තමුසේ උන්නැහේ යනුවෙන් ඇමතුම් ලබන අපේ දෙවි වරු

‘තමුසේ’ යන වචන නූතන ව්‍යවහාරයට අනුව ගරුසරු නොමැති ආමන්ත්‍රණයකි.කොටින්ම අද සමාජයේ කිසිවකුත් තමුසේ යනුවෙන් ඇමතුම් ලැබීමට කැමති නැත. එහෙත්, මෑතක් වනතුරුම එය වැදගතුන් ඇමතීම පිණිස වන තමුන්නාන්සේ යන වදන කෙටි කොට දැක්වීමක් ලෙස ව්‍යවහාර වී තිබේ. ඒ සඳහා වන කදිම නිදසුනක් ලෙස දහ නව වැනි සියවසේ අග භාගයේ සහ විසි වැනි සියවසේ මුල් භාගයේ මෙරට ජාතික ශාසනික පුනර්ජීවනය සම්බන්ධයෙන් අති උදාර මෙහෙවරක් සිදු කළ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් පවා සමකාලීන සමාජයේ මුදලිවරුන් ඇතුළු ප්‍රභූවරුන් ලිපි මගින් පවා ‘තමුසේ’ යන ආමන්ත්‍රණයෙන් හඳුන්වා තිබීම දැක්විය හැක. එසේම මීට දශක කිහිපයකට ඉහත අප සමාජයේ කිසියම් ගෞරවාදරයකට ලක් වූ පුද්ගලයන් හැඳින්වීම පිණිස යොදන ‘උන්නැහේ’ යන්න ද එවන් ගෞරවවාචී පදයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවිය හෙබ වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බොහෝ ජනමාධ්‍ය ආයතනවල ඉල්ලීම පෙරදැරිව මාධ්‍ය හමුවකට සහභාගි විය. එහි දී එක් මාධ්‍යවේදියකු හිටපු ජනාධිපතිවරයාගෙන් නැඟූ ප්‍රශ්නය වූයේ ‘ඔබතුමාගේ එකම පුතා රවි ජයවර්ධන මහත්තයාත් දේශපාලනයට එන බවට කතා පැතිර යමින් තිබෙනවා. ඒක ඇත්තක්ද?’ යනුවෙනි. එවිට ජේ.ආර්. ජයවර්ධන මහතා ඊට දී ඇති ක්ෂණික පිළිතුර වූයේ ‘මම නම් එහෙම දෙයක් දන්නේ නෑ.’ යනුවෙනි. ඒ සමගම ඔහු ‘ඇයි උන්නැහේ එහෙම දෙයක් කියලා තියෙනවද?’ යනුවෙන් එම මාධ්‍යවේදියාගෙන් අසා තිබේ. හිටපු ජනාධිපතිවරයා එලෙස මාධ්‍යවේදීන් හමුවේ ‘උන්නැහේ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ඇත්තේ සිය එකම පුතණුවන්වය.

වර්තමාන සමාජයේ නොවැදගත් ව්‍යවහාරයන් වී ඇති ‘තමුසේ’ සහ ‘උන්නැහේ’ යන වදන් මීට සියවස් කිහිපයකට පෙර අප සමාජයේ කෙතරම් සම්භාවනීයත්වයකට පත්ව තිබිණද යත් එවක සමාජය දෙවිවරුන් පවා ‘තමුසේ’ ‘උන්නැහේ’ යනුවෙන් හැඳින්වීමෙන් සනාථ වෙයි.

“මින්නේරියේ හත් රජ්ජුරු දේවතා බණ්ඩාර උන්නාන්සේ දේසේ සිට ගල් පවුරකින් සහ පිරිවරින් වැඩම කොට යාපා පටුනට ගොඩ බසින වේලේ ඒ පිරිවරට පන්දම් අල්ලා ඒ පවුරෙන් ගොඩ බසින්නට උදව් කළේ තමුසේත් තමුන්නාන්සේගේ පිරිවර බව සත්‍යවාදී නම් සැබෑ වී නම්…..” ආදී වශයෙන් වන අවතාර දේව කන්නලව්වක් මින්නේරි දෙවියන් සම්බන්ධ විමර්ශනයක දී මට හමු වී තිබේ. හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ එන ‘කළුදෑකඩ කුමාර කවි’ නම් පද්‍යාවලියේ එන මෙම අවතාර දෙවියන් මින්නේරි වැව ඉදි කිරීමේ දී මින්නේරි දෙවියන්ගේ සහායකයකු ලෙස කටයුතු කළ බව ජනප්‍රවාදයේ සඳහන් ය. යමකුගේ දේශපාලන ප්‍රවර්ධනය සඳහා අනුග්‍රහ දැක්වීම අදත් ‘පන්දම් ඇල්ලීම’ යනුවෙන් හැඳින්වෙන අතර මින්නේරි දෙවියන් සඳහා අවතාර දෙවියන්ගේ ඒ පන්දම් ඇල්ලීම සහ පන්දම් ඇල්ලීම නම් වන දේශපාලන අව වහර අතර ඍජු සබැඳියාවක් තිබේ දැයි කීමට මට නොපුළුවන.

‘උන්නාන්සේ’ යන වදනේ හැකිළවීමක් සේ සැලකිය හැකි ‘උන්නැහේ’ යන්නෙන් ඇතැම් ප්‍රාදේශීය දෙවිවරුන් හැඳින්වෙන අතර කඩවර සහ කම්බිලි යන දෙවිවරු ඒ අතුරින් ප්‍රධානත්වයට පත් වෙති. ඇතැම් තැනක දෙමස්සිනා වරුන් ලෙස ද හැඳින්වෙන කඩවර කම්බිලි දෙවිවරුන් හැඳින්වීම පිණිස කඩවර උන්නැහේ, කම්බිලි උන්නැහේ සේම කරවර කම්බිලි උන්නැහේලා යනුවෙන් හැඳින්වීමට ද නුවර කලාවිය, හත්කෝරලය ආදී ප්‍රදේශවල ගැමි ජනතාව පුරුදුව සිටිති.

මේ අතර ඍජුවම උන්නැහේ යනුවෙන් හැඳින්වෙන ප්‍රාදේශීය දෙවි කෙනෙකු ලග්ගල ප්‍රදේශයේ ඇදහීමට ලක් වන අතර ඒ දෙවියන් හඳුන්වනු ලබනුයේ ‘අඩුක්කු ගත්ත උන්නැහේ’ යනුවෙනි. වී අස්වැන්න ගෙනෙනු ලබන කමතට අමනුෂ්‍ය දොස් එල්ල නොවීම පිණිස කමත මැද ස්ථාපිත කෙරෙන ආරක්ෂිත ස්ථානයේ හෙවත් අරක් වළේ පොල් ගෙඩිය ගෙන ඉන් කිරි උතුරුවා අඩුක්කුව තැබීමේ දී මින්නේරි දෙවියන්, පනම් දෙවියන් සමග මේ අඩුක්කු ගත්ත උන්නැහේ ද ඒ පූජාවට එක් කර ගැනීමට ලග්ගල ගොවීහු කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳ විශිෂ්ට අධ්‍යයනයක් කළ පී.ජී. සෙලිග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් යුවළ ලියූ ථෙ Vaddas (1911) කෘතියේ මෙම අඩුක්කු ගන්න උන්නැහේ පිළිබඳ සඳහන් කොට ඇත්තේ ‘අඩුක්කු ගන්න හුලවාලි යකා’ යනුවෙනි. එම කෘතියේ දැක්වෙන ජන ප්‍රවාදයට අනුව මහසෙන් රජු මින්නේරි වැව තැනීම සඳහා යොදා ගත් තෙත් බිම ඒ දක්වා එම ප්‍රදේශයේ වැදි ජනතාවගේ පාරම්පරික දඩබිමක්ව තිබී ඇත. එබැවින් රජුගේ එම ප්‍රයත්නයට එරෙහිව එම වැදි ජනතාව සටනට මෙහෙයවූ නායකයකු එම සටනේ දී රජු අතින් ඝාතනය වී තිබේ. ඉතා කඩවසම් හැඩිදැඩි තරුණයකු වූ ඔහු පසුව ‘අඩුක්කු ගන්න උන්නැහේ’ නමින් සිංහල ජනතාව අතරේ පවා දේවත්වයට පත්ව තිබේ. ඒ අනුව මනාව වැඩුණු සිරුරකින් යුතු කඩවසම් තරුණයකුගේ ස්වරූපයෙන් සුදු පිරුවට හැඳ සැරයටිය ද අතින් ගත් ස්වරූපයක් දක්වන මෙම ‘අඩුක්කු ගන්න උන්නැහේ’ දෙවියන් රෝග සුවය සහ සශ්‍රීකත්වය උදෙසා අදහනු ලබන දෙවියකු ලෙස ප්‍රකට වී තිබේ.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය