහුම්, එලකියුෂන් ආදී විවිධ දේවල් ඇතුළත් විය.
මෙම පන්තිවලට දියණිය සහභාගි විය යුතු වූයේ මෙහෙකාරිය සමග ය. ඒ සෑම ගමනක්ම ත්‍රිරෝද රථවලින් යාමට ද මාධවී කටයුතු යෙදුවා ය. සතියකට වතාවක් දියණිය බැලීමට ඇනෙක්සියට ගිය ද ඇය මසකට වතාවක්වත් දියණිය ගෙදරට එක්කරගෙන ආවේ නැත. ඒ ඇයට ටියුෂන් පන්ති පාඩු වන නිසා ය.
ගෙදරට එක්ක යන ලෙස ඇය මවට කරදර කරන හැම වතාවකම මාධවී කීවේ ” ගෙදර ගිහින් නිකන් නට නටා ඉන්න ඕනේ නෑ, පන්ති පාඩු වෙනවා ඒ නිසා පන්ති වලට යන්න” යනුවෙනි. එපමණක් නොව දියණියගේ ඇනෙක්සියට රූපවාහිනියක් හෝ රේඩියෝවක්වත් රැගෙන නොදෙන්නට ද මාධවී වගබලා ගත්තා ය. ඒවා නිසා ඇගේ අධ්‍යාපන කටයුතු මග හැරේවි යන බියට ය.
තමන්ගේ නිදහස සියලු ආකාර වලින් මෙලෙස සීමා වී අධ්‍යාපනය තුළම සිර වන විට දියණියගේ සිතේ තම මව පිළිබඳව මහත් වූ වෛරයක් ගොඩනැගෙන්නට විය. සෑම දිනකම මව පැමිණිවිට ඇය මව හා දබර වූවා ය. එපමණක් නොව සිතේ පිරී පවතින අසහනකාරී හැඟීම් හේතුවෙන් මෙහෙකාරියගේ සුළු අඩුපාඩුවකට පවා මහ හඬින් කෑගසන්නට ද ඇය පුරුදු විණි .
කෙසේ වුවද මෙම දියණිය පන්තියේ ලකුණු අතරින් පළමු දහ දෙනා අතරට පැමිණීමට සමත් වූවා ය. නමුත් මවට අවශ්‍ය වූයේ ඇය පළමු තුන්දෙනා අතරට පැමිණෙනු දකින්නට ය. මේ බව දියණියට පැවසූ පසු දියණිය මවට ගෙනාවේ අපූරු යෝජනාවකි.
” හොඳයි මම ඒක කරන්නම්. හැබැයි මට හොඳ ෆෝන් එකක් අරගෙන ඕනේ”
මව දෙවරක් නොසිතාම ඊට එකඟ වූවා ය. මෙසේ ලකුණු අතරින් පළමු ස්ථානවලට පැමිණෙමින් දියණිය මවගෙන් අගනා ජංගම දුරකථනයක් පමණක් නොව ලැප්ටොප් පරිගණකයක් ද ලබාගත්තේ ඒවා තම අධ්‍යාපනයට අත්‍යවශ්‍ය බව මවට ඒත්තු ගන්වමිනි. තමන්ගේ මෙම අවශ්‍යතා ඉටු කර ගත් පසුව දියණියට අධ්‍යාපනය පිළිබඳව පෙර තිබූ උනන්දුව මඳින් මඳ අඩුවන්නට විය.
මේ අතර දිනක් දියණියගේ පන්ති භාර ගුරුතුමිය මාධවීට පැමිණ ඇය හමු වන ලෙස දන්වා තිබිණි. ඇය පාසලට ගිය විට අසන්නට ලැබුණේ තුන් හිතකින්වත් අසන්නට නොසිතූ කතා පුවතකි.
දියණිය පන්තියේ වැඩ වලට කිසිදු අවධානයක් නොදක්වන බවත්, පන්තියේ අවසාන දහ දෙනා අතරින් කෙනෙකු වන තරමටම ඇගේ අධ්‍යාපන කටයුතු පිරිහී ඇති බවත් පැවසූ ගුරුතුමිය, එපමණකින් ද නොනැවතී ඇය පෙම්වතෙකු ද ඇසුරු කරන බවත් දන්වා සිටි විට මාධවීට දැනුණේ තමන් ක්ලාන්ත වී ඇද වැටෙන්නට එන බවකි.
මාධවී, දියණිය ගෙදර එක්කරගෙන ආවා ය. මෙම සම්බන්ධය නතර කර දමන ලෙස ඇය කොතෙක් කන්නලව් කළත් දියණිය ඒ කිසි දෙයක් අසන තත්ත්වයක සිටියේ නැත. මුලින් බැන වැදී, පසුව හඬා වැටෙමින් ද, ඊළඟට ආදරයෙන්ද ආදී වශයෙන් කොතෙක් කරුණු පැහැදිලි කළත් ඒ කිසිවක් මේ දියණිය පිළිගත්තේ නැත.
” මං කොයි තරම් කිව්වත් අම්මා අම්මා මාව ගෙදර එක්කගෙන ආවෙ නෑ. ආසාවකට සති අන්තයේවත් මට අම්මයි තාත්තයි මල්ලියි එක්ක ගෙදර ගත කරන්න ඉඩ දුන්නෙ නෑ. මං කියපු කිසි දෙයක් අම්මා ඇහුවෙ නෑ. මට කිසි නිදහසකුත් නෑ. අම්මට ඕනේ වුණේ මං විභාග පාස් වෙනවා දකින්න විතරයි. මං කැමති දෙයක් කරන්න මට ඉන්නේ එයා විතරයි. මං කවදාවත් එයාව අමතක කරන්නෙ නෑ. මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනෙ නෑ. මං එයාව බඳිනවා”
දියණිය මුරණ්ඩු ලෙස පවසා තිබිණි. කියූ ආකාරයටම ඇය තම පෙම්වතා සමග හිතුවක්කාර විවාහයකට එළැඹුණා ය.
මේ අතර ඇගේ පුතු ද සාමාන්‍ය පෙළ පන්තියේ දී ම පෙම්වතියක් සොයාගෙන තිබිණි. ඒ සම්බන්ධය කඩා දැමීමට තිබුණු වුවමනාව නිසා පුතු දුර බැහැර ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර එහි නේවාසිකාගාරයේ නතර කරන්නට මාධවී පියවර ගත්තා ය.
එම නේවාසිකාගාරයේ රැඳී සිටියේ ඉහළ සමාජගේ දරුවන් ය. ඔවුන් ළඟ ඕනෑ තරම් මුදල් තිබිණි .මේ අලුත් මිතුරෝ ඉහළ පෙළේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කළහ. මාධවීගේ පුතුද ඉතාමත් ඉක්මනින් මේවායේ ගොදුරක් බවට පත් විය.
සැමියා සමග එක්ව ව්‍යාපාරය ගොඩනැඟුව ද මේ කාලය වන විට මාධවීට ව්‍යාපාරය වෙනුවෙන් මිඩංගු කරන්නට කාලයක් තිබුණේ නැත. එසේම දරුවන් ගේ ක්‍රියාකලාපයන් නිසා ඇගේ මනසද අවුල් වී තිබිණි.
ඒ වෙනුවෙන් සැමියා ද ඇයටම දෝෂාරෝපණය කිරීම තව දුරටත් ඇය මානසිකව ඇද වැටෙන්නට හේතුවක් විය. ව්‍යාපාර කෙරෙහි අවධානය අඩු වීම නිසා ව්‍යාපාර ද පිරිහෙන්නට පටන් ගත්තේය. ඊළඟට සිදුවුණේ මුදල් ප්‍රශ්න ඇති වීමයි. මේ නිසා මාධවිත් සැමියාත් අතර නොයෙකුත් ගැටුම් ඇති වෙන්නට වූ පසු ඇය කළේ සියල්ල අතහැර දියණිය ළඟට යාමයි.
නමුත් එම නිවසේ වූයේ කුඩා කාමරයක් පමණි .
දරුවන් දෙදෙනාම නොමග යාමේ වේදනාව, ව්‍යාපාර පිරිහීමේ වේදනාව, තම පවුල් ජීවිතය අවුල් වී යාමේ වේදනාව යන මේ සියල්ල අකා මකා ගන්නට මාධවීගේ සැමියා මත්පැනට ඇබ්බැහි විය.මේ නිසා ව්‍යාපාර තවත් අඩපණ වී ඔවුන්ගේ පවුලේ තත්ත්වය තවදුරටත් විනාශ වී යාමට පාර කැපිණි.
දියණියගේ නිවසේ වැඩි දවසක් ගත කරන්නට මාධවීට අවකාශය ලැබුණේ නැත. මව කෙරෙහි වූ වෛරය දියණියගේ සිතේ නොනැසී පැවතීම නිසා ඇය නිතරම මව හා ගැටුම් ඇති කර ගත්තාය.
ඒ අනුව ඇයට දියණිය අතහැර යළි මහ ගෙදරට යාමට සිදු විය. නමුත් ඒ වන විට ව්‍යාපාර සියල්ල අඩපණ වී වසා දමා පැවතියේය. ඇයට සැමියාත් නැත, දරු දෙදෙනාත් නැත. මෙසේ ටික කලක් ගතවන විට මාධවී ට නින්ද යාම අඩු විය. කෑම රුචිය ද නැතිවී ගොස් පැවැතියේය. සියලු දේ අහිමි ව ඇය විශාද රෝගියකු බවට පත් වී තිබිණි.
” මං හැමදේම කළේ දරුවන් ව හොඳ තැනකට ගේන්න.නමුත් මට ඒක කරන්න බැරි වුණා. අන්තිමේ මට දරුවනුත් නෑ මගේ සැමියාත් නෑ. අනික් සියලුම දේත් නැති වුණා ”
සැබැවින්ම මෙහිදී වරද සිදුවී තිබුණේ මාධවීගෙන් වුවත් ඇය එය පිළිගත්තේ නැත. ඇගේ තර්කය වූයේ ” අපට ඒ කාලේ ඉගෙන ගන්න කිසිම පහසුකමක් තිබුණෙ නැහැ. ඒත් අපේ දරුවන්ට හැම පහසුවක්ම දුන්නා .එයාලට තිබුණෙ ඉගෙන ගන්න විතරයි .ඒත් ඒ ටිකවත් කරන්න ඔවුන්ට බැරි වුණා”
මාධවී තදබල ලෙස විශාද රෝගයෙන් පීඩා විඳිමින් සිටි නිසා දිගින් දිගටම ඇයට රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන්නට සිදු විය.
විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
ඉන්දු පෙරේරා