තරුණ පෙනුම දිගු කලක් පවත්වා ගැනීමට ඕනෑම කාන්තාවක් කැමති ය. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ආලේපන හා විටමින් වර්ග භාවිතා කිරීම මෙකල සුලබවම සිදුවන්නකි. කාන්තාවන් මෙවැනි දේ භාවිතා කරන අතරේ ලිංගික දුබලතා මඟහරවාලන සහ උත්තේජනය වැඩි කරවන ඖෂධ කෙරෙහි පිරිමින් තුළ වැඩි ඉල්ලුමක් ඇති බවද නොරහසකි.
කාන්තාවන්ගේ සම රැලි වැටීම හා ඒ අනුව වියපත් පෙනුමක් දිස් වීම වැනි දෑ ජීව විද්‍යාත්මකව බලන විට රෝග තත්ත්වයන් නොවේ. ඒ, සොබා දහමයි. නමුත් මහලු වන්නට කැමති කාන්තාවක් මේ ලෝකයේ ඇතැයි සිතිය නොහැකිය.
මේ තත්ත්වයන් ඉලක්ක කර ගනිමින් ලොව විවිධ ඖෂධ හා රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් තරුණ පෙනුම ආරක්ෂා කරගත හැකි ආලේපන වර්ග, ඖෂධ හා විටමින් ආදිය වැඩි වැඩියෙන් නිපදවනු ලබයි. මේවාට ලොව පුරා ඇත්තේ අතිශය ඉහළ ඉල්ලුමකි.
අප ඉහත ද සඳහන් කළ ආකාරයට මෙකල පිරිමින් තුළ ලිංගික දුබලතා ඇතිවීමට බලපාන එක හේතුවක් වන්නේ බහුලව පවතින මානසික විඩාව සහ ආතතියයි. රැකියාව පැත්තෙන් බලන විට ජීවත්වීමට ප්‍රමාණවත් තරමේ වැටුපක් නොලැබීම, රැකියාවේ ස්ථීර භාවය පිළිබඳව ගැටලු වැනි නොයෙකුත් ප්‍රශ්න තිබේ. අපේ රටේ ජනතාවට ජීවත් සරිලන වැටුපක් තමන්ගේ රැකියාව තුළින් ලැබෙන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණි. මේ නිසා තමන් කරන රැකියාවට අමතරව ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පාදනය කර ගැනීම සඳහා තව තවත් ආදායම් මාර්ග සොයා ගන්නට වැඩි පිරිසකට සිදුවී තිබේ.
රැකියාවේ ප්‍රශ්න මෙලෙස පවතිද්දී ඒ හැරුණු විට ගෙදර දොරේ තවත් නොයෙකුත් ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රශ්න, ගෙවල් කුලී ප්‍රශ්න, දිනෙන් දින ඉහළ යන ලයිට් බිල් වතුර බිල් ගෑස් මිල ආදිය මෙන්ම රටේ වර්තමානයේ පවතින ආර්ථික උද්ධමන තත්ත්වය ද අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මානසික ආතතිය අධිවේගයෙන් ඉහළ නංවන්නට හේතු වී තිබේ.
අනෙක් අතට තරුණ වයසේදී නිසි ආර්ථික තත්ත්වයක් සලසා ගැනීමට බොහෝ පිරිමින්ට තිබෙන අවස්ථා අඩු ය. එයට හේතුව වන්නේ ද රැකියාවක් නැතිකම හෝ තමන් කරන රැකියාවට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම ය. මේ නිසා පිරිමින්ට තමන්ගේ විවාහය දවසින් දවස කල් දමන්නට සිදු වේ. නිසි වයසේදී විවාහ වන්නට නොලැබුණු විට ඇති වන මානසික බලපෑම මත ලිංගික දුබලතා ඇතිවිය හැකි අතර, අනෙක් අතට ඔවුන් වැරදි ලිංගික චර්යාවන්ට නැඹුරුවීමේ වැඩි අවකාශයක් තිබේ. නීත්‍යානුකූලව තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි වන විට අසම්මත හා ශිෂ්ඨ සමාජය පිළි නොගත් ක්‍රම ඔස්සේ කායික සතුටක් ලැබීමට වෙර දැරීම මිනිස් ස්වභාවයයි. මේවායින් ඇතිවන මානසික බලපෑම හා පීඩනය අවසානයේ ලිංගික දුබලතාවක් දක්වා යාමට පහසු අවකාශයක් සලසයි.
අපේ වැනි රටවල තිබෙන මෙවැනි ගැටලු ලොව ඖෂධ සමාගම්වලට මුදල් ආකර බවට පත් කර ගන්නට ඉතා පහසු හැකියාවක් ලැබී තිබේ. එනිසා මේවා ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වී ඇත.
මේ අනුව පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කරවන හා දුබලතා දුරු කරන ඖෂධ, කාන්තාවන් සඳහා මෙන්ම පිරිමින්ට ද සරිලන රූපලාවන්‍ය ඖෂධ සහ ආලේපන ආදියද විශාල වශයෙන් අපේ රටට නොයෙකුත් සමාගම් මගින් ගෙන්වනු ලබයි. මේවා බොහොමයක් ලියාපදිංචි කළ ඖෂධ නොවේ. සමහර ඒවා ගෙන්වන්නේ ආයුර්වේද හා ස්වභාවික ශාකසාර වැනි නොයෙකුත් ලේබල් යටතේ ය. සූක්ෂම ලෙස මෙරටට රිංගා වෙළඳපොළ ආක්‍රමණය කර තිබෙන මේ ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව (over the counter ක්‍රමයට) ඖෂධයේ නම පමණක් පවසා ෆාමසිවලින් මිලදී ගැනීමේ හැකියාවද ඇත.
අන්තරායකර ඖෂධ විධිවිධාන පනත යටතේ සමහර ඖෂධ වර්ග විශේෂඥ වෛද්‍යවරුන්ට මිස සාමාන්‍ය වෛද්‍යවරයකුටවත් නිර්දේශ කළ නොහැකිය. ඒවා ෆාමසිවලින් මිලදී ගත හැක්කේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණි. නමුත් මෙවැනි ඖෂධ නාමවලට සමාන නම්වලින් යුතු ඖෂධ වර්ග දැන් වෙළෙඳ පොළේ ඇති අතර ඇතැම් විට විශේෂඥ වෛද්‍යවරුන් පවා මේ වෙළඳ නාම අනුව නොමඟ යන අවස්ථා තිබේ .මෙබඳු ඖෂධ පිළිබඳ නිවැරදි තක්සේරුවක් කළ හැකි ආයතන ද අපේ රටේ නැත.
සමහර බටහිර ඖෂධ වර්ග අතර අතුරු ආබාධ වැඩි ඖෂධ තිබේ. එවැනි ඖෂධ වෛද්‍යවරුන් රෝගීන්ට නිර්දේශ කරන්නේ රෝගයේ තත්ත්වය හා අතුරු ආබාධ පිළිබඳ තුලනය කර අතුරු ආබාධවලට වඩා රෝග තත්ත්වය ප්‍රබල නම් පමණි. නමුත් වෙළඳපොලේ ඇති වෛද්‍ය නිර්දේශයකින් තොරව මිලදී ගත හැකි ලිංගික දුබලතා නැති කරන බව කියන ඖෂධ, තරුණ පෙනුම ආරක්ෂා කර දෙන බව පවසන නොයෙකුත් ඖෂධ ආදිය සම්බන්ධයෙන් එවැනි මූලාශ්‍ර කිසිවක් නැත. ඒවායෙන් මතු සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳව දැනගත හැකි ක්‍රමයකුත් නැත. ඒ, ඒවායෙහි ඇති රසායනික සංයුතිය පිළිබඳව සොයා බැලීමට ක්‍රමයක් නොතිබීම නිසාය. මේවායේ අඩංගු විස්තර පත්රිකාවලවත් ප්‍රමාණවත් විස්තර නොමැත.
අපි ස්ථුල භාවය ගැන බලමු. මෙය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම බලපා තිබෙන ලොකු ගැටලුවක් වුවත් පිරිමින්ට වඩා ස්ථුල භාවය ගැන ළතැවෙන්නේත්, එය නැති කරගෙන සිහින් වන්නට උත්සාහ කරන්නේත් කාන්තාවන් ය.
සමහර කාන්තාවන්ට ස්ථුලභාවය ප්‍රශ්නයක් වී තිබෙන අතරේ සමහර තරුණියන්ට අධික කෙසඟ බව ප්‍රශ්නයක් වී ඇත. කෙසේ වුවත් මේ දෙකටම සරිලන ඖෂධ වෙළඳපොලේ පවතී. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සමහර රෝගවලට මිස සෑම රෝගයකටම ප්‍රතිකාර නැත. එසේම සෑම රෝගයකටම ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ද නැත. ස්ථුලභාවය පිළිබඳවම සැලකුවහොත් ව්‍යායාම නැතිකම සහ පිටි, තෙල් හා පැණි රස ආහාර වැඩි වැඩියෙන් ගැනීම හේතුවෙන් ද සමහරු ස්ථුල භාවයට පත්වෙති. තවත් සමහර අය ස්ථුල වන්නේ ශරීරය තරබාරු කරවන කිසියම් රෝගයක් නිසා ය. මෙහිදී දෙවනුව කී කරුණට ඖෂධ නියම කිරීම වෛද්‍යවරුන් විසින් සිදු කළද මුලින් කී කාරණයට ඖෂධ නැත. එනිසා පළවෙනි කරුණේදී කළ හැක්කේ ව්‍යායාම ගනිමින් ආහාර පාලනය කිරීම ය.
නමුත් අපේ රටේ ඕනෑම කෙනෙකුට ෆාමසියකට ගොස් “ඇඟ කෙට්ටු කරන බෙහෙත්” යැයි පවසා මිලදී ගැනීමේ හැකියාව ඇත. මේවායින් පසුවට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක ගැන මේ ජනතාවට දැනුමක් නොමැත. ඒ ගැන දැනුවත් විය හැකි ක්‍රමයකුත් නැත. අන්තිමේ ඒවායේ අතුරු ඵල වශයෙන් විවිධාකාර රෝගාබාධ දායාද කරගෙන දුක් විඳින්නට ඔවුනට සිදු වේ.
රූ සපුව වර්ධනය කරගැනීම, වියපත් බව පාලනය කිරීම ආදිය සඳහා කාන්තාවන් බහුල ලෙසම භාවිතා කරන විටමින් E ගැන බලමු. මෙය මේදයේ දියවන විටමින් වර්ගයක් නිසා අධික ලෙස ගැනීම තුළින් සිදු වන්නේ ශරීරය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත් පසු ඉතිරි කොටස සිරුර තුළ ම තැන්පත් වීම ය. ජලයේ දියවන විටමින් නම් සිරුරට වැඩිපුර ගන්නා ප්‍රමාණය මුත්‍රා සමඟ සිරුරින් ඉබේම බැහැර වී යයි. නමුත් මේදයේ දියවන විටමින්වල වැඩිපුර ඇති ප්‍රමාණය ශරීරයේ ම තැන්පත් වූ පසු ඒවා ඉවත් කළ නොහැකිය. අන්තිමේ මේදය අධික ලෙස තැන්පත් වීමෙන් විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වන්නට සිදු වේ. එනිසා විටමින් ගත යුත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණි.
තවත් උදාහරණයක් ගනිමු.
අවුරුදු 18, 20 වැනි වයස්වල තරුණයන් තම මස්පිඩු වර්ධනය කර ගන්නට කැමැති ය. මෙය ඒ වයසේ ඇතැම් තරුණයන් තුළ ඇති ස්වභාවික ආශාවකි. මේ නිසාම මාංශපේෂි වර්ධනය කරන විටමින් සහ කිරිපිටි වර්ග ද වෙළෙඳ පොළේ පවතී. මේ සමහර කිරිපිටි ඉතාමත් මිල අධික ය. මේවා මගින් මාංශ පේශීන් පිම්බී එන බව සැබෑය. නමුත් එවැනි ප්‍රතිඵලයක් ඉක්මනින් අත් වන්නේ කෙලෙසද ? මාංශ පේශි වේගයෙන් වර්ධනය කරවන හෝමෝන වර්ග මෙම කිරිපිටි සහ ඖෂධ වර්ගවල අඩංගු ය. නමුත් මේ හෝමෝන නිසා අපේ ශරීරයේ අන්තරාසර්ග පද්ධතියේ සමතුලිත බව බිඳී යයි.
සොබාදහම ඕනෑම දෙයක් අපට හිමිකර දී තිබෙන්නේ අපට අවශ්‍ය ප්‍රමාණයට ය. අප ඒවා අපේ ඕනෑ එපාකම්වලට අනුව වෙනස් කරන්නට යාම තුළින් ලැබෙන දඬුවම් බොහෝ විට අපට ඔරොත්තු නොදෙන ඒවා විය හැකිය. මෙහි නරකම ප්‍රතිඵලය නම් අවුරුදු 20, 22 වැනි කාලවලදී ගන්නා මෙවැනි ඖෂධ හා ආහාර ද්‍රව්‍ය නිසා ලැබෙන අහිතකර ප්‍රතිවිපාක විඳින්නට සිදු වන්නේ අවුරුදු 40, 45 පමණ වන විට වීමය. නමුත් ඒ කාලය වන විට අවුරුදු විසි ගණන්වලදී භාවිතා කළ අර ඖෂධ හා ආහාර ගැන ඔබට මතකයකුත් නැත. මතක තිබුණත් “ඒවා අරන් අවුරුදු විස්සකටත් වැඩියි නේ. දැන් කොහොමද ඒවායේ නරක ප්‍රතිවිපාක ලැබෙන්නේ?” යනුවෙන් ඔබ එය අවඥාවෙන් බැහැර කළ හැකිය.
ඔබට මතක නැති වුණාට ශරීරයට ඒවා මතක ය. ඔබ ඒවා අවඥාවෙන් බැහැර කළාට ශරීරයට ඒ එකක්වත් විහිළු වන්නේ නැත. ඒ අනුව ඔබ ඔබේ ශරීරය තුළට ලබාදුන් සෑම හොඳ හා නරක දේකම ප්‍රතිඵල ශරීරය ඔබට අමතක නොකරම ලබා දෙනු ඇත. නරක දේවල් වැඩි වැඩියෙන් ඔබ ශරීරයට දෙන විට ඒවා දරා ගන්නට බැරි සීමාවේදී තවදුරටත් ඔබව නිරෝගීව තබන්නට ඔබේ ඉන්ද්‍රියන්ට නොහැකි වේ. එහි ඊළඟ පියවර වන්නේ ඔබ තුළින් විවිධ රෝග ලක්ෂණ මතුවීම ය. ඊළඟට ඔබ රෝගියෙකි. ඒ වෙද්දී සමහර විට ඔබ ප්‍රමාද වැඩි වෙන්නටත් පුළුවන.
උදාහරණයක් ලෙස අපි මාංශ පේශී වර්ධනය සඳහා දෙන හෝමෝනමය ඖෂධ හා ආහාර ගැන ගනිමු. මේවායින් වර්ධනය වන්නේ අත් පා ආදියේ මාංශ පේශි පමණක්ම නොවේ. අපේ හෘදය වස්තුව ද මාංශ පේශීවලින් සෑදුන ඉන්ද්‍රියකි. ඔබ ගත් හෝමෝන නිසා එහි මාංශ පේශි ද වර්ධනය වී හෘදය වස්තුව විශාල වෙයි. පමණට වඩා හෘදයේ මාංශපේශි විශාල වීමෙන් කල් ගතවන විට හෘද මාංශ පේශි අඩපණ වීමක් සිදු විය හැකිය. ඒ අනුව අවුරුදු ගණනකට පසුව ඔබ නොදැනීම හෘද රෝගියකු වී ඇත.
කණගාටුවට කරුණ වෛද්‍ය නිර්දේශ වලින් තොරව ගන්නා මෙවැනි දෑ ගැන සොයා බලන්නට කිසිවකුත් නොවීම ය. රජය මෙවැනි දේ සම්බන්ධයෙන් මැදිහත් නොවුණහොත් අපේ රටේ ජනගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් නුදුරු අනාගතයේ දීම රෝගීන් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සමග කරන ලද සාකච්ඡාවකි. ඉන්දු පෙරේරා