දරුවන් ගෙන් Tik Tok ඈත් කරන්න යන්නේ ඇයි?

සමාජ මාධ්‍ය ජාල අතර අතිශය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Tik Tok ’භාවිත කරන අවුරුදු 18 ට අඩු පරිශීලකයන්ට, වෙනත් ලෙසකින් පැවසුවහොත් දරුවන්ට සීමාවක් පැනවීමට එම ආයතනය සිය අලුත්ම යාවත්කාලීනය තුළින් පියවර ගෙන තිබේ. මේ අනුව අවුරුදු 18 ට අඩු දරුවන්ට Tik Tok පරිශීලනය කළ හැක්කේ මිනිත්තු 60 ක කාලයක් සඳහා පමණි. අවුරුදු 13 – 18 අතර වයස්වල සිටින දරුවන්ට මෙය එක් ආකාරයකටත්, අවුරුදු 13 ට අඩු දරුවන්ට තවත් ආකාරයටත් මේ සීමාව ක්‍රියාත්මක වේ. අවුරුදු 13 – 18 අතර වයස්වල සිටින දරුවන් මිනිත්තු 60 ක් දක්වා Tik Tok පරිශීලනය කළ විට අදාළ සීමාව ළඟා වී ඇති බවට පණිවිඩයක් තිරයේ දිස් වෙයි. නමුත් ඔවුන්ට කැමති නම් තිරය මත ඇති බොත්තම ඔබා නැවතත් අඛණ්ඩව ඉදිරියට Tik Tok පරිශීලනය කිරීමේ අවස්ථාව සලසා තිබේ. නමුත් අවුරුදු 13 ට අඩු වයස්වල සිටින දරුවන්ට මෙය ක්‍රියාත්මක වනුයේ වෙනත් ආකාරයකට ය. ඔවුන්ගේ මිනිත්තු 60 සීමාව ළඟා වූ විට තිරය මත පණිවිඩයක් මතු වී මුර පදයක් ඉල්ලා සිටියි. මේ මුර පදය සකස් කරනු ලබන්නේ දෙමාපියන් විසින් වන අතර එය නොමැතිව මෙය ඉදිරියට පරිශීලනය කළ නොහැකිය. මේ තීරණ ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නට Tik Tok සමාගම වැඩකටයුතු කරමින් සිටියි.

මේ තරමට කතා කරන Tik Tok කියන්නේ මොකක්ද?

Tik Tok ඉතිහාසය දක්වා ගමන් කොට අපට මේ සඳහා පිවිසිය හැකිය. මෙය නිර්මාණය කරන්නේ ByteDance නම් චීන සමාගම විසින් 2016 වසරේ දී චීනයේ ය. මුල් නම වූයේ A.me වූ අතර පසුව එය Douyin ලෙස වෙනස් කෙරිණි. කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සඳහා පරිශීලකයන්ට අවකාශයක් සකසා දීම මෙහි අරමුණ විය. Douyin මෘදුකාංගය දින 200 ක් තුළ නිර්මාණය කෙරුණු අතර පළමු වර්ෂය තුළ දී පමණක් එහි පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 100ක් දක්වා වර්ධනය විය. නමුත් එය චීන ජාතිකයන්ට පමණක් සීමා වී පැවතිණි. චීනයේ සිටින්නේ ගෝලීය අන්තර්ජාල පරිශීලකයන්ගේ පහෙන් පංගුවක් පමණක් වූ නිසා ByteDance සමාගමට මෙය ලොව පුරා ප්‍රචලිත කරන්නට අවශ්‍ය විය. ඔවුන් මේ සඳහා ඒ වන විටත් lip-syncing නිර්මාණය කරමින් සිටි Musical.ly සමාගම සමග ඒකාබද්ධ වන්නට 2017 වර්ෂයේ දී තීරණය කළේ ය. වෙනත් පාර්ශ්ව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවල පෙනී සිටින පුද්ගලයන්ගේ තොල් සෙලවෙන ආකාරයට ගැළපෙන සේ වෙනත් වචන සහ දෙබස් යොදමින් කෙටි වීඩියෝ නිර්මාණය කිරීම lip-syncing නමින් හඳුන්වනු ලබයි.

2018 වර්ෂයේ දී ඔවුන් මෙහි නම Musical.ly වෙනුවට Tik Tok යනුවෙන් වෙනස් කරමින් ජාත්‍යන්තරයට පිවිසුණේ ය. එයින් පසුව එහි ජනප්‍රියත්වය සිතා ගත නොහැකි තරමට ඉහළ නැංගේ ය. දැනට ජනප්‍රියතම සමාජ ජාලවල පළමුවැන්නා Facebook වන අතර දෙවැන්නා YouTube ය. තෙවැන්නා බවට පත්ව සිටින්නේ Tik Tok වන අතර එය මේ වන විට YouTube සමාජ ජාලය ට ද තර්ජනයක් වෙමින් වර්ධනය වන බව පෙන්නුම් කරයි.

Tik Tok දරුවන්ට අහිතකරද?

Tik Tok ලොව පුරා පරිශීලකයන් විසින් කෙතරම් ආදරයෙන් වැළඳ ගත්ත ද තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙය පිළිබඳ විවේචනාත්මකව කතා කරයි. විශේෂයෙන් අනෙක් සමාජ ජාලවලට වඩා Tik Tok දරුවන් කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරන බව කලක සිට ලොව පුරා නැගෙන්නට වූ දෝෂාරෝපණය විය. ඔවුන්ගේ නවතම යාවත්කාලීනය තුළින් දරුවන් Tik Tok පරිශීලනය කිරීම යම් සීමාවකට ලක් කරන්නට තීරණය කළේ ද මේ තත්ත්වය නිසා ය. සැබවින්ම Tik Tok දරුවන් කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනවා ද?

මුල් ම චෝදනාව වන්නේ Tik Tok ඔස්සේ පාලනයක් නොමැතිව දරුවන්ට නොගැළපෙන අන්තර්ගතයන් පැමිණෙන බවය. මේ නිසාම මෙය උපත ලද චීනය ද ඇතුළුව ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය තුළ මෙය තහනමට ලක් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල Tik Tok සඳහා සීමාවන් පැනවිණි.

Tik Tok තුළින් දරුවන්ට යම් නිර්මාණශීලී දෑ ඉදිරිපත් කළ හැකි වුව ද, එය ඔස්සේ මානසික වශයෙන් ඇති වන වෙනත් අහිතකර බලපෑම් ද දකින්නට ලැබේ. එයින් ලැබෙන වීඩියෝ සහ වීඩියෝ පිළිබඳ දක්වන ඍණාත්මක අදහස් දරුවන්ගේ මානසිකත්වය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව සොයා ගෙන ඇති කරණයකි. දරුවන්ගේ ආත්මාභිමානය, ශරීරය පිළිබඳ වූ ප්‍රතිරූපය සහ ආත්ම විශ්වාසය කෙරෙහි ද අහිතකර ලෙස බලපෑම් කිරීමට Tik Tok හේතු වන බවට සාධක ලැබී තිබේ. එය දරුවන් තුළ විෂාදය (depression), කංසාව (anxiety) සහ ආහාර අරුචිය (anorexia) හෝ අසීමාන්තික ලෙස ආහාර ගැනීම (bulimia) වැනි ආහාර සම්බන්ධ ගැටලු ද ඇති විය හැකි ය.

එමෙන්ම ගෙල වැළලාගෙන සිටින සේ හිඳිමින් වීඩියෝ නිර්මාණය කිරීමේ අභියෝගයක් Tik Tok ඔස්සේ සිදු කළ දරුවන් පිරිසක් අතර එක් දරුවෙක් මරණයට පත්වීමේ සිදුවීමක් එක්සත් රාජධානියෙන් වාර්තා විය. මේ දරුවාගේ මව මේ පිළිබඳ Tik Tok සමාගමට එරෙහිව නඩුවක් ද පැවරුවා ය.

මේ නිසා දරුවන් අතට ස්මාර්ට් දුරකතනයක් ලබා දෙන විට ඔවුන් භාවිත කරන Apps වර්ග පිළිබඳ දෙමාපියන් ලෙස අවධානය යොමු කිරීම ඔබගේ වගකීම ය. Tik Tok නිර්මාණශීලී මාවතක් විවෘත කර දෙන බව සත්‍ය නමුත් එය ඔස්සේ පැමිණෙන අහිතකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ කාර්යය විය යුතුය. Tik Tok මගින් දරුවන්ගේ නැරඹීම් කාලය සඳහා යම් සීමා පැනවූව ද ඒවා මග හැර යාමට ඕනෑ තරම් ක්‍රම තිබේ. ඒ නිසා මේ සීමා කිරීම පිළිබඳ පමණක් විශ්වාසය තබා නො සිට දරුවන්ගේ ස්මාර්ට් දුරකතන සහ සමාජ ජාල භාවිතය කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම දෙමාපියන් වන ඔබ සැමගේ වගකීම සහ යුතුකම වන්නේ ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර