තවමත් බොහෝ දෙනෙක් නොදත් සුනඛ සහ බළල් සුරතලුන්ගේ අගය

” මම මිනිසුන්ගේ ස්වභාවය වටහා ගන්නා තරමටම මගේ සුනඛයාට වැඩි වැඩියෙන් ආදරය කරමි” යනුවෙන් පැවසුවේ සුප්‍රකට බටහිර දාර්ශනිකයෙක්.
එයින් ඔහු මතු කරන ලද අරුත වූයේ ගතිගුණ අතින් මිනිසාට වඩා සුනඛයා ඉහළින් සිටින බවයි.
වොෂින්ටනය ලෝකයේ බලවතා වන ඇමරිකාවේ අගනුවරයි. ඒ අනුව එය ද ලොව බලවත් නගරයක් ලෙස සැලකෙන අතර එහි මිනිසුන් අතර බල ලෝභය සහ තරගකාරිත්වය ද වැඩි බව පිළිගැනීමක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපූරු කතාවක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන හැරී එස්. ටෲමන් පවසා තිබුණා.
” ඔබට වොෂින්ටනය තුළ මිතුරකු අවශ්‍ය නම් සුනඛයකු හදාගන්න”
ඒ ජනාධිපති ටෲමන් ගේ අදහසයි.
සුනඛයා මිනිසාට මොනතරම් හිතෛෂිවන්තයකු ද යන්න පෙන්වන්නට මෙය අගනා සාධකයක් . සුනඛයන් සම්බන්ධයෙන් මෙබඳු කතා බොහොමයක් තිබෙනවා.
ඇමරිකානු විකට කතා රචකයකු වන ජොෂ් බිලින්ස් වරක් මෙසේ ලියා තිබුණා.
“ඔබ ඔබට ආදරය කරනවාට වඩා වැඩියෙන් මේ මිහිතලය මත ඔබට ආදරය කරන අයකු ඇතිනම් ඒ සුනඛයා ය.”
නමක් පිළිබඳව ප්‍රකට වී නැති අඥාත ලේඛකයකු විසින් සුනඛයා පිළිබඳව පවසා තිබූ ආදරණීය වදන් පෙළක් මෙලෙස දක්වන්න පුළුවන්. සැබැවින්ම එය ඔබේ සිත ද ඔබේ සුරතලා සම්බන්ධයෙන් මහත් සතුටින් පුරවාලන්නට සමත් වේවි.
” ඔහු ඔබේ මිතුරා ය. ඔබේ සහකරුවා ය. ඔබේ ආරක්ෂකයා ය. ඔබේ සුනඛයා ය.
ඔබ ඔහුගේ ජීවිතය යි. ඔහුගේ ආදරය යි. ඔහුගේ නායකයා යි. හදවතේ අවසන් ගැස්ම දක්වා ම ඔහු විශ්වාසවන්ත ලෙස සැබැවින්ම ඔබේ ම වී හිඳිනු ඇත. එවන් කැපවීමට හිමිකරුවකු වන්නට සුදුසු වීම ඔබේ වගකීමයි”
සුප්‍රකට මාක් ට්වේන් නමැති ලේඛකයා සුනඛයන් ගැන පවසා තිබූ මේ කතාවෙන් මිනිසා සහ සුනඛයා අතර තිබෙන ප්‍රබල වෙනසක් මතුකර දක්වා තිබෙනවා. සැබැවින්ම සුනඛයන් ගැන සිතන විට මනුෂ්‍යයන් ලෙසින් අප ලජ්ජාවට පත් විය යුතුයි.
” ඔබ කුසගින්නේ පෙළෙන සුනඛයකුට ආහාර ලබා දුන්නොත් ඔහු කිසිවිටෙක ඔබව සපා කන්නේ නැත. මිනිසුන් සහ සුනඛයන් අතර ඇති වෙනස එයයි”
” සතුට මිලට ගත නොහැකියි” යනුවෙන් ප්‍රකට කියමනක් තිබෙනවා. නමුත් මේ කියමන ද සුනඛයන් සම්බන්ධයෙන් වෙනස් කර ලියා තිබෙන අතර එම වැකිය ලියූ ලේඛකයා පිළිබඳව ද සඳහනක් නෑ .
” සතුට මිලට ගත නොහැකි බව පැවසූ තැනැත්තාට බලු පැටවුන් ගැන අමතක වන්නට ඇති”
සුනඛයන් පිළිබඳව මේ තරම් ප්‍රසාදයෙන් මිනිසුන් කතා කරන්නේ ඔවුන්ගේ චර්යා රටාවන් නිසයි. සත්ව චර්යා සම්බන්ධයෙන් ලොව පුරා කරන ලද ප්‍රමුඛ පෙළේ පර්යේෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ සුනඛයන් සහ බළලුන් සම්බන්ධයෙනුයි.
සුනඛයන්ගේ බිරීම් විවිධාකාරයි. එම විවිධාකාර බිරීම් තුළින් ඔවුන් නොයෙකුත් දේ සන්නිවේදනය කරවනවා. ඒ අනුව ඔවුන් තමන්ගේ නිවසේ කෙනෙකු නිවසින් පිටව ගොස් ආපසු එනවිට, තැති ගැන්මකට ලක් වූ විට, නාඳුනන කෙනෙක් දුටු විට බුරන ආකාරය එකිනෙකට වෙනස්. ඒ වගේම විරහ වේදනාවකට ලක් වූ විට, සංවේගයට පත් වූ විට, ලිංගික අවශ්‍යතාවයකදී , නිවසේ තනිව හිඳින විට, ආදරය ප්‍රකාශ කරන විට, සතුට පළ කරන විට ආදී වශයෙන් වන විවිධ අවස්ථාවලදී එකි`නෙකට වෙනස් ආකාරයෙන් හඬ නගන අයුරු ඔබට ඔබේ සුනඛ සුරතලා වෙතින් නිරීක්ෂණය කිරීමට හැකි වේවි.
සුනඛයන්ගේ මෙන්ම බළලුන්ගේ ද අතිශය ප්‍රබල සන්නිවේදන මෙවලමක් වන්නේ උගේ වලිගය යි. සුනඛයා වලිගය වනන ආකාරයෙන් විවිධ අදහස් පළ වෙනවා. වලිගය පහත හෙළා ගෙන සිටීම සුනඛයාගේ නිවට නියාලු බව කියා පෑමක්. ශරීර ප්‍රමාණය අනුව යම් ගාම්භීරත්වයක් පළ කළත් ජර්මන් ෂෙපර්ඩ් හෙවත් ඇල්ශේෂන් නමින් හඳුන්වන සුනඛයන් තුළ ආත්ම විශ්වාසය ඉතා අඩුයි. ඔවුන් නිතරම සිටින්නේ වලිගය පහතට දමාගෙන. තනිව ගමනක් යන හැම විටම වලිගය පහතට හෙළා දෙපස බලමින් යන්නේ ඔවුන් තුළ ආත්ම විශ්වාසය අඩු නිසයි. එය ඔවුන්ගේ ජානවලින් එන දුර්වලතාවයක් විය හැකියි.
සුනඛයන්ටත් වඩා වලිග භාෂාවෙන් අදහස් පළ කරන්නේ බළලුනුයි.
ඔවුන් බොහෝ සෙයින් සතුටට පත් වී සිටින විට වලිගය රිටක් මෙන් කෙළින් කර ඉහළට ඔසවා ගෙන සිටිනවා.
එලෙස කෙළින් කර ඔසවාගෙන සිටින ගමන් වලිගය පුම්බනවා නම් ඒ බළලා කෝපයට පත්වී සිටින විටයි.
තමන්ට ආහාර පාන ලැබෙන්නට යන බව දැනෙන විට එය බලාපොරොත්තුවෙන් ඔවුන් නොඉවසිලිමත්ව පසු වන විට ද වලිගය ඔසවා ගෙන එහාට මෙහාට සොලවනවා.
තමන්ගේ පවුලේ අය අසල ගැවසෙන විට ද බළලුන් වලිගය එහාට මෙහාට නටවමින් දෙපාවල දැවටෙමින් ගැවසීම පුරුද්දක්. මේ තුළ ඔවුන් පළකරන්නේ ස්වාමියා අසලදී තමන්ට දැනෙන සුරක්ෂිත භාවයයි.
බළලුන් බොහෝ විට නිදා සිටින අවස්ථාවලදී ද වලිගය නැටවෙන අයුරු දැකගත හැකියි. බොහෝ දෙනෙක් සිතන්නේ බළලා හොරට නිදා සිටින බවයි. නමුත් බොහෝ විට මෙහිදී සිදුවන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය සමග තිබෙන සම්බන්ධතාවය නිසා නින්දේදී දකින සිහින අනුව උගේ වලිගය එහා මෙහා සෙලවීම බව සත්ව විද්‍යාඥයන් පවසනවා.
මානසික ව්‍යාකූල බවක සිටින විටත් බළලා ඉතා වේගයෙන් වලිගය එහා මෙහා ගස්සනවා.
කුමක් හෝ දෙයක් පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් පසු වන විටත් මෙම වලිගය එහා මෙහා චලනය කිරීම දැකිය හැකියි. විශේෂයෙන් ගොදුරක් ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් කුරුමානම් අල්ලන විට මෙය හොඳින්ම දකින්න පුළුවන්.
සුනඛයන් මෙන් ම බළලුන්ද දැඩි සතුටකින් සිටින විට ඔවුන්ගේ දෑස් වල හරිම දීප්තිමත් බවක් ඇති වෙනවා. නමුත් දැඩි සිත් වේදනාවකින් හෝ රෝගී ව පසුවන විට මේ දීප්තිමත් බව දැකිය නොහැකියි. එවිට ඔවුන්ගේ දෑස්වල මලානික ස්වභාවයක් ඇති වෙනවා. විශේෂයෙන් විශාල චිත්ත පීඩාවකින් සිටින විට ඔවුන්ගේ දෑස් මත පටලයක් බැඳී ඇති ආකාරයක් දකින්න පුළුවන්.
සතුන් හා සමීපව ජීවත් වෙන, ඔවුන්ට බොහෝ ආදරය කරන අයට තමන් ඇති දැඩි කරන සුනඛ සහ බළල් සුරතලුන්ගේ මානසික විපර්යාස ඉතා ඉක්මනින් දැනෙනවා. දියුණු රටවල නම් සතුන්ගේ එබඳු මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වෘත්තිකයන් පවා සිටිනවා. මෙම විෂය හඳුන්වන්නේ චර්යාවේදය ( Ethology) ලෙසින්. මෙම විෂය ප්‍රගුණ කළ අය සත්ව චර්යාවේදීන් (Animal behaviorist) ලෙසින් හඳුන්වනවා. දියුණු රටවල ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන විෂය ධාරාවට මෙම සත්ව චර්යාවේදය විෂය ද ඇතුළත් කර තිබෙනවා. එනිසා තම නිවසේ ඇතිදැඩි කරන සුරතලුන් සම්බන්ධයෙන් නිවසේදීම අත්දැකීමෙන්ම අධ්‍යාපනය ලැබීමේ හැකියාව එම දරුවන්ට තිබෙනවා. නමුත් අපේ රටේ නම් කුඩා දරුවන්ගෙන් සුරතල් සතුන් ඈත් කරලයි තියන්නේ. බොහෝ දෙනෙක් නොදන්නවා වුවත් එය අපේ රටේ දරුවන්ගේ මානසික සංවර්ධනයට වදින මරු පහරක් වැනියි.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය