තව වසර 20 කින් අඟහරු මත දැවැන්ත නගරයක් ?

vinivida පෘථිවිවාසී මිනිසුන් සිය ඉතිහාසය තුළ කවදාවත් වෙනත් ග‍්‍රහලෝකයක් මත පා තබා නැහැ. ඔවුන් මේ වනතෙක් පෘථිවියෙන් පිටත ගොඩ බැස තිබෙන්නේ සඳ මත පමණයි. නමුත් සඳ ග‍්‍රහලෝකයක් නොවෙයි.

තව වසර පහක් හයක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් අඟහරු ග‍්‍රහයා මත පා තබනු ඇති බවට පසුගිය දිනෙක අනාවැකියක් පළ වුණා. මෙම අනාවැකිය පළ කළේ එසේ මෙසේ කෙනෙකු නොවෙයි. ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් තමයි මේ බව ප‍්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් තව වසර පහක් හයක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් අඟහරු ග‍්‍රහයා මත පා තබනු ඇති බවට පසුගිය දිනෙක අනාවැකියක් පළ වුණා. මෙම අනාවැකිය පළ කළේ එසේ මෙසේ කෙනෙකු නොවෙයි. ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් තමයි මේ බව ප‍්‍රකාශ කර තිබුණේ.

ඊලෝන් මස්ක් අභ්‍යවකාශ තරණය ගැන විශාල උනන්දුවක් දක්වන කෙනෙක්. මේ ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරන පෞද්ගලික සමාගමකුත් ඔහුට තිබෙනවා. එහි නම ස්පේස්එක්ස් (SpaceX).

ඊලොන් මස්ක් පසුගිය දිනෙක පවසා තිබුණේ සියල්ල හොඳින් සිදු වුවහොත් 2031 පමණ වනවිට තම සමාගමට අඟහරු ග‍්‍රහයා වෙත මිනිසුන් යැවීමට හැකි වනු ඇති බවයි.

අඟහරු ගමන් වෙනුවෙන් යොදා ගැනෙන විශාල රොකට්ටුවක් ද මේ වෙද්දී ඔවුන් අත්හදා බලමින් සිටිනවා. මෙම රොකට්ටුව නම් කර ඇත්තේ ස්ටාර්ෂිප් (Starship) යනුවෙන්. මීටර 123 ක් (අඩි 400 ක්) පමණ උස මෙම රොකට්ටුව ඉතිහාසයේ මෙතෙක් ඉදි කරන ලද විශාලම රොකට්ටුව බවයි සඳහන් වන්නේ.

ස්ටාර්ෂිප් රොකට්ටුවේ පළමු අඟහරු ගමන ලබන වසරේ අවසන් භාගයේ දියත් කෙරෙනු ඇති බවත් මස්ක් සඳහන් කරනවා. නමුත් මෙම පළමු ගමනට අජටාකාශගාමීන් සහභාගි වන්නේ නැහැ. මෙම ගමනේදී රොකට්ටුව විසින් ගෙනයනු ලබන්නේ ඔප්ටිමස් (Optimus) නැමැති රොබෝ කෙනෙක්. මේ ආකාරයෙන් කෙරෙන අත්හදා බැලීම් සාර්ථක වුවහොත් 2029-2031 අතර කාලයේ මිනිසුන් අඟහරු මත ගොඩ බැසීමට සමත් වනු ඇති බව මස්ක් පවසනවා.

අඟහරු වෙත මිනිසුන් යැවීම අතිශයින් අභියෝගාත්මක කටයුත්තක්. පෘථිවියේ සිට අඟහරු දක්වා ඇති සමාන්‍ය දුර කි.මී. මිලියන 225 ක් (සැතපුම් මිලියන 140 ක්) පමණ වෙනවා. මෙම දුර ගමන් කිරීමට යානයකට මාස නවයක පමණ කාලයක් ගතවනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙයට කලකට පෙර අජටාකාශගාමීන් සඳ වෙත ගිය ගමන් සඳහා ගත වුනේ දින කිහිපයක කාලයක් පමණයි.

මාස නවයක් පමණ ගත වන අඟහරු ගමනකදී මුහුණ දෙන්නට සිදුවන ප‍්‍රධානම අභියෝගයක් වන්නේ එතරම් දුර ගමනක් සඳහා අවශ්‍ය වන ඉන්ධන රැගෙන යාමේ අභියෝගයයි. එමෙන්ම මෙම දීර්ඝ ගමන තුළ අජටාකාශගාමීන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමත් විශාල අභියෝගයක්.

මෙවැනි ගමනක දී අජටාකාශගාමීන් දීර්ඝ කාලයක් විකිරණවලට නිරාවරණය වීමේ අනතුරක් තිබෙනවා. එමෙන්ම දිගු කාලයක් අඩු ගුරුත්වාකර්ෂණයක් යටතේ ජීවත් වීමට සිදුවීමත් තව අභියෝගයක්.
මාස ගණනක් යානයක් තුළ කොටු වී සිටින්නට සිදු වීම නිසා ඔවුන් විවිධ මානසික ගැටලූවලට මුහුණ දීමටත් ඉඩ තිබෙනවා.

අඟහරු ග‍්‍රහයා මත තිබෙන පරිසර තත්වයනුත් මිනිස් ජීවිතයට හිතකර ඒවා නොවෙයි. එහි තිබෙන්නේ ඉතාම තුනී වායුගෝලයක්. මේ නිසාත් විකිරණවලින් ලොකු අනතුරක් එල්ල වෙනවා. ඒ වගේම එහි පවතින උෂ්ණත්ව තත්වයනුත් මිනිසුන්ට දරා ගැනීම පහසු නැහැ. අඟහරු මත සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක සෘණ 65 ක පමණ අගයක් ගන්නවා. නමුත් ඇතැම් අවස්ථාවල එය සෙන්ටිගේ‍්‍රඞ් අංශක සෘණ 225 ක් පමණ දක්වා පහළ යා හැකියි. එමෙන්ම අඟහරු මත දී ජලය සපයා ගැනීම සම්බන්ධවත් බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.

2031 වනවිට මිනිසුන් අඟහරු මත ගොඩ බසිනු ඇති බවක් ඊලෝන් මස්ක් පවසන්නේ මෙවැනි පසුබිමක් තුළ යි. සැබැවින්ම එය ප‍්‍රායෝගික ද යන ගැටලූවක් බොහෝ දෙනා තුළ මතු වීම වලක්වන්න බැහැ. ඇතැම් විශේෂඥයන් පවසන්නේ එය එතරම් ප‍්‍රායෝගික ඉලක්කයක් නොවන බව යි.
මස්ක් මෙයට පෙරත් ඔහුගේ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රායෝගික නොවන ඉලක්කයන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ නමුත් මිනිසුන් අඟහරු වෙත යැවීමේ අරමුණ ඔහු කවදා හෝ ජයගනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මස්ක් නිතර පවසන්නේ මිනිස් වර්ගයා පෘථිවියට පමණක් කොටු වූ සත්වයෙකු නොවිය යුතු බවයි. අනාගත මිනිසා බහු-ග‍්‍රහලෝකමය සත්වයෙකු විය යුතු බවයි ඔහුගේ විශ්වාසය වන්නේ.

යම් දවසක පෘථිවිය මිනිස් වාසයට අහිතකර තැනක් බවට පත් වුවහොත් මිනිසුනට වෙනත් ග‍්‍රහලෝකයක ජීවත් වීමට හැකියාව තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අඟහරු තරණය පිලිබඳ මස්ක්ගේ සිහින සාක්‍ෂාත් කර ගැනීමේ දී කලින් සඳහන් කළ ස්ටාර්ෂිප් රොකට්ටුව ඉතා තීරණාත්මක යි. මෙම රොකට්ටුව තවමත් තිබෙන්නේ අත්හදා බැලීමේ අදියරේ යි. කෙසේ නමුත් මෙම වසරේ කළ අත්හදාබැලීම් දෙකක්ම සාර්ථක වුණේ නැහැ. මෙයට ටික දිනකට පෙර සිදු කළ අත්හදා බැලීමක දී රොකට්ටුව ගුවන් ගත කර විනාඩි කිහිපයක් තුළ පුපුරා ගියා.

මෙම පසුබිම තුළ අඟහරු මත මිනිස් ජනාවාස ඇතිකිරීම ගැනත් ඊලෝන් මස්ක්ගේ අවධානය යොමු වෙනවා.
තව වසර 20 ක් පමණ යනවිට අඟහරු මත ස්වයංපෝෂිත නගරයක් බිහි විය හැකි බවත් මස්ක් කියනවා. ඔහු කියන්නේ වසර 20 ක් යනවිට මිලියනයක පමණ ජනතාවක් ජීවත්වන ස්වයංපෝෂිත නගරයක් එහි බිහිවනු ඇති බව යි. මෙය සැබැවින්ම සිතා ගැනීමටත් අපහසු කාරණයක්.

අඟහරු තරණය පිලිබඳ මස්ක්ගේ සිහින සාක්‍ෂාත් කර ගැනීමේ දී කලින් සඳහන් කළ ස්ටාර්ෂිප් රොකට්ටුව ඉතා තීරණාත්මක යි. මෙම රොකට්ටුව තවමත් තිබෙන්නේ අත්හදා බැලීමේ අදියරේ යි. කෙසේ නමුත් මෙම වසරේ කළ අත්හදාබැලීම් දෙකක්ම සාර්ථක වුණේ නැහැ. මෙයට ටික දිනකට පෙර සිදු කළ අත්හදා බැලීමක දී රොකට්ටුව ගුවන් ගත කර විනාඩි කිහිපයක් තුළ පුපුරා ගියා. පසුගිය ජනවාරි මාසයේ කළ අත්හදා බැලීමකිනුත් සාර්ථක ප‍්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මේ වනවිට ස්පේස්එක්ස් සමාගම මෙම සිදුවීම් පිලිබඳ විමර්ශණ සිදු කරමින් සිටිනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර