දරු ප්‍රසූතියකින් පසු මවකට ඇතිවිය හැකි සංකූලතා

දරු ප්‍රසූතිය සාමාන්‍ය අන්දමට සිදු වුවත්, සිසේරියන් සැත්කමකින් සිදු වුවත් මවකට යම් යම් සංකූලතා හටගත හැකි අවස්ථාවන් යෙදේ. මෙය සෑම මවකටම එකසේ සිදු නොවුණත් ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්වයක් බව අප අමතක කළ යුතු නැත.

සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසු ඇති විය හැකි සංකූලතා

සාමාන්‍ය ආකාරයට දරු ප්‍රසූතිය සිදු කරන කාන්තාවකගේ පළමු දරු ප්‍රසූතියේ දී අනිවාර්යයෙන්ම යෝනි මාර්ගය අසල කැපුමක් යොදනු ලබයි. එසේ කරන්නේ දරු ප්‍රසූතිය පහසු වීම සඳහා ය. සමහර මව්වරුන්ට ඊළඟ දරු ප්‍රසූතිවලදීත් දරුවා පමණට වඩා වර්ධනය වී ඇත්නම් කැපුමක් කිරීමට සිදුවන අවස්ථා තිබේ. ඒ අපහසුවකින් තොරව දරු ප්‍රසූතිය සිදු වීමට ය. කෙසේ වුවද මෙම කැපුම මසන්නේ ශරීරයට අවශෝෂණය වන නූල් වර්ගයකිනි. මේ මැහුම් ගැලවීයාම, මැසීමේදී නූල් ගැට ගැසීමේ ගැටලු වැනි දෑ හේතුකොට ගෙනත්, එම ස්ථානය හොඳින් පිරිසිදු නොකිරීම වැනි හේතු මතත් එහි ආසාදනයක් ඇති වීමේ හැකියාවක් තිබේ. එවිට කැපුම රතුපාට වී ඉදිමීම, පැසවීම, තදබල වේදනාවක් හට ගැනීම, ඇවිදීමේ අපහසුව, මුත්‍රා සහ මළපහ කරන විට වේදනාව දැනීම, උණ වැනි ලක්ෂණ ඇතිවීමට හැකියාව තිබේ. එවැනි දෙයක දී වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.

අර්ශස් රෝගය තිබෙන මව්වරුන්ට ද දරු ප්‍රසූතියෙන් පසු අර්ශස් ගෙඩි රතු පාට වී ඉදිමීමක් ඇති විය හැකිය. මවට මල බද්ධය තිබෙනවා නම් මේ තත්ත්වය තවත් වැඩිවේ.

දරු ප්‍රසූතියක් සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදේ.

1. ප්‍රසූති වේදනාව පටන් ගැනීම සහ දරුවා පිටතට ඒම ආරම්භ වීම
2. දරුවා බිහිවීම
3. දරුවා මවගේ ගර්භාෂය තුළට සම්බන්ධ වී සිටි වැදෑමහ ඇතුළු අනෙකුත් පටක පිටතට ඒම

කලාතුරකින් මෙම තුන්වන අවස්ථාවේ දී වැදෑමහ සහ එහි පටක ඇතුළු ඉතිරි වී ඇති අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් පිටතට නොපැමිණ එහි කොටස් ගර්භාෂය තුළ රැඳී පවතින්නට පුළුවන. එවිට ඒවා ගර්භාෂය තුළ ආසාදන ඇති කරයි. මෙය හඳුන්වන්නේ  Postpartum pyrexia යනුවෙනි.මේ තත්ත්වය ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ගැබිනි සමයේදී මව කිසිදු ව්‍යායාමයක් නොමැති ව වැඩිපුර එකතැනම හිඳීම නිසා පාදවල රුධිරය කැටි ගැසීම යි. මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙක එලෙසිනි.

Postpartum pyrexia රෝගය ඇති වූ විට එම මවට තදබල උණ, යටි බඩේ කැක්කුම, යෝනි මාර්ගයෙන් සැරව සහිත දුගඳකින් යුතු ශ්‍රාවය පිටවීම වැනි ලක්ෂණ හට ගත හැකිය. මෙම රෝගය දරු ප්‍රසූතියෙන් දින 2- 3 කින් පමණ හටගැනීමට ඉඩ තිබේ. අපේ ගැමියන් වැදූ ගෙයි සන්නිය ලෙසින් හඳුන්වන්නේ මේ රෝග තත්ත්වයයි.

මේ ආකාරයට වැදෑමහ සහ අනෙකුත් පටක ගර්භාෂයේ ඉතිරි වීම මත සමහර මව්වරුන්ට ප්‍රසූතියෙන් පසුව අධික රුධිර වහනයක් හටගත හැකිය. පසුප්‍රසව රුධිර වහනය නමින් හඳුන්වන මෙය කොටස් දෙකකි.

1. ප්‍රාථමික පසුප්‍රසව රුධිර වහනය
2. ද්විතියික පසුප්‍රසව රුධිර වහනය

ප්‍රාථමික පසුප්‍රසව රුධිර වහනය ඇති වන්නේ දරුවා බිහිවී පළමු පැය විසිහතර ඇතුළත ය.

ද්විතියික රුධිර වහනය දරුවා බිහිවී පළමු පැය විසිහතරෙන් පසුව හට ගැනීමේ හැකියාව තිබේ.

අපේ රටේ මාතෘ මරණ ඇති වීමට බලපාන පළමු හේතුව මෙම පසුප්‍රසව රුධිර වහනය යි. මෙය වහා ප්‍රතිකාර ලබා දිය යුතු තත්ත්වයකි. මේ හේතුව මත දරුවා ප්‍රසූත වූ අවස්ථාවේම ඊළඟට පිටතට පැමිණෙන වැදෑමහ සහ එහි කොටස් සම්පූර්ණයෙන් පිටතට පැමිණෙන්නේ ද යන්න එම අවස්ථාවේ එතැන සිටින වෛද්‍යවරයා, හෙදිය සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් සොයා බලනු ඇත. යම් අයුරකින් එලෙස ගර්භාෂයේ කුඩා කොටස් ඉතිරි වී තිබෙනවා නම් ඒ බව වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයාට හෝ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයාට දැන්විය යුතුය. එවිට එම මව ශල්‍යාගාරයට ගෙනගොස් නිර්වින්දනය කර ගර්භාෂයේ ඇතුළත පරීක්ෂාකොට ඉතිරි කොටස් සියල්ල ඉවත් කරනු ඇත.

දරු ප්‍රසූතිය සිදුවන විට යෝනි මාර්ගයේ තුවාල වීම් ද සිදුවිය හැකිය. ඒවායේ ආසාදනය වීම් මෙන්ම ප්‍රසූතියෙන් පසු මුත්‍රාශයට විෂබීජ ගොස් මුත්‍රා ආසාදන වැනි දෑ හට ගැනීමේ ද හැකියාවක් ඇත. විශේෂයෙන් ප්‍රසූතියෙන් පසුව එම ප්‍රදේශය පිරිසිදුව තබා නොගැනීම මෙලෙස යෝනි මාර්ගයේ හා මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති වීමට හේතුවක් වෙයි. එනිසා දරු ප්‍රසූතියෙන් පසුව මව පිරිසිදුව සිටීම සහ පෝෂ්‍යදායී ආහාර ගැනීමද ඉතා වැදගත් ය.

දරුවාට මව් කිරි දීම අඩුවීම හෝ මව්කිරි නොදී හිඳීම තුළින්ද ගර්භාෂයේ ආසාදන ඇතිවේ. ඒ මෙලෙසිනි.

දරුවා මව් කිරි උරා බොන විට මවගේ ශරීරයේ ඔක්සිටොසින් නම් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වේ. එම හෝමෝනය මගින් ගර්භාෂය සංකෝචනය කිරීම සිදුවන අතර එහි නහර කුඩා කිරීමට ද එය උදව් වේ. එවිට එහි ඇති අපද්‍රව්‍ය ද ඉවත්ව යනු ඇත. දරුවාට මව්කිරි දීම අඩු නම් හෝ නොදී හිඳින්නේ නම් ඔක්සිටොසින් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වේ. මෙය දරුවෙකුට මව්කිරි වැඩි වැඩියෙන් ලබා දීම සඳහා සොබාදහම මගින් ම උරුම කර දී තිබෙන තත්වයකි.

එසේම මව්කිරි නොදෙන මව්වරුන්ගේ පියයුරුවල කිරි එකතු වී ගල් ගැසීම නිසා පියයුරු තද වී ඉදිමී මවට අධික වේදනාවක් හටගනු ඇත. මෙයට ප්‍රතිකාර නොකළොත් බැක්ටීරියා වැනි විෂබීජ ඇතුළු වී එතැන ඉදිමීමක් ඇති වේ. මේ අවස්ථාවේදී මවට තද උණද හටගනී. මවගේ පියයුරු පුඩු නිසි ලෙස වැඩී නැති විට ද දරුවාට කිරි උරා බීම අපහසු වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැකිය. දරුවා බිහි වූ පසු කිසියම් හේතුවක් මත රෝහලේ ළදරු කාමරයේ දරුවා රඳවා තැබීමට සිදු වූ විට මවගේ කිරි දොවා හෝ දරුවාට ලබාදීම සිදු නොවුණොත් එවිට ද මේ තත්ත්වය හට ගැනීමට ඉඩ ඇත. යම් හෙයකින් දරුවා ඉපදී මිය ගිය හොත් එවිට ද මේ තත්ත්වය ඇති වන නිසා එවැනි අවස්ථාවක දී නම් කිරි වේලී යාම පිණිස මවට ඖෂධ ලබා දීම සිදු කෙරේ.

සිසේරියන් සැත්කමකින් පසු සිදුවිය හැකි සංකූලතා

මෙකල බොහෝ මව්වරු ප්‍රසූත වේදනාව විඳීමට දක්වන බිය නිසා සිසේරියන් සැත්කමක් මගින් දරුවා ප්‍රසූත කිරීමට වැඩි උනන්දුවක් දක්වති. නමුත් දරු ප්‍රසූතියක් යනු මිනිස් තිරිසන් ඕනෑම ගැහැනු සත්ත්වයකුට පොදු වූ ජීව ක්‍රියාවලියක් මිස රෝගයක් නොවේ. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ඒ අවස්ථාවට වේදනාව දැනෙනු ඇත. නමුත් එම වේදනාව දින ගණන් පවතින්නක් නොවේ.

සිසේරියන් සැත්කමක් යනු උදරයේ විශාල තුවාලයක් සිදු කිරීමකි. සැත්කම් වර්ග දෙකකට බෙදේ. ඒ ප්‍රධාන සැත්කම් හෙවත් major operations සහ සුළු සැත්කම් එනම් minor operations ලෙසිනි. සිසේරියන් සැත්කම් යනු මෙම ප්‍රධාන ගණයේ සැත්කමකි. සැත්කම කළ ස්ථානයේ ඉන් පසුව විශාල වේදනාවක් දැනෙන අතර එය සති දෙකක් පමණ තුවාලය වේලී යන තුරුම පවතී.

සිසේරියන් සැත්කමක් යනු හොඳින් සිටි කාන්තාවක් රෝගියකු කිරීමකි. සැත්කම් තුවාලය පැසවීම මෙන් ම කලාතුරකින් දෙපාවල ශිරා තුළ ලේ කැටි ගැසීම වැනි තත්ත්වයන් ද මෙහිදී මවකට හටගැනීමට ඉඩ ඇත. සැත්කමෙන් පැය විසි හතරකට පසුව ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීමේ අවකාශයක්ද නැතුවා නොවේ.එසේම සැත්කමින් පසු මුත්‍රා පිටවීම සඳහා මවට යොදන කැතීටරය මාර්ගයෙන් විෂබීජ ඇතුළු වීමට ද හැකියාව පවතී.

එසේම සාමාන්‍ය දරු ප්‍රසුතියක් සිදු කළ මවට ප්‍රසූතියෙන් පසු දරුවා බලා ගැනීමට හැකියාව තිබුණත්, සිසේරියන් සැත්කමක් කළ මවකට එම කාර්යය අපහසු වේ. එනිසා දරුවා බලා ගැනීමට මුල් කාලයේ වෙනත් කෙනෙකුගේ උදව් අවශ්‍ය වනු ඇත.

මෙම සංකූලතා විස්තර කිරීමෙන් අප අදහස් කළේ දරු ප්‍රසූතියක් පිළිබඳව මවක් තුළ බියක් ඇති කිරීම නොවේ. දරු ප්‍රසූතිය යනු බිය විය යුතු දෙයක් නො වන අතර ප්‍රසූතියකින් පසු ඇතැම් මව්වරුනට ඇතිවිය හැකි මෙවැනි සංකූලතාවලට ප්‍රතිකාර තිබෙන නිසා මේවාට බිය විය යුතු නැත.

ප්‍රසව හා නාරි නාරිවේද විශේෂඥ  වෛද්‍ය එස්. බී. ඒකනායක

ඉන්දු පෙරේරා

විනිවිද සායනය