ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් ‘කුච් කුච් හෝ තා හෙයි’, රෝජා’ වැනි චිත්‍රපට නරඹා ඇතිවාට සැක නැත. එමෙන්ම පැරණි, අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආරාධනා’ හි රාජේෂ් ඛන්නා සහ ෂර්මිලා ථාගෝර් පෙනී සිටින ‘මෙරෙ ස්වප්නොකි රාණි’ ගීතය නරඹා ඇතිවාට සැක නැත. ඉහත කී චිත්‍රපටවල දර්ශනවලින් බොහොමයක් ද, ආරාධනා චිත්‍රපටයේ ගීතය ද රූපගත කොට ඇති ඉන්දියාවේ ඇති දර්ශනීය භූමිභාගය පිළිබඳ ඔබට ඇතැම්විට අදහසක් නැතිවා විය හැකිය. එක්කෝ එය උතුරු ඉන්දියාවේ ඇති අලංකාර භූමිභාගයකැයි අනුමාන කරනවා වන්නට ද පුළුවන. නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටියාට මේ සියලු දර්ශන රූපගත කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ නිල්ගිරි දිස්ත්‍රික්කයට අයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 2,240ක් පමණ උසකින් පිහිටි අතිශය අලංකාර වටපිටාවක්, භූමි දර්ශනයක් ඇති ඌටි ප්‍රදේශයේය. මෙය ඌටි නමින් ප්‍රසිද්ධ වුව ද සැබෑ නම වන්නේ ‘උඩකමණ්ඩලම්’ ය. කඳුවලින් ගැවසී ගත් බැවින් ‘කඳුකර රැජින’ යන අරුතින් ‘ඌටි’ යන්න බිඳී තිබේ. ඌටි යනු ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය ගමනාන්තයකි. කුඩා ස්විට්සර්ලන්තය යන අනවර්ත නාමයෙන් ද මේ පළාත හඳුන්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ සිට ඌටි ප්‍රදේශය කරා සංචාරය කරන්නට යමෙක් බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා අවම වශයෙන් දින හයක්වත් ගතවේ. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව කරා ගුවනින් ගමන් කරද්දී ගමනාන්ත ගුවන් තොටුපල දෙකක් ඇති අතර ඒවා වන්නේ බැංගලෝරය හෝ කොයිම්බටූර්ය. මේ ගුවන් තොටුපලවල සිට ඌටි දක්වා එක්කෝ කුලී රථයකින් ගමන් කළ හැකිය. නමුත් බොහෝ සංචාරකයන් තෝරා ගන්නේ ‘නිල්ගිරි මවුන්ටන් රේල්වේ’ දුම්රිය සේවයයි. කඩා හැලෙන දිය ඇලි, මීදුමින් වැසුණු කඳු මුදුන්, එක යායට ඈතට විහිදී යන තේ වතු, ප්‍රපාතාකාර භූමි දර්ශන මේ දුම්රිය ගමනේ දී අත්විඳිය හැකිය. ශ්‍රී ලංකාවේ සිට ගමන් කරන, ඉන්දියානු සංචාර නුපුරුදු අයවලුන් නම් සංචාරක ආයතනයක සහාය ඇතිව ගමන් කිරීම වඩාත් නුවණට හුරුය. ඌටි ප්‍රදේශයටම ආවේණික ‘තෝඩා’ ජනතාව මෙහි වැඩි වශයෙන් ජීවත් වන අතර සංචාරකයන්ගේ පැමිණීම ආශීර්වාදයක් සේ සලකන බැවින් කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැත. කෙසේ නමුත් විවෘතභාවයකින් යුක්තව, ඔවුන්ගේ සංස්කෘතියට ගරු කරමින් කටයුතු කිරීම අනවශ්‍ය ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට හේතුවක් වනු ඇත.
ඌටි සංචාරක ගමනාන්තයක් බැවින් නවාතැන් ගත හැකි ස්ථාන ඕනෑ තරම් තිබේ. කෙසේ නමුත් https://www.tripadvisor.in/ වැනි සංචාරක වෙබ් අඩවිවලින් නවාතැන් පහසුකම් කලින් වෙන්කර ගෙන යාම වඩාත් පහසුවක් වනු ඇත. නවාතැන් කලින් වෙන් කර ගෙන යන්නේ නම් ඔබට එහි ළඟා වූ දිනයේදීම ඉතා දැකුම්කළු ඌටි විල නරඹන්නට යාමේ හැකියාව තිබේ. පළිඟු මෙන් පැහැදිලි දිය තලාවක් ඇති එහි බෝට්ටු සවාරි යාම ජීවිතයට අපූරුම ආකාරයේ අත්දැකීමක් ළඟා කර දෙනවා නිසැකය.
දෙවැනි සහ තුන්වැනි දිනවල දී ඌටි ඇති රජයේ උද්භිද උද්‍යානය, ඩොඩ්ඩබෙට්ටා කඳු මුදුන, ඌටි රෝස උද්‍යානය නැරඹීමට පුළුවන. එකිනෙකට වෙනස් රෝස මල් ගණනාවක සුවඳින් නැහැවුණු රෝස උද්‍යානය ජීවිතයේ කිසිදා නොවිඳි අත්දැකීමක් ලබා දෙනු ඇත. නිල්ගිරි කඳු පන්තියේ ඉහළම ස්ථානය වන්නේ ඩොඩ්ඩබෙට්ටා කඳු මුදුනය. මුළු ප්‍රදේශයම අංශක 360 ක කෝණයකින් නැරඹීමේ මහඟු අත්දැකීම එතැන දී ලබා ගත හැකිය.
ඌටි ප්‍රදේශය පුරා ඇවිද යාම ද මෙහි දී ලැබිය හැකි තවත් අත්දැකීමකි. ඌටිවලටම ආවේණික චොක්ලට් සහ ගෘහාශ්‍රිතව නිපදවන ජෑම් මෙහි දී මිල දී ගත හැකිය.
පස්වැනි දිනයේ දී කූනූර් කඳු මුදුන නැරඹීමට යොදා ගත හැකිය. මෙය නිහඬ නිශ්චල ප්‍රදේශයකි. කුරුළු නිරීක්ෂණය, අලංකාර තේ වතු නැරඹීම, විවිධ හැඩයන්ගෙන් යුක්ත කඳු මුදුන් තරණය, ඓතිහාසික ගොඩනැගිලි නැරඹීම ද මෙහි ලද හැකි අත්දැකීම්ය. සිම් නමින් හැඳින්වෙන උද්‍යානය නැරඹීම ද කූනූර් කරා පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම සිදු කරන්නෙකි. යටත් විජිත සමයේ මෙහි ජීවත් වූ ජේ.ඩී, සිම් නමැති උද්‍යාන පාලකයා විසින් නිර්මාණය කරන ලද, ඉතා විරල ගණයේ තුරුලතා ඇති උද්‍යානයක් ලෙස මෙය ප්‍රකටය.
මේ ප්‍රධාන ස්ථානවලට අමතරව ඔබ සංචාරය කරන්නට තෝරා ගත් සංචාරක ආයතනයේ අභිමතය පරිදි තවත් ස්ථාන කිහිපයක් ද නරඹන්නට හැකියාව ලැබිය හැකිය. කෙසේ නමුත් දින පහක් තුළ ප්‍රධාන ස්ථාන සියල්ල දැක බලා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබේ.
හයවැනි දිනය නැවත පැමිණීමේ වැඩකටයුතු වෙනුවෙන් යොදා ගත හැකිය.
සාමාන්‍යයෙන් මෙවැනි සංචාරයක් සඳහා එක් පුද්ගලයකුට අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 150,000 ක් පමණ වැය විය හැකිය. කෙසේ නමුත් තෝරා ගන්නා ගුවන් සේවය, ඉන්දියාව තුළින් සම්බන්ධ කර ගන්නා සංචාරක මග පෙන්වන ආයතනය, නවාතැන් ගාස්තු, කෑම බීම ආදිය මත මෙහි වෙනස්කම් සිදු විය හැකිය.
කෙසේ නමුත් දකුණු ඉන්දියාවේ නිල්ගිරි දිස්ත්‍රික්කයේ ඇති ඌටි ප්‍රදේශය, ඔබට සංචාරයක් පමණක් නොව ඔබ ආසාවෙන් රස විඳි හින්දි සිනමා පටවල දර්ශන තුළ ජීවමානවීමේ වාසනාවක් ද ඔබට හිමි කර දෙනු නොඅනුමානය.
නිරංජන් චාමින්ද කරුණාතිලක