තව දින කිහිපයකින් රට පුරා පැතිර යන පාරිභෝගික උණ වසංගතය ගැන දැන ගනිමු

රටේ කොපමණ ප්‍රශ්න තිබුණ ද මේ අවුරුදු කාලයේ බොහොමයක් දෙනා සිංහල අලුත් අවුරුද්දට ලක ලෑස්ති වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාම මෙවැනි සමයක සාමාන්‍ය මහජනතාව බොහොම පහසුවෙන් රැවටෙන්නටත්, වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ පාරිභෝගිකයන්ව බොහොම පහසුවෙන් තමන් වෙත නතු කර ගන්නටත්, රවට්ටන්නටත් පසුබට නොවේ. සිය පාරිභෝගිකයන් රැවටීම සඳහා වෙළඳුන් පාවිච්චි කරන උපක්‍රම ගැන දැනුවත් ව සිටින්නේ නම් රැවටීමට ලක් නොවී සිටින්නට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

මෙම “රැවටීම” යන වදන අප වරදවා තේරුම් ගත යුතු නැත.ඒ සමස්ත වෙළඳ ලෝකයේ පවතින ප්‍රචාරණය හා අලෙවිකරණය සම්බන්ධ පොදු ස්වභාවයකි. උත්සව කාල වල දී එක් වර භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් එක වර වෙළඳ පළට මුදා හැරීම ලොව පුරා පවතින වෙළඳ උපාය මාර්ගයකි.නැතහොත් උප්පරවැට්ටියකි.එවිට භාරිභෝගිකයන් ද විශාල ප්‍රමාණයක් වෙළඳ පළ වටා එක් වෙති.

එසේම එම මිල දී ගැනීම් වල කිසියම් තරඟකාරී බවක් ද දැකිය හැක.පසුව මෙය රංචු චර්යාව( Herd behavior ) නම් තත්වය දක්වා වර්ධනය වේ.රංචු චර්යාව යනු බුද්ධියෙන් තොරව අනුන් අනුකරණය කිරීමේ පොදු සත්ව ලක්ෂණයකි.නිදසුනක් ලෙස කිසියම් සුනඛයකු හේතුවක් ඇතුව හෝ නැතුව බුරන්නට පටන් ගත හොත් සෙසු සුනඛයෝ ද කිසිදු විමසීමකින් තොරව එදෙසට බුරන්නට පටන් ගනිති.මෙය මානවයා අතර ද දක්නට ලැබෙන නිසා ඊට රංචු චර්යාව යැයි කියනු ලැබේ.

පරිභෝජනය පිළිබඳ තිරසාර සීමාව ඉක්මවන අධි පරිභෝජනය සම්බන්ධයෙන් මෙම තත්වය පාරිභෝගික උන්මාදය හෙවත් පාරිභෝගික උණ ලෙස නම් කළ හැක. මෙය ද සමූහ මායා( Mass hysteria ) ගණයට වැටෙන්නකි.මෙහි දී භාණ්ඩ මිල දී ගැනීමේ දී අවශ්‍ය වන එහි ප්‍රමිතිය,ගුණාත්මක භාවය තමන්ට ඇති ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාව,මිල ආදී කරුණු කෙරෙහි පාරිභෝගික අවධානය අඩු වෙයි.

එහි වාසිය වෙළෙන්දාට ය.එය මුල් කොට වෙළෙන්දෝ ප්‍රචාරක හා ජන මාධ්‍ය තුළින් පවා අනේක විධ පාරිභෝගික කුළු ගැන්වීම කරති.අසවල් ස්ථානයේ බඩු ලාභයි යන වදන කණ වැකුණු සැනින් පාරිභෝගිකයන් අතුරු සිදුරු නොමැතිව ඒ ස්ථාන වටා එක් රොක් වීමේ රහස එයයි.

අවුරුදු සමයේ වැඩි වශයෙන් අපට දකින්නට ලැබෙන උපක්‍රමයක් ලෙස ‘බාගේන් සේල්’ හදුන්වා දිය හැකි ය. අපට බොහෝ විට දකින්නට ලැබෙන ‘සේල්’ යනුවෙන් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම්වල අර්ථය වන්නේ මිල අඩු කර එනම් බාගේන් කර විකිණීම පිළිබදව ය.

නමුත් මෙහි දී බොහෝ විට විමර්ශණාත්මකව විමසා බැලුවහොත් අපට දකින්නට ලැබෙන්නේ එවැනි භාණ්ඩවල කුමක් හෝ ඇදයක් පලුද්දක් ඇති බව ය. උදාහරණ ලෙස ඇගළුම් අලෙවි මධ්‍යස්ථානයක් නම් බාගේන් කර අලෙවි කරනු ලබන එකී ඇගළුම් පැරණි විලාසිතාවලට අයත් වන්නට පුළුවන. නැතහොත් ඇසට නොපෙනෙන ප්‍රමාණයේ හෝ පලුදුවීම් තිබෙන්නට පුළුවන.

එසේත් නැත්නම් දිගු කාලයක් එල්ලා තැබීම නිසා දුර්වර්ණ වී තිබෙන්නට පුළුවන.පාරිභෝගික උන්මාදය හෙවත් පාරිභෝගික උණ ඔබ තුළ පැවතිය හොත් මේ ආකාරයට බාගේන් කර අලෙවි කරනු ලබන ඕනෑම භාණ්ඩයක තත්වයෙන් බාල වූ කුමක් හෝ දෙයක් වෙනදා මෙන් නිරීක්ෂණය කරන්නට ඔබ නොපෙළඹෙන බව වෙළෙන්දෝ දනිති.

මීට අමතරව ඇතැම් අලෙවි භාණ්ඩ වල වැඩි මිලක් සඳහන් කොට 20% ආදී මිල අඩු කිරීම් ආදී දක්වමින් සාමාන්‍ය මිලටම විකුණන අවස්ථා ද තිබේ.එහි දී 20% යන්න දුටු පමණින් ඔබ එය දකින්නේ ඉතා ලාභදායී දෙයක් ලෙස ය.

මේ ආකාරයෙන්ම සිදු කරන තවත් උපක්‍රමයක් ලෙස ‘දෙකක් ගත්තොත් එකක් නොමිලේ’ උපක්‍රමය ද මේ වන විට බොහෝ වෙළදසල්වල දකින්නට ලැබේ. මෙසේ නොමිලේ ලැබෙන භාණ්ඩවල ද ඕනෑතරම් බාල තත්වයන් හදුනා ගන්නට තිබේ. එවැනි භාණ්ඩ බොහෝවිට කල් ඉකුත් වන්නට ඔන්න මෙන්න ඇති භාණ්ඩ වන්නට පුළුවන.

උදාහරණයක් ලෙස ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂණ භාණ්ඩ, රූපලාවන්‍ය හා සම්බන්ධ භාණ්ඩ, පිරිසිදුකාරක ද්‍රව්‍ය ආදිය මෙසේ දෙකක්, තුනක් මිලදී ගත් විට එකක් නොමිලේ ලැබෙන භාණ්ඩ අතර ප්‍රමුඛ වේ.එහෙත්,මෙහි දී ඉස්මතු වන “නොමිලේ!” යන වදනට “වහ වැටෙන පාරිභෝගිකයන්ට එහි සැබෑ පාඩුව නොපෙනෙයි.

වෙළඳුන් පාරිභෝගිකයන් රවට්ටා ගන්නා තවත් ආකාර අතර විශේෂී වූ සහ පාරිභෝගිකයන් පහසුවෙන් රැවටෙන අවස්ථාවක් ලෙස මිල වැඩි භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම දැක්විය හැකි ය. මෙහි දී සිදු වන්නේ ලක්ෂ ගණන්වල භාණ්ඩයක් මුළු මුදලින් යම් ප්‍රමාණයක් මුලින් ගෙවා, පසුව කොටස් වශයෙන් ගෙවාගෙන යෑමේ පහසුකම සලසා දීමයි. උත්සව කාලය හැර අනිකුත් කාලවල ද මේ ආකාරයෙන් භාණ්ඩ මිලදී ගැනීම් හැකියාව තිබේ.

නමුත් උත්සව කාලයේ පාරිභෝගික උන්මාදය හෙවත් පාරිභෝගික උණ යටතේ ඔවුන් පහසු ගෙවීමේ පහසුකම් සළසා බොහෝ විට අලෙවි කරනු ලබන්නේ පැරණි තාක්ෂණික ක්‍රමවලින් යුතු භාණ්ඩ පමණි.

උදාහරණ ලෙස විදුලිය වැඩිපුර වැයවන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මේ අතරින් විශේෂී වේ. මේ පිළිබදව වැඩි අවබෝධයක් නොමැති පාරිභෝගිකයෝ මෙකී වාසිය තකා එවැනි උපක්‍රමවලට පහසුවෙන් ගොදුරු වෙති.එමෙන්ම මෙම පහසු ගෙවීමේ ක්‍රම එතරම් පහසු නොවන බව වැටහෙනුයේ ඒවායේ වාරික ගෙවීමට පටන් ගත් පසුව ය.

වෙළඳ පළ තුළ ශීඝ්‍ර අලෙවියක් නොමැති භාණ්ඩ ඉතාම අඩු මිලට විකිණීම ද අප පහසුවෙන් රැවටෙන වෙළඳ උපක්‍රමයක් ලෙස දැක්විය හැකිය. උදාහරණයක් ලෙස නිවසේ එදිනෙදා පාවිච්චියට අවශ්‍ය නොවන විශාල වළඳක් ගැන සිතන්න. හාල් කිලෝ දහයක් එකවර සැකසිය හැකි භාජනයක් එහි නියම මිලට වඩා අඩකට විකිණීමට තබා තිබුණ ද එය සාමාජිකයින් හතර දෙනෙකු සිටින නිවසකට කිසිම වටිනාකමක් නැත.

නමුත් එය අඩු මිලට විකිණීමට තබා තිබීමෙන්, එකී මිලට එය වටින්නේ යැයි සළකා මිලදී ගැනීමට පාරිභෝගිකයෝ පෙළඹෙති. නමුත් සිදු වන්නේ එය මිලදී ගෙන නිවසට ගෙන ගොස් කොහේ හෝ මුල්ලකට දමා තැබීම මිස පාවිච්චියට ගැනීම නොවේ. එනම් ඒ සදහා ගෙවූ සම්පූර්ණ මුදලම අපතේ යාමක් මිස ආයෝජනයක් නොවේ.

පොදුවේ ගත් කල භාණ්ඩ නිෂ්පාදනය නිරන්තරයෙන් අලුත් වෙයි.ඒ සඳහා කලින් නිපදවූ භාණ්ඩ විකිණී හමාර වන තුරු බලා හිඳීමක් නැත.ඒ අනුව කලින් පාරිභෝගිකයන් වෙතට යොමු කළ ද ඔවුන් අතරේ එතරම් පිළිගැනීමකට ලක් නොවූ භාණ්ඩ අවම ලාභයක් යටතේ විකුණනු ලැබේ .”තොග අවසන් කිරීමේ සේල්” යනුවෙන් හැඳින්වෙනුයේ මෙම අලෙවි කිරීම් ය.

එහි දී ද ඒවා නොවිකිණුන හොත් යළිත් වටයක් මිල අඩු කොට ඒවා අලෙවි කෙරෙන අතර අදාල උත්සවයට ආසන්න දින වල ඒවායේ මිල වඩාත් අඩු කරනු ලැබේ.සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ දී එම භාණ්ඩ කුණු කොල්ලයට විකිණෙන බවට කතා පැතිර යාම තුළින් පාරිභෝගිකයන් තමන් ගේ ආදායම් වියදම් රටාව පවා උල්ලංඝනය කර සැබෑ උපයෝගීතාවක් නොමැති මෙම භාණ්ඩ මිල දී ගන්නේ මේ පාරිභෝගික උණ වසංගතය නිසා ය.

වර්තමානයේ රටේ පවතින අයහපත් වාතාවරණය සහ භාණ්ඩවල අධික මිල යටතේ මේ ආකාරයේ විවිධ උපක්‍රමවලට හසු නොවී ඔබගේ අවශ්‍යතා සහ වත්කමේ පමණ දැන සබුද්ධික පරිභෝජනය මඟින් සාර්ථකව අලුත් අවුරුද්ද සැමරිය හැකි නම් මෙවර ඔබේ අලුත් අවුරුද්ද සුබ වනවා මිස කිසිසේත්ම අසුබ වන්නේ නැත.

දුලාංජලී මුතුවාඩිගේ

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර