තොටිල්ල පදවන දෑතින් අභ්‍යවකාශ තොටිල්ල පදවා චන්ද්‍රයාන් 03 සඳට යැවූ ඉන්දීය කාන්තාවෝ

ආසියානු කලාපය පමණක් නොව සමස්ත ලෝකයම තවමත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්දියාව විසින් ලොව පළමු වරට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට සිය චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස ගොඩබැස්වීම පිළිබඳව ය. ජූලි 14 වැනිදා පෘථිවියෙන් දියත් කළ මේ යානය අගෝස්තු 5 වැනිදා සඳෙහි කක්ෂයට ඇතුළු වූ අතර අගෝස්තු 23 වැනිදා සඳ මතට ගොඩ බැස්සේ සඳ ජය ගත් ලෝකයේ රටවල් අතලොස්ස අතරට එක් වෙමිනි. මේ චන්ද්‍ර මෙහෙයුම තුළින් සමස්ත ලෝකයම දුටු එක් සුවිශේෂී කාරණයක් තිබිණි. එය මේ දැවැන්ත මෙහෙයුම පසුපස දක්නට ලැබුණු අතිමහත් වූ කාන්තා සහභාගීත්වය යි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීම තහනම් කර ඇති අතර ඔවුන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය ලබා දී ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කාන්තා අයිතිවාසිකම්වලට ප්‍රධාන වශයෙන් සමානාත්මතාව, ගෞරවය සහ වෙනස් කොට සැලකීමෙන් නිදහස ඇතුළත් වේ; මීට අමතරව, ඉන්දියාව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පාලනය කරන විවිධ ප්‍රඥප්ති තිබේ.

මෙවැනි කාරණා නිසා, ආසියානු කලාපය පිළිබඳ බටහිර ලෝකය දකිමින් සිටි ප්‍රතිරූපය වූයේ ඔවුන්ගේ රටවල් තරමට මේ කලාපය තුළ කාන්තාවන්ට නිදහස නොමැති බව ය. විශේෂයෙන් ඉන්දියානු කාන්තාව පිළිබඳ පැවතියේ වඩාත් අයහපත් ප්‍රතිරූපයකි. අතීතයේ දී සිය සැමියා මිිය ගිය පසු එකී කාන්තාවට තවදුරටත් ජීවත් වන්නට හෝ අයිතියක් නොමැත. ඇයට ද වන්නේ සිය සැමියාගේ සෑයට පැන ජීවිතය පුද දී සති පූජා චාරිත්‍ර සිදු කරන්නට ය. වෙහෙස වී නිවසට පැමිණෙන සැමියාගේ පා දෝවනය කොට නිවස තුළට ගැනීම ද ඉන්දීය කාන්තාව පිළිබඳ මැවුණු තවත් චිත්‍රයක් විය. කෙසේ නමුත් මේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම සමග බටහිර ලෝකය තුළ මවාගෙන තිබූ දුර්වල ඉන්දීය කාන්තා ප්‍රතිරූපය බිඳ වැටී ශක්ති සම්පන්න ප්‍රතිරූපයක් ගොඩනැගුණු බව පෙනෙන්නට තිබේ. බටහිර මාධ්‍ය පවා අභ්‍යවකාශ මෙහෙයුමක් තුළ ඉන්දීය කාන්තා දායකත්වය මහත් ඉහළින් පසසමින් තිබෙනු දකින්නට තිබේ. චන්ද්‍රයාන් මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දීය කාන්තාවන් පිළිබඳ අප කතා කළ යුතු වන්නේ ඒ නිසාම ය.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම් සාර්ථක වීම පිටුපස මාධ්‍යවල අප නිතර දුටු ප්‍රධාන පෙළේ විද්‍යාඥවරියන් පිරිසට අමතරව තවත් කාන්තාවන් සිය දෙනෙකුටත් වඩා විවිධාකාරයෙන් සිය දායකත්වය මේ සඳහා ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේ නමුත් අප කතා කරන්නේ මෙයට මූලික වශයෙන් දායකත්වය ලබා දුන් විද්‍යාඥවරියන් පිළිබඳ පමණි.

ආචාර්ය රිතු කරිධාල් ශ්‍රීවස්තාවා

මේ මෙහෙයුම පසුපස සිටි ප්‍රධානතම ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥවරිය වූයේ ආචාර්ය රිතු කරිධාල් ය. ලක්නව් විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දීය විද්‍යායතනයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති ඇයට ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ (Indian Space Research Organization – ISRO) මගින් හොඳම තරුණ විද්‍යාඥවරියට හිමි සම්මානය ද පිරිනමා තිබේ. ඇය ඉන්දියාව තුළ ප්‍රකට වී ඇත්තේ ‘ඉන්දියාවේ රොකට් ගැහැනිය’ (Rocket Women of India) ලෙසිනි. ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ඇය දක්වා ඇති දායකත්වය එයින් පැහැදිලි ය. එපමණක් නොව ‘මංගල්‍යාන්’ නමින් හඳුන්වනු ලැබූ අඟහරු කරා ඉන්දියාව යවන ලද යානයේ මෙහෙයුම් කටයුතුවල දී නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරියක ලෙස ද ඇය කටයුතු කළා ය.

ආචාර්ය නන්දිනී හරිනාත්

ඇය ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කරා යවන ලද පළමු සහ එකම අයදුම් පත්‍රය මගින්ම එකී ආයතනය සමග සම්බන්ධ වන්නට හැකි වූ බව පැවසේ. වසර විස්සක කාලයක් පුරා එහි සේවය කරන ඇය අභ්‍යවකාශ මෙහෙයුම් 14 කට සම්බන්ධ වී තිබේ. ඇය දැනට එම ආයතනයේ ව්‍යාපෘති කළමනාකාරිනිය සහ මෙහෙයුම් සැලසුම්කරණය සම්බන්ධ නිලධාරිනිය ලෙස කටයුතු කරයි. මංගල්‍යාන් මෙහෙයුමේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරියක ලෙස ද ඇය කටයුතු කළා ය.

 

අනුරාධා ටී.කේ.

විස්විස්වරායා ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇති ඇය සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ හසල දැනුමත් ඇති විද්‍යාඥවරියකි. ඉන්දියාව විසින් දියත් කරන ලද ලද ජීසැට් 10 ( GSAT-10) සහ ජීසැට් 12 ( GSAT-12) යන චන්ද්‍රිකා මෙහෙයුම පසුපස සිටි විද්‍යාඥවරිය වූයේ ඇය ය. 63 හැවිරිදි වියෙහි පවතින විශ්‍රාමික කාන්තාවක වුව ද චන්ද්‍රයාන් 3 මෙහෙයුමට ඇගේ දායකත්වය ලබාගැනීමට ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය අමතක කළේ නැත.

මිිනාල් රෝහිත්

‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ පද්ධති ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරන ඇය ද මංගල්‍යාන් මෙහෙයුම සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් කාන්තාවකි. නිර්මා තාක්ෂණික විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති චන්ද්‍රයාන් 2 මෙහෙයුම සඳහා ද මහත් දායකත්වයක් ලබා දුන්නා ය. ඇය දැනට ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

 

මෞමිතා දත්තා

කල්කටා විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජබසාර් විද්‍යා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති ඇය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා භාවිත කරන පරිගණක යෙදුම් නිර්මාණය කිරීමෙහි ලා විශේෂඥවරියකි. එමෙන්ම අභ්‍යවකාශ යානාවල භාවිත වන දෘශ්‍ය උපකරණ සැලසුම්කරණය ද ඇය අතින් සිදු වෙයි.

 

 

 

ටෙසී තෝමස්

ඇය ඉංජිනේරු විද්‍යාවට අමතරව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ද උපාධිධාරිනියකි. අභ්‍යවකාශ පද්ධති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සේවය කරන ඇය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ මිසයිල තාක්ෂණය දියුණු කිරීම සම්බන්ධව ව්‍යාපෘති අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කොට තිබේ. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පිරිනැමෙන ලාල් බහදූර් ශාස්ත්‍රී ජාතික සම්මානය, ආචාර්ය තෝමස් කන්ගාන් නායකත්ව සම්මානය, ලෝකමාන්‍ය තිලක් සම්මානය ආදියෙන් පිදුම් ලබන්නට තරම් දක්ෂතාවයන්ගෙන් හෙබි කාන්තාවක වූවා ය. දැනට හැට වැනි වියෙහි පසුවුව ද චන්ද්‍රයාන් 3 මෙහෙයුම සඳහා ඇගේ දායකත්වය ලබාගන්නට ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය අමතක කළේ නැත.

වී.ආර්. ලලිතාම්භිකා

ඉන්දීය උසස් තාක්ෂණික විද්‍යායතන කිහිපයකින් උසස් අධ්‍යාපනය හදාරා ඇති ඇය දැනට ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥවරියක ලෙස සේවය කරයි. පෘථිවියෙන් රොකට් දියත් කිරීමේ තාක්ෂණය සම්බන්ධ ඇය විශේෂඥවරියකි. අභ්‍යවකාශ යානයක සියලු මෙහෙයුම් රඳා පවතින්නේ රොකට්ටුව සාර්ථක පෘථිවියෙන් දියත් කිරීම මත ය. මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙමින් පවතින ‘ගගන්යාන්’ මෙහෙයුමේ අධ්‍යක්ෂවරිය ලෙස ද ඇය වැඩකටයුතු සිදු කරයි.

 

මුත්තයියා වනිතා

විද්‍යුත් පද්ධති ඉංජිනේරුවරියක ලෙස ක්‍රියාකරන ඇය චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ද හසල බුද්ධියකින් හෙබි තැනැත්තියකි. චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියක ලෙස ඇය දැක් වූ හැකියාවන් නිසා ඇයට චන්ද්‍රයාන් 3 මෙහෙයුම සඳහා දායකවන්නට අවස්ථාව ලැබුණි. මංගල්‍යාන් මෙහෙයුම සඳහා ද ඇය ඉමහත් දායකත්වයක් ලබා දී තිබුණි.

මේ විද්‍යාඥයින් ඇතුළු තවත් බොහෝ ‘අභ්‍යවකාශ කාන්තාවන්’ දෙස අවධානය යොමු කරන විට පෙනෙන විශේෂිත කාරණාව වන්නේ ඉන්දියානු සම්ප්‍රදාය තුළ කාන්තාවන් කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන නැඹුරුවක් පවතින්නේ ය යන ජනප්‍රිය මතයක් පැවතිය ද, මේ සියලු දෙනා සිය සම්ප්‍රදාය තුළ සිටිමින් ම රට වෙනුවෙන් සේවය කිරීම ය. ඇඳුමෙන් පැලඳුමෙන් පවා සම්ප්‍රදාය හැර යන්නට ඔවුන් තුළ අදහසක් පැවතියේ නැත. අප බොහෝ විට නායකත්වය පිළිබඳ ආදර්ශයන් ලබාගන්නේ බටහිර රටවලිනි. නමුත් හොඳින් සොයා බලද්දී අපට අසල්වැසි රටවලින් ඒ හා සමාන, ඇතැම් විට එයිනුත් ඔබ්බට ගිය ආදර්ශයන් ලැබේ. ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා වන එස්. සෝමනාත් සිය ආයතනයේ සම්ප්‍රදාය පිළිබඳ දැනුම්වත් කරමින් පවසා සිටියේ “නායකයා ඇතුළු කිසිදු සාමාජිකයෙක් කණ්ඩායමට වඩා උසස් වන්නේ නැහැ. කණ්ඩායමේ නායකයන්ට විශේෂඥයන් වන්නට බැහැ. ඔවුන් කළ යුත්තේ සාමාජිකයන් තුළින් හොඳම දේ ලබාගැනීමට උත්සුක වීමයි.”

මේ මෙහෙයුමට දායක වූ සෑම කාන්තාවක් ම පාහේ ඉන්දියාවේ සාමාන්‍ය පවුල්වල උපත ලැබූවන් මිසක, අපට ද අයත් නැති චන්ද්‍රිකාවක සන්නිවේදන පහසුකම්වලින් කොටසක් මිලියන ගණනක් වැයකොට මිල දී ගත් අප රටේ අභ්‍යවකාශ විද්‍යාඥයා වැනි ප්‍රභූ පවුල්වලට අයත් වූවන් නොවේ. මේ කාන්තාවන් බොහොමයකට අධ්‍යාපනය ලබාගැනීම පවා සිහිනයක් ව තිබිණි. එයට හොඳම උදාහරණය සපයන්නේ ‘රොකට් කාන්තාව’ ලෙස ප්‍රකට රිතු කරිධාල් ය. ඇය වරෙක සිය ජීවිත කතාවේ බිඳක් මෙසේ පවසා සිටියාය. අපි හරිම දුප්පත්. මට ලොකු අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නැහැ. ඒ හින්දා මට කරන්න තිබුණු එකම දේ අහස දිහා බලාගෙන ඉන්න එක විතරයි ඔය අතරේ මගේ හිතේ අහස ගැන එක එක අදහස් පහළ වෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ මගෙ අධිෂ්ඨානය තවත් කුළු ගැන්වුණා. ඒක තමයි මේ ගමනේ මුල.”

මේ සියල්ල විමසා බලන විට පෙනෙන්නේ ආසියාව තුළ පුරුෂාධිපත්‍යය පවතින බැවින් ආසියානු කාන්තාවකට කිසිදා ස්වශක්තියෙන් නැගී සිටින්නට නොහැකි යැයි පවසමින් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ කාන්තා අයිතීන් ගොඩනැගීමට පැමිණෙන බටහිර රටවල, ආසියානු රටවල තරම්වත් කාන්තා අයිතිවාසිකම් නොමැති බව ය. ඒ රටවල සිදුවන කාන්තා හිංසනයන් මාධ්‍ය ඔස්සේ වාර්තා නොකොට ආසියානු කලාපයේ සිදුවන දෑ මහත් අභිරුචියෙන් හුවා දැක්වීම සිදු වේ. බටහිර ලෝකයේ පුරුෂාධිපත්‍යයක් නොමැති බවට පාරම්බෑව ද අභ්‍යවකාශ තාක්ෂණයේ මහගෙදර වන් වූ නාසා ආයතනයේ හෝ ඉන්දියාවේ තරම් කාන්තා දායකත්වයක් නොමැති බව පෙනී යයි. එබැවින් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම මගින් ඔවුන් ජයග්‍රහණය කළේ සඳ පමණක් නොවේ. ආසියානු රටවල ඉමහත් සේ පැතිර පවතින්නේ යැයි බටහිර රටවල් සියවස් ගණනක් මතු කරන්නට උත්සාහ කළ බොරු කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැනි අදහස් පරයා සැබෑ ස්වභාවය ලෝකය හමුවේ තැබීමේ ජයග්‍රහණය ද ඔවුහු ලබා ගත්හ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර