දඬු ලේනාට දඬුවම් දීමේ කැකිල්ලේ තීන්දුව

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැන් අවස්ථා කිහිපයක දීම අප ජන සමාජයේ විවෘත අවධානය සඳහා රසවත් මාතෘකාවක් ඉදිරිපත් කොට තිබේ. එනම් දඬු ලේනා ගෙන් වන වගා හානිය මත උදා: ‘ජාතික සත්වයා’ යන හැඳින්වීමෙන් ඉවත් කළ යුතු බවට විවිධ පාර්ශවයන් ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින බවකි.

ඇමතිවරයා ගේ මෙම ප්‍රකාශයට අනුව දඬු ලේනුන් නිසා වගා පාළු කරගන්නවුන් ‘හොඳ වැඩේ ඕකාට වුණේ’ ‘එක අතකට ඕකාට ඔහොම වෙලා මදි’ යනුවෙන් සැනසුම් සුසුම් හෙළනු ඇත්දැයි අපි නොදනිමු. එමෙන්ම තමන්ට හිමි වූ මෙම දඬුවමින් ලජ්ජාවට පත් වූ දඬු ලේනා තම සුපුරුදු වගා පාළු කිරීම් නවතා තමන්ට සිදු වූ අලකලංචියෙන්  පසුව මිනිසුන්ට මුහුණ නොදී මහ වනය තුළ සැඟව ගනු ඇතැයි සිතීමට ද නොපුළුවන. වන අලින් ඇතුළු රිලවුන්,මොනරුන්, ඉත්තෑවුන් සහ දඬු ලේන්නුන් ගෙන් වන වගා පාළු වීම් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට පටන් ගෙන දැනට දශක කිහිපයකට වඩා නැත. වන අලින් ගේ රජ දහනක් වන ගල්ගමුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. කේ. විමලරත්න මහතා වරක් මා හා කීයේ තමන් ගේ ළමා වියේ දී වන අලින් ගේ ගම් වැදීම් ඉතාම අහඹු සිදුවීම් ලෙස සැලකුණු බව ය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිඳෝගම විශ්‍රාමලත් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමානන්ද කටුගම්පල මහතා පවසනුයේ අලින්ගේ ගම් වැදීම දේව කෝපයක ළකුණක් සේ නුවර කලාවියේ අතීත ගැමියන් තුළ විශ්වාසයක් පැවති බවකි.

එමෙන්ම මීට දශක කිහිපයක් තෙක් කුඩා දරුවන් ගේ මනැස්වල විසිතුරු චිත්ත රූප මැවීමට සමත් ඉතා විසිතුරු පක්ෂියකු වන මොනරා අද වන විට ගම්බද සේම අර්ධ නාගරික ප්‍රදේශවල ද සුලබ සත්වයකු වී ඇති අතර ඔවුන් දකින්නවුන් වෙතින් පැවසුණු “අනේ, ආව් අප්පා” වැනි සොම්නස් වදන් අද වන විට “තුහ් නොදකින්” මට්ටම දක්වා පහළ බැස තිබේ.

අතීතයේ වන සතුන් වශයෙන් හැඳින්වුණු මෙම සත්ව සමූහයා අද වන විට මිනිස් ජනාවාස හා වගාබිම් ආක්‍රමණය කිරීමට හේතුව කුමක්ද?
සත්ව චර්යාවේදය නම් විෂය පථය අනුව ඒ දෙස විමසා බැලීමේ දී මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව පෙනෙන සත්‍යයක් තිබේ.එනම් ඒ සඳහා මුල්වන හේතු සාධක අතුරින් නොමනා මානව ක්‍රියාකාරකම් වලට මුල් තැනක් හිමි වන බව ය.නිරතුරුවම ස්වභාවිකත්වයට අවනත වන සතුන් ඔවුන් ගේ ස්වාභාවික වාස භූමි සහ චර්යා රටාවන් වෙත එල්බ ගැනීමත් විවිධ හේතුන් මත ඒ වාසභූමි හා සම්බන්ධ පාරිසරික තත්වයන් විෂම හා ව්‍යාකූල වීමත් සමඟ එළැඹෙන නවතාවයන් වෙත ද ඔවුන් අනුවර්තනය වීම ඉතා සුලබ සාමාන්‍ය තත්වයක් බව ය. එහෙත්, ඒ සඳහා ඔවුනට අවශ්‍ය එම සාධක හිමි කර දෙනුයේ ස්වාභාවිකත්වයට පිටුපෑම සහ සොබාදහම අතික්‍රමණය කිරීම සම්බන්ධයෙන් අවිචාරවත්ව කටයුතු කරන මිනිසා මය. ඒ අනුව වන සතුන් ගෙන් එල්ල වන සකල විධ හානි සම්බන්ධයෙන් හුදෙක් උන් ගේ පාර්ශවයට පමණක් චෝදනා එල්ල කිරීම මිනිසත් බවට සිදුකරන නිගාවන් බව අපගේ වැටහීම ය.

වර්තමාන සමාජය මිනිසා සොබාදහම සම්බන්ධයෙන් මුහුණ පාන ප්‍රධානතම ගැටළුවක් වනුයේ මිනිස්- අලි ගැටුම ය. ජාත්‍යන්තර ව්‍යවහාරයේ දී Human Elephant Conflict යනුවෙන් හැඳින්වෙන මෙය සිංහල ව්‍යවහාරයේදී අලි- මිනිස් ගැටුම ලෙස විකෘති කොට තිබේ. ඒ මිනිසුන් විසින් වන සතුන් ගේ වාසස්ථාන ආක්‍රමණය කළ බවට වන පරම සත්‍යය යටපත් කොට වන අලින් මිනිසුන් ගේ ගම්බිම් ආක්‍රමණය කරන බවට කල්පිතයක් මවා පාමින් කරන මෙම “උගුරට හොරා බේත් කෑම” ද වහාම නතර කළ යුතුය. යම් හෙයකින් වන අලින්ටත් මිනිසුන්ට මෙන් නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි නම් උන් ඒකාන්ත වශයෙන්ම මෙම නඩුවෙන් මිනිසුන් පරදවා ජයග්‍රහණය කරනු ඇත.                                           පසුගිය දිනවල විදුලි සැර වැද්දවීමෙන් නාමල් උයන රක්ෂිතය තුළ දී ඇතකු සහ මිහින්තලේ,ඉහළගම,පුලුක්කුලමේ දී ඇත් පැටවකු සහ අලින් දෙදෙනෙක් කෲර ඝාතනයන්ට ලක් වූහ. නමුත් ඒ සම්බන්ධ ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග තුළ සවිමත් බවක් නොමැති වීම මත මෙම කුරිරු ඝාතන “දාම ක්‍රියාවන්” ලෙස සමාජය පුරා පැතිර යාමේ පැහැදිලි අවදානමක් පැන නැඟී තිබේ.

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය ඒකාබද්ධව සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වූ කරුණු අනුව ගත වූ කාලය පුරා කෙමෙන් වර්ධනය වෙමින් පැවැති මිනිස්-අලි ගැටුම මේ වන විට වඩාත් නරක අතට පත් වෙමින් තිබේ.දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 කින්ම මිනිස්-අලි ගැටුම් වාර්තා වන අතර ගැටුම් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්ෂිකව වැඩි වෙමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.මිනිස්-අලි ගැටුම් හේතුවෙන් වසරකට මිනිස් මරණ 81 ක් සිදුවන බවත් 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී මරණ සංඛ්‍යාව 50% කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% කින් වර්ධනයක් පෙන්නුම් කරන බවත් පෙන්වා දෙන එම වාර්තාව වසරකට අලි 263 ක් ගැටුමට බිලිවන බව ද අනාරණය කොට තිබේ.මෙය 1992–2001 කාලසීමාව සමග සැසඳීමේ දී හස්ති මරණ සංඛ්‍යාව 92%කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31% ක වර්ධනයකි.

මෙම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙනුයේ ප්‍රධාන මිනිස්-අලි ගැටුම් කළමනාකරණ ක්‍රම හතරක් සඳහා වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුල 110% කින් වර්ධනය වී ඇති පසුබිමක පවා වසරේ සෑම කාලසීමාවකම නොවෙනස්ව මිනිස්-අලි ගැටුම් මගින් අලි – මිනිස් ජීවිත රටට අහිමි වන බවකි.

අවිද්‍යාත්මක සහ යල්පැනගිය මිනිස්-අලි ගැටුම් කළමනාකරණ ක්‍රම සහ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් මෙම මිනිස්-අලි ගැටුම් ඉහළ යාමට හේතුව බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය ඒකාබද්ධව සිදුකළ එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

අද වන විට මෙවන් බිහිසුණු තත්වයකට පත් ව ඇති මෙම මිනිස් අලි ගැටුම සමනය කර ගැනීම කෙසේ වෙතත් අවම කර ගැනීම පිණිස වන තිරසාර ක්‍රියා මාර්ග පසෙක තිබිය දී පැත්තක හිඳින දඬු ලේනකු අල්ලා ගෙන උගේ “වැඩ තහනම් කිරීම” වැනි මුග්ධ ක්‍රියාවකට පෙළඹීම අප දකින්නේ අප රටේ පවතින ප්‍රධාන පාරිසරික ගැටළුවක් අනියමින් යටපත් කිරීමේ කූටෝපායක් ලෙසිනි.

Ratufa macroura  යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන දඬු ලේනා සත්ව ලෝකයේ අතිශය ක්‍රියාශීලී උද්යෝගීමත් සත්වයෙකි. අළුයම යන්තම් හිරු උදාවීමත් සමඟ තුරු වදුලු තුළින් පිටතට පැමිණෙන දඬු ලේනා ගේ චර්යා උද්යෝගීමත් කඩිසර චර්යා රටාව දකින්නවුන් ගේ සිත් ප්‍රබෝධමත් කරයි. එක මොහොතක් නිකම් නොසිට තුරුලිය අතරේ නිබඳවම එහා මෙහා පනිමින් ආහාර සොයා යන දඬු ලේනා ගේ දුර පැනීමේ ශූරත්වය ද අගය කළ යුතු ය.උගේ එම ප්‍රියංකර භාවය සහ පරිසරය අලංකාරවත් කිරීම නිමිති කොට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව දඬු ලේනා ගේ රුව සහිත මුද්දර ද නිකුත් කොට තිබේ. එවන් තත්වයක් යටතේ ජාතියක් වශයෙන් උගෙන් ගත යුතු ආදර්ශ කොතෙකුත් තිබිය දී මානව චර්යා පදනම් කරගත් පාරිසරික විෂමතා මත “දඬුලේනා වගා පාළු කරන්නේය” යන මතයේ සිට ඌ ජාතික සත්වයා තනතුරින් පහ කිරීමට කටයුතු යෙදීම එක්තරා විහිළුවකි.කැකිල්ලේ තීන්දුවකි.

මේ සම්බන්ධයෙන් සත්ව ලෝලීන් පරිසර ලෝලීන් ගේ සහ පරිසරවේදීන් ගේ මතවාද සමාජ ජාලා මගින් පැතිර යනු පෙනෙයි.ඒ අතර මිනිස් ජීවිත සහ දේපල වලට හානි කරන්නේය යන චෝදනාව මත හෝ වන ජීවී කොට්ඨාශයක් වන අලි ඇතුන් වැඩ ගැනීම, ආගමික සංස්කෘතික හා ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමෙන් වලකින්නේ නම් ඒ සඳහා තමන් ගේ පූර්ණ අනුග්‍රහය හිමි වන බව එක් යුවතියක් තමන්ගේ ෆේස්බුක් ගිනුමෙහි සටහනක් යොදා තිබිණ.මම ද ඇය සමඟ සියයට සියයක්ම එකඟ වෙමි.

(දඩුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇතැයි මෙම ලිපිය ලියා හමාර වූ පසුව දැන ගත හැකි විය.ඒ එම සත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති විරෝධතාව සැළකිල්ලට ගනිමිනි. ‘ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ නේ’ යැයි අමාත්‍යවරයා එහි දී සඳහන් කොට ඇත.ප්‍රශ්න ඇති කර ගන්නෙ නැති එක හොඳයි ඇමති තුමා හැබැයි ඉතින්  තියන ප්‍රශ්නත් ඔහේම විසඳන්න ඕනෙමයි;හරි ය?)

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර