සිරියානු දේශ සීමාව ආසන්නයේ තුර්කිය තුළ සිදු වූ දැවැන්ත භූමිකම්පා නිසා මිය ගිය සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. අඟහරුවාදා උදෑසන වනවිට නිල වාර්තාවල සඳහන්ව තිබුණේ තුර්කිය සහ සිරියාව යන දෙරට තුළම මිය ගිය ගණන 4,500 ක් පමණ බවයි. මරණ සංඛ්‍යාව 10,000 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවක් මේ අතර ඇමරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබුණා. මිය ගිය පිරිසට අමතරව ඒ වනවිට 18,000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් සඳහන් වුණා. මරණ සංඛ්‍යාව අට ගුණයකින් පමණ ඉහළ යා හැකි යයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එකම දිනයේ භූමි කම්පා දෙකක් පිලිබඳව වාර්තා වූ අතර පළමු භූමිකම්පාව සිදු වූයේ තුර්කි වේලාවෙන් සඳඳා (06) අලුයම 4.17 ට පමණ යි. ගිනිකොණ දිග තුර්කියේ ගාසියාන්ටෙප් නැමැති නගරය ආසන්නයේ පොලොව මට්ටමේ සිට කි.මී. 18 ක් (සැතපුම් 11 ක්) පමණ ගැඹුරෙහි මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි පැවසුණේ. එහි ප්‍රබලත්වය ඒකක 7.8 ක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා. මෙම භූමිකම්පාව හටගත්තේ අලුයම් කාලයේ බැවින් ඒ වනවිට බොහෝ දෙනෙකු සිටියේ සිය නිවෙස් තුළ නිදි සුව විඳිමිනුයි. මරණ සංඛ්‍යාව ඉහළ යාමට මෙම කාරණයත් විශාල වශයෙන් බලපා ඇති බව පැහැදිලියි.
තට්ටු ගණන් උස ගොඩනැගිලි කාඩ්බෝඩ් පෙට්ටි මෙන් කඩා වැටී බිමට සමතලා වන අයුරු දැක්වෙන විඩියෝ දසුන් රූපවාහිනි නාලිකා විකාශය කළා. මෙම ගොඩනැගිලි තුළ නිදා සිටි පුද්ගලයන් නිසැකවම සුන්බුන්වලට යටවන්නට ඇති. මේ ආකාරයෙන් සුන්බුන්වලට යට වී සිටින පුද්ගලයන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට විවිධ පාර්ශ්ව පියවර ගෙන තිබුණා. නමුත් මේ වනවිට මෙම කලාපයේ දැඩි හිමපතනයක් සහ වැසි සහිත කාලගුණයක් පවතින බවත්, ඒ නිසා මුදා ගැනීමේ කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වන බවත් මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙනවා. පළමු භූමිකම්පාව හටගෙන පැය කිහිපයකට පසු දෙවැනි භූමිකම්පාවක් ගැනත් වාර්තා වුණා. දහවල් 1.30 ට පමණ සිදුව තිබූ එය ඒකක 7.5 ක භූමිකම්පාවක් බවයි පැවසුණේ. පළමු භූමිකම්පාවෙන් පසු තවත් පසුකම්පන 50 කට ආසන්න ගණනක් සිදුව ඇති බව ද භූ විද්‍යා අංශ පවසා තිබුණා.
එක් පුද්ගලයකු ඊයේ මාධ්‍ය සමග පවසා තිබුණේ සුන්බුන්වලට යටින් ඒවාට යටවී සිටින පුද්ගලයන් කෑ ගසන හඬ ඇසෙන බවයි. තමුන් බේරා ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් හඬා වැටෙන බව ඔහු පවසා තිබුණා. නමුත් මුදා ගැනීමේ කණ්ඩායම්වලට මෙම ප්‍රදේශය වෙත ළඟා වීම අපහසු වීම නිසා ඔවුන් බේරා ගැනීම සඳහා කිසිවක් කළ නොහැකිව ඇති බව මෙම පුද්ගලයා පවසා තිබුණේ හඬා වැටෙමින්.
එම ප්‍රදේශයේ ගුවන් තොටුපලක ධාවන පථය පැලී විවරව ඇති ආකාරය දැක්වෙන විඩියෝ ද මාධ්‍ය තුළ පළ වී තිබුණා. මේ නිසා මුදා ගැනීමේ කණ්ඩායම්වලට මෙම ගුවන් තොටුපල ද භාවිත කිරීමට නොහැකිව ගොස් ඇති බවයි සඳහන් වුණේ.
වසර 2,000 ක් පමණ පැරණි ඉතා වැදගත් ඓතිහාසික ගොඩනැගිල්ලක් වන ගාසියාන්ටෙප් මාලිගය ද බිමට සමතලා වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සමස්තයක් ලෙස ගොඩනැගිලි 7,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන්.
සිද්ධියෙන් දිවි ගලවා ගත් තුර්කි වැසියකු පවසා තිබුණේ පළමු භූමිකම්පාවේ දී තුන් වරක් පමණ දැඩි සෙලවීම් දැනුණු බවයි. තමුන්ට දැනුණේ පැද්දෙන තොටිල්ලක සිටින ආකාරයක් යයි ද ඔහු කියා තිබු අතර තම ජීවිතයේ වසර 40 ක කාලය තුළ කිසි දිනෙක මෙවැනි සිද්ධියක් අත්දැක නොතිබුණු බව ද ඔහු පවසා තිබුණා.
සඳුදා අළුයම සිදු වූ පළමු භූමිකම්පාව සැලකෙන්නේ තුර්කි ඉතිහාසයේ හටගත් දරුණුම භූමිකම්පාවක් හැටියට යි. එරට ඉතිහාසය තුළ ඇති වූ වඩාත් බිහිසුණුම භූමිකම්පාව ලෙස සඳහන් වන්නේ 1939 වසරේ අර්සින්කාන් නැමැති ප්‍රදේශයේ හටගත් භූමිකම්පාවකුයි. එයින් පුද්ගලයන් 33,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබුණා. 1999 වසරේ තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේ තවත් බිහිසුණු භූමි කම්පාවක් සිදුව තිබූ අතර එයින් මිය ගිය ගණන 17,000 කට ආසන්නයි. තුර්කිය පිහිටා ඇත්තේ භූමිකම්පා බහුලව සිදුවන කලාපයක යි.
නිහාල් පීරිස්