දරු සම්පත් අහිමි කරවන පැලෝපීය නාල ගැටළු හඳුනා ගනිමු

කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වූ පසු ඒ ඩිම්බය රඳවා ගන්නේ  පැලෝපීය නාලය යි. පිරිමියකුගේ  ශුක්‍රාණුවක් සමග ඩිම්බය එක් වන්නේද පැලෝපීය නාලය තුළදී ය. එලෙස ශුක්‍රාණුව සමග සංසේචනය වීමෙන් පසු හැදෙන  යුක්තානුව පැලෝපීය නාලය තුළ  දින තුන හතරක් පවතින  අතර ඒ කාලය තුළ යුක්තානුවට  අවශ්‍ය පෝෂණය  සපයන්නේද  පැලෝපීය නාලය යි.

ඉන්පසු මේ යුක්තානුව ගර්භාෂය කරා තල්ලු  වී යන්නේ  පැලෝපීය නාලයේ බිත්තිවල සෛල මතුපිට තිබෙන තන්තු විශේෂයක ක්‍රියාකාරිත්වය මගිනි.

කාන්තාවකට දරු ඵල හට නොගැනීමට බලපාන හේතු අතර 15% – 20% ක් පමණ ම පැලෝපීය නාල ආශ්‍රිත ගැටලු වේ. මෙහිදී  පැලෝපීය නාලවල අවහිරතා මෙන්ම  එය ක්‍රියාකාරී වීමේ ගැටලු ද එක සේ බලපානු ඇත.

පැලෝපීය නාලයේ බිත්තිවල සෛල මතුපිට තන්තුවල ක්‍රියාකාරීත්වයෙහි ඇතිවන ගැටලු  දරු පල අහිමි ඵල  බලපාන මූලික හේතුවකි.මේ නිසා යුක්තානුවට ගමන් කිරීමට බාධා ඇතිවේ. අප මේ කතා කරන්නේ එම තත්ත්වය හට  ගැනීමට බලපාන හේතු පිළිබඳවයි.

* උපතින් ඇතිවන පැලෝපීය නාලවල  අසාමාන්‍යතා

මෙය කලාතුරකින් පැවතිය හැකි තත්ත්වයක් වන අතර මෙයින් සමහර අසාමාන්‍යතා සැත්කම් මගින් යථා තත්ත්වයට පත් කළ හැකි වේ.

* වැඩි වියට පත්වූ පසු ඇතිවිය හැකි තත්වයන්

පැලෝපිය නාලයේ ආසාදන, පැලෝපීය නාල ආශ්‍රිතව  ඇතැම්විට සිදුකරන ශල්‍යකර්ම හා එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය මේ තත්ත්වයන් ලෙස දැක්විය හැකිය.

බොහෝ විටම පැලෝපීය නාලවල ක්‍රියාකාරීත්වයෙහි ගැටලු ඇති වන්නට හේතුව මෙහි දැක්වූ දෙවන කරුණ ය. ඒ නිසා මේ පිළිබඳව තරමක්  විස්තර සහිතව දැක්වීම වැදගත් වේ යැයි වේ යැයි සිතමු .

පැලෝපීය නාලවල ආසාදන බහුලවම ඇතිවන හේතුව වන්නේ ලිංගාශ්‍රිත රෝග යි. ඒ අතරිනුත් ක්ලැමීඩියා ආසාදනය සහ ගොනෝරියා ආසාදනය ප්‍රමුඛ වේ.

පැලෝපීය නාලවල ආසාදන ඇතිවීමට තවත් හේතුවක් වන්නේ ගබ්සා වීම් ය. ඉබේ සිදුවන ගබ්සාවලට වඩා බාහිරව සිදුකෙරෙන අක්‍රමවත්  ගබ්සා කිරීම් නිසා ආසාදන ඇති වීමට විශාල හැකියාවක් ඇත.

එසේම කාන්තාවකට දරු ප්‍රසූතියකදී  පැලෝපීය නාලය හා ගර්භාෂය ආශ්‍රිතව ආසාදනයක් ඇති වුවහොත් ඇයට ඊළඟ දරු ගැබ හට ගැනීමට බාධා ඇති විය හැකිය.

ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ක්ෂය රෝගය නිසාද පැලෝපීය නාලවලට  විශාල බලපෑමක් සිදු වීමට පුළුවන.

ඉතාම කලාතුරකින් උපත් පාලන ලූප පැළඳීමෙන්  එය ආසාදනය වීමට හැකියාව තිබේ.

මේ සියලු ආසාදන ඇතිවන වාර ගණනට සාපේක්ෂව නාලවල ඇතිවන අවහිරතා ද වැඩිය.

ඉහත දැක්වූ කරුණු අපි තවදුරටත් පැහැදිලි කර ගනිමු.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය

ගර්භාෂයෙන් පිටත ඇතිවන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයද පැලෝපීය  නාලවල අවහිරතා ඇති කිරීම සඳහා හේතුවක් වෙයි. නාලවල  හැඩය හා පිහිටීම මේ නිසා වෙනස් වන අතර ඩිම්බයට ඩිම්බ කෝෂයේ සිට පැලෝපීය නාලවලට පැමිණීමට මේ නිසා බාධා ඇති වනු ඇත. එසේම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය නිසා නාලවල තන්තු ක්‍රියාකාරිත්වය ද අඩුවේ.

ශල්‍යකර්ම

ගර්භාෂය හා පැලෝපීය නාල ආශ්‍රිත ශල්‍යකර්මවලදී නොවැළැක්විය හැකි ලෙස පැලෝපීය නාලවලට ඇතැම් විට හානි සිදුවීමට ඉඩ ඇත. එසේම දරුවන් නොලැබීම සඳහා තාවකාලිකව එල්.ආර්.ටී.සැත්කම කරවා ගත් කාන්තාවකට නැවැත දරුවකු අවශ්‍ය වී ඒ සැත්කම කර නාලය යථා තත්ත්වයට පත් කරන්නට යන විටදී ද  ඇතැම් අවස්ථාවල එය සාර්ථක නොවන්නට ඉඩ ඇති නිසා එය ද යළි දරුවකු ලැබීමට බාධාවක් විය හැකි ය.

පැලෝපීය නාල අවහිරතා වළක්වා ගන්නේ කොහොමද ?

මෙයින් සමහර අවහිරතා වැළැක්විය හැකිය.

* ලිංගාශ්‍රිත බෝවන්නට ඇති අවකාශ වළක්වා ගැනීම සහ එවැනි රෝගයක්  වැළඳුනහොත් ඉක්මනින් ප්‍රතිකාර ගැනීම තුළින් ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවන ආසාදන  වළක්වා ගන්නට පුළුවන .
* ගබ්සා වළක්වා ගැනීම  සහ දරු ප්‍රසූතියකින් පසුව ඇතිවීමට ඉඩ තිබෙන ආසාදනද වළක්වා ගැනීමට  පියවර ගැනීම ඉතා වැදගත්ය.
එයද බොහෝවිට කළ හැකි දෙයකි.
* උදරය ආශ්‍රිත ක්ෂය රෝගය  වැළඳී තිබෙන බව සනාථ වුවහොත් ක්‍රමානුකූලව සම්පූර්ණ ක්ෂය රෝග ප්‍රතිකාර ගෙන එය සුවකර ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයකි.

පැලෝපීය නාලවල  අසාමාන්‍යතා හඳුනාගන්නේ කොහොමද?

මේ සඳහා පරීක්ෂණ කිහිපයක් තිබේ.

එච්. එස්. ජී. පරීක්ෂණය ( H.S.G.Test)

මෙය පහසුවෙන් කළ හැකි පරීක්ෂණයක්  වන අතර නාල අවහිර වූ තැන අපහසුවකින් තොරවම මෙමගින් බලාගත හැකිය. නමුත් සමහර ඖෂධ අසාත්මික වන අයට මෙම පරීක්ෂණය කිරීම අපහසු වන්නට ඉඩ තිබේ.

ලැපරොස්කොපි ඇන්ඩ් ඩයි ටෙස්ට් ( laparoscopy and  dye test )

ගැබ්ගෙල හරහා ඩයි වර්ගයක් යවමින් එය අපහසුවක්  තොරව  පැලෝපීය නාල හරහා ගමන් කරන්නේ දැයි සොයා බැලීම මෙහිදී සිදුවේ.  එසේ නොවන්නේ නම් එම නාලවල අවහිරතාවක් ඇති බව පැහැදිලි කර  ගත හැකිවනු ඇත.

හයිකොන්සි පරීක්ෂණය (Hystero-Contrast-Salpingography )

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් කරන අතරේ විශේෂ ද්‍රාවනයක් ගර්භාෂයට යවා එය පැලෝපීය නාල හරහා ගමන් කරන්නේ දැයි සොයා බැලීම මෙහිදී සිදුවේ.

මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් සිදුවන කිහිපයක් පමණි. කෙසේ වුවද ශල්‍යකර්ම මගින් මෙම අවහිරතා නැති කරන්නට ද පුළුවන. එහි ප්‍රතිඵල තීරණය වන්නේ පැලෝපීය නාලයේ  අවහිර ස්ථානයේ, අවහිර වී තිබෙන ප්‍රමාණය මත ය. මේ කිසිදු ක්‍රමයක් සාර්ථක නොවුණොත් නල දරුවකු හදා ගැනීම වැනි ප්‍රතිකර්මයකට මාරුවීමට එම කාන්තාවට සිදු විය හැකිය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රජීව් විතානගේ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය