තානායම් මධු සමයෙන් අපට අහිමි වූ ඉසි දිය මංගල්‍යය

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු මාතෘකාවක් සේ අප සමාජයේ බොහෝ දෙනෙක් සිතති.බොහෝ දෙනකු සිතනුයේ එය අපගේ දේශීයත්වය හා සාම්ප්‍රදායිකත්වය හා සබැඳුණු කරුණක් බව ය. නමුත්, අපගේ දේශීය සංස්කෘතිය තුළ ලිංගික විෂය විවෘත සංවාදයට ගැනුණු බවට බොහෝ සාධක දැක්විය හැක.

එමෙන්ම ,අඹු සැමියන්ගේ ලිංගික ජීවිතය සාර්ථක වීම,ලිංගික අපරාධ පිටු දැකීම ,ප්‍රජනක සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගෙන යාම වැනි කරුණු මුල් කොට කිසියම් ආචාර විචාර සම්ප්‍රදායන්ට අවනතව ලිංගික විෂය පොදු සංවාදයට ගත යුතු යැයි තවත් පිරිසක් කියති. ඉසදිය මංගල්‍යය යනු අප ගේ සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයන් හි පැවැති ලිංගිකත්වය හා සබැඳි චාරිත්‍රයකි.

අපගේ පාරම්පරික විවාහ මංගල්‍යයක සමාරම්භය බුලත් දීමෙන් ඇරැඹෙන අතර එහි සමාප්තිය සටහන් වනුයේ ඉසදිය මංගල්‍යයෙනි.ඉස දිය යන වදන මීට එක් කොට ඇත්තේ හිසේ දිය ගැල්වීම, නැවුම් බව යන අරුතින් බව පැවසෙයි.මෙය සාම්ප්‍රදායික මතවල එල්බ ගත්තවුන් අතර තවමත් දකින්නට ලැබෙන්නකි. මෙයින් පැවසෙන්නේ අලුත විවාහ වූ මනාලිය කන්‍යාවක් ද යන්න සොයා බැලීමේ පරීක්ෂණයයි. ‘ඉස දිය බලන්නට යෑම’, ‘බලන්නට යෑම’ වැනි නම්වලින් ද මෙය හඳුන්වනු ලබයි.

ඇතැම් පළාත්වල ‘පෙර මග සළකුණු’ නමින් ද මෙය හඳුන්වනු දැකිය හැකි ය. අලුත විවාහ වූ යුවලට සිය ප්‍රථම මංගල රාත්‍රිය ගතකිරීමේ දී යහනයට එළාගනු පිණිස සුදු පැහැ රෙද්දක් ලබා දෙයි. මෙය හඳුන්වනු ලබන්නේ ‘කිරිකඩ හේලය’ නමිනි. නව යුවල ලිංගිකව එක් වූ පසු මනාලියයගේ කන්‍යා පටලය බිඳී එයින් ගළා එන රුධිරය කිරිකඩ හේලයේ තැවරිය යුතු ය.

එවිට ඇය විවාහයට පෙර වෙනත් පිරිමියෙකු සමග ලිංගික කටයුත්තත් සිදු නොකළ තරුණියක බව මනාළයාගේ මව නිගමනය කරන්නී ය. මේ රෙදිකඩ පරීක්ෂාව පිණිස මනාළයාගේ මව රෙදි නැන්දා නමින් හැඳින්වෙන සේවාකාර වෘත්තික කාන්තාවකගේ සහ තවත් වැඩිමහළු කාන්තාවන් කිහිප දෙනෙකුගේ සහාය ද ලබාගනී.මුල සිටම මෙම චාරිත්‍රය පිළිබඳ සම්බන්ධීකරණ භූමිකාව ඉටු කරනුයේ රෙදි නැන්දා විසිනි.

ආරංචිය සුබ නම් මනාලයාගේ මව රබන් වැයීමක් සිදුකරන අතර මනාලියගේ සොහොයුරාට බුලක් කොලයක එතූ රතු මලක් ලබාදෙයි. ඔහු එය සිය මවට දෙන අතර ඉන්පසු ඇය ද රබානක් වාදනය කරයි.

මෙය මනාලියගේ ලිංගික පවිත්‍රතාව බාහිර සමාජයට සංනිවේදනය කිරීමකි. මනාලිය විවාහයට පෙර පිරිසිදු කන්‍යාවක් ව සිටි බව මුළු ගම ම දැනගන්නේ ඉන් පසුව ය. බොහෝ දෙනකු මෙය සිංහලයන් අතර පමණක් පවතින සිරිතක් සේ සිතුව ද එය එසේ නොවේ.

මෙය ඇතැම් මුස්ලිම් ජන කොටස් අතර ද අනුමනය කෙරෙන චාරිත්‍රයක් බව පෙනේ. සිංහලයන්ගේ චාරිත්‍රය මුස්ලිමුන් ද අනුගමනය කරන්නට පටන් ගත් බව එක්වර සිතුව ද සිංහලයන්ගේ පැරණි සිරිත් විරිත් පිළිබඳ සොයාගෙන යද්දී එම නිගමනයට එළැඹීමට ද ඉඩක් නැත.

උඩරට සිංහලයන්ගේ ගෘහමය චාරිත්‍ර පිළිබඳ හොඳින් දැනගත හැකි රොබට් නොක්ස් ගේ ‘එදා හෙළදිව’ කෘතියේ පවා මෙවැනි සිරිතක් පිළිබඳ සඳහන්ව නැත.

ඔහු පවසන්නේ සිංහල පිරිමියකු විවාහ වන විට කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳ තැකීමක් නෙකළ බව ය. කෙසේ නමුත් අරාබි නිසොල්ලාසය කෙරෙහි අවධානය යොමු කළ විට පෙනෙන්නේ එහි ද මෙවැනි සිරිතක් පිළිබඳ සඳහන් වන බව ය. රුධිරය තැවරුණු රෙදි කඩක් වීදියට ගෙනැවිත් බෙර වයමින් මනාළියගේ නිවසට මනාලයාගේ නිවසේ පිරිස ගමන් කරන සිරිතක් මොරොක්කෝ වැසියන් අතර ද පැවත එන බව පෙනෙන්නට තිබේ.

එමෙන්ම බයිබලයේ පැරණි ගිවිසුමේ ද මෙවැනි සිදුවීමක් වර්තා වේ. මේ කරුණුවලින් පෙනෙන්නේ මෙය සිංහලයන්ට පමණක් ආවේණික සිරිතක් නොවන බව ය. ජන වහරේ එන අන්දමට තම මංගල යහනට මෙවන් රුධිරමය සාක්ෂියක් එක් කිරීමට නොහැකි මනාලිය නව කුල ගෙයට වැද්ද නොගත් බව පැවසුණ ද එය කොතෙක් දුරට ප්‍රායෝගික ව සිදු කරන ලද්දේ ද යන්න අනාවරණය වී නැත.

ඊට හේතුව මනාලියගේ පූර්ව ලිංගික සබඳතා හැරුණු කොට ඇයට රුධිරමය සංකේතයක් ඉදිරිපත් කිරීමට මනාලියගේ මෙන්ම මනාලයගේ පාර්ශවයෙන් ද කරුණු ඇති බවට එකල සමාජය දැනුවත් ව තිබීම ය.කෙසේ නමුදු මෙම ඉසදිය මංගල්‍යයේ ඇති වැදගත් සහ බැරෑරුම් බව පිළිබඳව දැන සිටි සාම්ප්‍රදායික යුවතියන් තම බඹසර රැක ගැනීම කෙරෙහි වඩාත් උනන්දු වන්නට මෙම කරුණ බලපාන්නට ඇතැයි සිතේ.

මේ අතර බටහිර සංස්කෘතික බලපෑමෙන් අප සමාජයට එක් වූ මධු සමය නම් නවාංගය නිසා මෙන ඉස දිය මංගල්‍යය නම් වන විවාහ චාරිත්‍රයට මරු පහරක් එල්ල වනු දුටු එවක සමාජයේ සාම්ප්‍රදායික උගත්තු එය දැඩි විවේචනයට ලක් කළහ.

ඒ එංගලන්තයේ නැහැදිච්ච සුදු කෙල්ලන් විවාහයට පෙර සිදු කර ගත් අකරතැබ්බ ඔවුන් විවාහ කර ගන්නා මනාලයන්ගේ දෙමාපිය පාර්ශවයන්ගෙන් වසන් කිරීම සඳහා විවාහයෙන් පසු නව යුවල රෙස්ට් හවුසියකට පිටත් කොට යැවීමේ නොහොබිනා පුරුද්දට දැන් අප රටේ නගරබද ජනයා ද ඇබ්බැහි වී ඇති අතර මේ ක්‍රමය රට පුරා පැතිර ගියොත් අප රටේ සුචරිතවත් තරුණයකුට විවාහයකට පිරිසිදු චරිතවත් තරුණියක් සොයා ගැනීම බෙහෙවින් අසීරු වන බවට අනාවැකි පළ කරමිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර