තව්තිසාව සේ පෙනෙන නෙළුම් කුලුනෙන් නිරයක් මතු වේද?

lotus-tower

මහින්ද රාජපක්ෂ රජය සමයේ තනවන ලද නෙළුම් කුලුන මේ වන විට කාගේත් දැඩි කතා බහට ලක් වී තිබේ.ඒ අමෙරිකානු ඩොලර් මිලියන 113 ක හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 40,680 චීන ණය ආධාර යටතේ ඉදි කළ එය මුලු මහත් රටේ ජනතාවම කබලෙන් ලිපට ඇද දැමීමට කළ සුවිසල් නාස්තිකාර වියදමක් ලෙස හඳුන්වමිනි.නමුත් ඒ තත්වය වෙනස් කරමින් නෙළුම් කුලුන වෙත සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාදීම පිණිස කඩිනම් ව්‍යාපෘතියකට අදාළ අවබෝධතා ගිවිසුමක් ඉකුත් 18 වන දා අත්සන් කරන ලදි.ඇමරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 36,000ක) මුදලක් ආයෝජනය කරමින් කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම සමඟ මෙම ගිවිසුමට එළඹෙන ලද්දේ සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම ය.

කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන පිළිබඳ යෝජනාව ගෙන ආවේ ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ය.කුලුනේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.මීටර 350 ක් උසැති මීටර් 30,600 ක වපසරියකින් යුත් කුලුනක් වන මෙය නෙළුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා ‘නෙළුම් කුලුන’ ලෙස නම් කෙරිණ. 2019 වසරේදී එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කළ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත නොවීම හේතුවෙන් මෙය චීන ණය උගුලට හසුවූ තවත් සුදු අලියෙකු බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මෙය ‘ණය කුලුන’ ලෙස ද හඳුන්වා දී තිබුණි.චීන එක්සිම් බැංකුවෙන් ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 67.25කි. ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ආසන්න වශයෙන් 7.75%කි.2023 වසරේදී මෙහි අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 680කි. 2024 දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතය. 2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසීය.ඒ අනුව ගණන් බැලු විට එහි මුලික පිරිවැය පියවාගැනීමට වසර 203ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥ මතයයි.නමුත් මෙම නෙළුම් කුලුන ව්‍යාපෘතිය හුදෙක් සද්භාවයෙන් අරඹන ලද එකක් නොවන බවත් එම දැවැන්ත්ත චීන ණය ආධාරය තුළ වූ විශාල ධනස්කන්ධයක් “දේශීය බහිරව පවුලක්”විසින් කා දැමූ බවත් එවක බොහෝ දෙනෙක් කීහ.

නමුත් නෙළුම් කුලුනේ ඉදිරි සංවර්ධන වැඩ සටහන යටතේ ඉදිරි මාස හයක කාලය තුළ සම්පූර්ණ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස නෙළුම් කුලුන අවට කලාපය සංවර්ධනය කිරීමට නියමිත ය. ඉදිරි වසර තුනක කාලයක් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය. එමෙන්ම නෙළුම් කුළුණ කේන්ද්‍රගත කර ගනිමින් රාත්‍රී ආර්ථිකය දියුණු කිරීම සඳහා ඩී. ආර්. විජයවර්ධන මාවතේ සහ කොළඹ නෙළුම් කුලුන අවට ප්‍රදේශය ඊට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

නෙළුම් කුලුනේ දෙවැනි මහල ඇතුළු ස්ථාන කිහිපයක් සිංගප්පූරු සමාගම වෙත වසර 10ක් සඳහා බදු දී තිබෙන අතර, ඒ අනුව වාර්ෂික ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 522ක මුදලක් කුලිය ලැබේ. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 228ක මුදලක් අත්තිකාරම් මුදල් වශයෙන් ගෙවා ඇත.මෙම ව්‍යාපෘතිය සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ගේ රාත්‍රී ආර්ථිකය පදනම් කර ගත් ධනෝපායන සංකල්පය පදනම් වූවකි. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම ඉදිරිපත් වී සිටින බවත් මෙය වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී වැදගත් අවස්ථාවක් බවත් ඇය කියයි. අප රටේ මත් පැන් මත් ද්‍රව්‍ය අලෙවිය,ගණිකා වෘත්තිය ආදී නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වන්නවුන් විසින් කරනු ලබන පොදු ප්‍රකාශයක් තිබේ.

එනම් දරුවන් ජීවත් කර ගැනීමට,ඔත්පල ව වැටී සිටින සැමියාගේ හෝ මාපියන් ගේ ජීවිත ගොඩ ගැනීමට එසේත් නොමැති නම් සින්න වන්නට යන් ගේ දොර බේරා ගැනීමට වෙන ක්‍රමයක් නොමැතිම තැන තමන් මේ වෘත්තියට ජාවාරමට පිවිසි බවකි.මෙතුවක් කාලයක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් නොවී මහජන මුදල් කාබාසිනියා කරමින් තිබූ නෙළුම් කුලුන කේන්ද්‍ර කර ගත් මෙම දූ කෙළි සහ ගණිකා ව්‍යායාපාරය පදනම් කොට යළි පිබිදෙනුයේ ඊට සමාන ආකාරයකට ය.පසුගිය දිනවල මුදල් ගෙවා නෙළුම් කුලුන මහජනතාවට නැරඹීම පිණිස අවස්ථාව ලබා දුන් පසු එය නැරඹූ එක් හිමි නමක් මාධ්‍යයට කියා සිටියේ එය තව්තිසා දෙව්ලොවට ළං වන බවක් තමනට හැඟී ගිය බවකි.උද්ධමනය අධික ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවක මෙන්ම රට ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති මේ අවස්ථාවේදී නෙළුම් කුලුන මුල් කොට ව්‍යාපෘති ඇරඹීම යහපත් වුවත් එම සුවිසල් ආයෝජනයේ ප්‍රතිලාභ දූ කෙලිය හා ගණිකා ව්‍යාපාර හරහා ලැබීමට සූදානම් වීමේ ආදිනව තවත් බොහෝ දුර දිගට ඇදී යනු ඇත.එය වඩාත් සරලව කිවහොත් ඇතැමකුට තව්තිසාව සේ පෙනෙන තැනකින් නිරයක් මතු වීමක් ද වීමට පුළුවන.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර