මම කැමැතියි නුඹේ පීතෘ ස්නේහය ගැන කතා කරන්න.කොහොම වුණත් නුඹ කිව්වෙ ” චූටි දුව” කියලනෙ.ඒ කියන්නෙ නොදරුවෙක් වෙන්න ඇතිනෙ. ඒ නිසා අපි ඒ දරුවව පැත්තකින් තියමු.
ඇයි නුඹේ දුව බය වුණේ?
ඇයි නුඹේ ගේ ඉදිරියට පිරිස් ඒකරාශී වුණේ?
නුඹේ දරුවා නොකෑවේ එක දවසයි නේ. ඒත් ඒ නුඹ කියන විදියට. මේ රටේ දරුවන් බඩගිනි උහුලන විදිය කොතරම්ද කියලා නුඹ දන්නවද?
නුඹලා බේගල් කියලා පත්වීම් ලබලා ගිහින් ජනතා මුදලින් සුර සැප විඳින කොට දරුවො කී දාහක් බඩගින්නේ නිදියනවාද කියලා දන්නවද?
නුඹලා රට විරුවො කියලා රවට රවටා අපේ අම්මලා තාත්තලාව පිටරට පටවලා උන්ගෙන් මොන තරම් නම් හම්බ කරනවාද? ඒ අසරණයො මොනතරම් විදේශ විනිමයක් මේ රටට එවනවාද?
ඒත්, ඒ අම්මලා තාත්තලා පිට රට ගියාම මෙහෙ ඉන්න චූටි දුවලට මොකද වෙන්නේ කියලා නිකමට හිතුවද?
මේ රටේ දුප්පතුන් තවත් දුප්පතුන් කරන වැඩපිලිවෙල් ඇරෙන්න නුඹලා දුප්පතුන් ගොඩ නැගීම වෙනුවෙන් කරලා තියෙන්නෙ මොනවාද?
ඔව්… කරන්න දෙයක් නැතිම තැන ඒ අම්මලා පිටරට යනවා. දරුවො තනිවෙනවා. මම කෙලින්ම කියන්නම්. චූටි දුවලා කී දෙනෙක් තමන්ගෙම තාත්තා, සහෝදරයා, සීයා, මාමා අතින් දූෂණය වෙනවාද කියලා නුඹ ඇතුළු පාර්ලිමේන්තුවෙ ඉන්න තාත්තලා දන්නවද? ඒවායින් බොහොමයක් පොලිස් වාර්තාවලට එකතු වන්නේ නැති බව දන්නවද?
අම්මලා රට ඉඳලා එනකොට පවුල් විනාශයි. දරුවො සී සීකඩ. දරුවන් දෙතුන් දෙනා ඉන්නවා නම් එක තැනක නවත්වන්න බෑ. ඉතිං දරුවන් තැන්තැන්වල. තාත්තලා බීල බීලම නැති වෙලා. සමහර තාත්තලා අම්මලා එනකොට එල්ලිලා මැරිලා.
බණ්ඩාරෙ උඹලගෙ පාලක සනුහරේ මාරුවෙන් මාරුවට චූටි දුවලගෙ අම්මලා තාත්තලා රැවැට්ටුවා.
බණ්ඩාරෙ, දන්නවද?
අම්මලා තාත්තලා උන්ගෙ කුස පුරවන්නයි උන්ට නොතෙමී ඉන්න වහලක් හදන්නයි රට යන්නෙ. ගිහින් එනකොට උන්ට වෙන්න ඕනෙ හරිය වෙලා. වෙන්න ඕනෙ කරදර ඔක්කොම වුණාට පස්සෙ උන්ගෙ මනස හොඳට තියෙයිද? නෑ .. ඒවත් ලෙඩ වෙලා.
ඉතිං පරම්පරා ගාණක් යන තුරු ඒ පවුල් ඉවරයි. ඔව්.. පරම්පරා ගාණක් ඉවරයි. උඹලා පරම්පරා ගාණක් ගොඩ යනකොට දුප්පත් චූටි දුවලගෙ පරම්පරා ගාණක් ඉවරයි.
උඹලා රට විරුවො රට විරුවො කියලා කිව්වට මොකද? ඒ හොයාගෙන එන ඩොලර් ටිකත් හොරා කෑවා හැර ඒ දරු පවුල් පරම්පරා ගාණක් විනාශ වුණු බව අඩුම තරමේ දැනගෙනවත් ඉන්නවද?
සැතපුම් තුන හතර පයින් ගාටලා මහ පාරට ඇවිත් බස් එකේ නැගලා පාසල් යන චූටි දුවලා කොචිචරද දන්නවද? ඒ දරුවො බස් එකට එන්නෙ පාළු පාරවල්වල. එහෙම ගම් කියෙනවා බණ්ඩාරෙ. ඉතිං ඒ දැරිවියො වැඩිවියට පත් වුණාම අම්මලා ඉස්කොලෙ යවන එක නවත්වනවා. මොකද කවුරු හරි ඒ දැරිවියන් “බඩ කරයි” කියලා අම්මලා බයයි. ඔව් ඒ මේ රටේ තමයි. ඉතිං ඒ චූටි දුවලා කොච්චර බයෙන් ඇතිද නේද?
දන්නවද ඒ චූටි දුවලටත් අම්මලාටත් යන්න තාම වැසිකිලි නෑ. ඒ අම්මලා රෑ වෙනකම් ඉන්නවා කැලේට යන්න. ඔව්! ඒ මේ ලංකාවෙ තමයි.
මේ දරුවන්ගෙ අම්මලා දවසකට ඉල්ලන්නෙ රුපියල් සීයක් ලැබෙන ජීවනෝපායක්. රුපියල් සීයක්… විශ්වාසද?
ඒ අම්මලාගෙ චූටි දුවලා පාසල් ගිහින් එන කොට බඩගින්න නිවාගන්න තල්ගස් යට තල් අහුලන්න යනවා. ගිහින් කුසගිනි වැඩිකමට සිහිමුර්ජා වෙනවා. ඔව්.. ඒ මේ ලංකාවෙ.
සමහර චූටි දුවලගෙ ගෙවල්වල කවදාවත් උදේට බතක් ඉවෙන්නෙ නෑ. එක බත්පතයි ඉවෙන්නෙ. තුනට හතරට කෑවම රෑටත් ෂේප්.
බණ්ඩාරෙ,
උඹලගෙ සනුහරේ, ඒ කියන්නෙ පාලක පන්තිය මාරුවෙන් මාරුවට මේ අහිංසකයන් රැවැට්ටුවද? මේ අහිංසකයන් උඹලගෙ වහල්ලු කරගත්තද?
චූටි දුවලා විතරක් නොවෙයි බන්, චූටි පුතාලත් බයේ. බඩගින්නෙ… මවුපියනුත් බඩගින්නෙ…
උඹලට තවමත් ගැතිකම් කරන්නෙ උඹලගෙන් ඉඳුල් කන උන් විතරයි. එහෙම නැතිනම් අසරණකමට උඹලාට රැවටුණ අසරණම දුප්පතුන් විතරයි.
අසරණ දුප්පත් ජනතාව ගැන කැක්කුමක් තියෙන කවුරුත් උඹලට විතරක් නොවෙයි ජරාජීර්ණ කිසිම මජර පාලකයකුට කඩේ යන්නෙ නෑ.
ඔව්.. ජනතාවට දේශපාලනය නොකර ඉන්න කියලා කාටවත් කියන්න බෑ. ඒත්, මට මෙහෙම කියන්න පුළුවන්. අපේ බඩකට විතරක් පිරිලා මොකටද? තව දරුවො දහස් ගාණක් බඩගිනි උහුලද්දී. ඒ නිසා කොයි පක්ෂයක වුණත් ජඩ පාලකයන්ට විරුද්ධව නැගී හිටින්න. ජනතාව සිටිය යුත්තේ ජනතාවගෙ පැත්තෙ. නැතුව පාලකයන්ගෙ පැත්තෙ නොවෙයි.
ඔබ කාව බලයට ගෙනාවත් ඔවුන් කරන්නෙ ජඩ පාලනයක් නම් ඊට විරුද්ධ වෙන්න. රටක් යනු තම පවුල පමණක් නොවෙයි. දියුණුව යනු තම පවුලේ දියුණුව පමණක් නොවෙයි. ඒ ගැන අවබෝධයෙන් සිටින්න.
අපි පක්ෂ හෝ නායකයන් වෙනුවෙන් පෙනී නොසිටිමු. නිදහස ලැබූ දා සිට මෙතෙක් අප ඇදහූ පක්ෂ අප මහමඟට ඇද දමා තියෙනවා. අප සිඟමනට පත් කර තිබෙනවා. අපි තව දුරටත් පක්ෂ බදාගෙන සිටිය යුතුද?ඔව්. අපි ජනතාවගේ පැත්තෙ.පාදඩ පාලන ක්‍රම අහෝසි කරමු.
ජන අරගලයට ජය වේවා!
සුමේධා නවරත්න