දවස් 288 ක් අභ්‍යවකාශයේ සිර වී සිට පැමිණි සුනීතා විලියම්ස්ට ඉන්දීය ජනපති මෝදි ගෙන් සුබ පැතුම්

පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ කක්ෂ ගත කොට ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 8 ක කාලයක් ගත කිරීම සඳහා පසුගිය වසරේ ගමන් කළ සුනිතා විලියම්ස් ඇතුළු පිරිසට ආපසු පැමිණීමේ පැමිණීමේ අභ්‍යවකාශ යානයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දින 288 ක් හෙවත් මාස 9ක පමණ කාලයක් එහි රැඳී සිට මාර්තු 18 වෙනිදා නැවත පෘථිවිය කරා පැමිණි පුවත මේ වන විට බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. ඇය ඉන්දීය පුරවැසියකු නොවුව ද ඉන්දීය සම්භවයක් හිමි බැවින්, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි කලක පටන්ම ඇය සමග මිත්‍රශීලීව සිටි අතර ඇය නැවත පැමිණීම වෙනුවෙන් මාර්තු 19 වැනිදා X සමාජ ජාලයේ ඇයගේ ධෛර්යය අගයමින් සුබ පතා පණිවිඩයක් ද සටහන් කොට තිබිණි. අසීමාන්තික මිනිස් ආත්මයක් තුළ කෙතරම් ධෛර්යයක්, අභියෝග ජය ගැනීමේ හැකියාවක් තිබෙන්නේ ද යන අරුත එහි ගැබ්ව තිබිණි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

සුනිතා විලියම්ස් ඇමරිකානු අභ්‍යවකාශගාමී කාන්තාවක් සේම නාවික නිලධාරිනියක ද වන අතර අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඇය දක්වා ඇති දායකත්වය සම්බන්ධයෙන් ඉමහත් ඇගයීම්වලට ලක්ව තිබේ. ඇය ඉන්දීය කාන්තාවක නොවුව ද ඇගේ පියා වූ ආචාර්ය දීපාක් පාණ්ඩ්‍ය ඉන්දියාවේ ගුජ්රාත් සම්භවයක් ඇති පුද්ගලයෙකි. ඇගේ මව ස්ලෝවීනියානු කාන්තාවක් වන බැවින් සුනිතාට ඇත්තේ මිශ්‍ර වූ උරුමයකි. මේ හේතුව නිසා ගෝලීය වශයෙන් සුවිශේෂ චරිතයක් වූ ඇය, විශේෂයෙන් ඉන්දියාව ඇතුළුව ලොව පුරා මිලියන ගණනක් ජනතාවකගේ ආදරය ගෞරවය නොමද ලැබී තිබේ.

සුනිතා සහ විල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී

සුනිතා විලියම්ස් ඇමරිකානු අභ්‍යවකාශගාමී කාන්තාවක් සේම නාවික නිලධාරිනියක ද වන අතර අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඇය දක්වා ඇති දායකත්වය සම්බන්ධයෙන් ඉමහත් ඇගයීම්වලට ලක්ව තිබේ. ඇය ඉන්දීය කාන්තාවක නොවුව ද ඇගේ පියා වූ ආචාර්ය දීපාක් පාණ්ඩ්‍ය ඉන්දියාවේ ගුජ්රාත් සම්භවයක් ඇති පුද්ගලයෙකි. ඇගේ මව ස්ලෝවීනියානු කාන්තාවක් වන බැවින් සුනිතාට ඇත්තේ මිශ්‍ර වූ උරුමයකි. මේ හේතුව නිසා ගෝලීය වශයෙන් සුවිශේෂ චරිතයක් වූ ඇය, විශේෂයෙන් ඉන්දියාව ඇතුළුව ලොව පුරා මිලියන ගණනක් ජනතාවකගේ ආදරය ගෞරවය නොමද ලැබී තිබේ.

ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය

1965 සැප්තැම්බර් 19 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ, ඉයුක්ලිඩ් හි උපත ලද සුනිතා විලියම්ස් ඉන්දීය ගුණදහම් පිරුණු වටපිටාවක හැදී වැඩුණාය. 1987 වසරේ දී එක්සත් ජනපද නාවික ඇකඩමියෙන් භෞතික විද්‍යා උපාධියක් හිමි කර ගත් ඇය පසුව ෆ්ලෝරිඩා තාක්ෂණ ආයතනයෙන් විද්‍යාපති උපාධියක් ද හිමි කර ගත්තාය. 1990 වසරේ දී ෆෙඩරල් පොලිස් නිලධාරියකු වූ මයිකල් ජේ. විලියම්ස් සමග විවාහ පත් වූ අතර ඔවුනට දරුවන් නොමැත. ඇය සෑම විටම සිය පවුල ලෙස සඳහන් කර සිටින්නේ සැමියා සහ සුරතල් සුනඛයා පිළිබඳ පමණි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සුනිතා ව්‍යායාමවල නිරත වූ ආකාරය

ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් ගුවන් හමුදාවේ ගුවන් නැවියක ලෙස සේවය ආරම්භ කළ ඇය හෙලිකොප්ටර් පැදවීම සහ විවිධ පරීක්ෂණ මෙහෙයුම්වල නිරත වූවාය. ඇගේ මේ කැපවීම සහ දක්ෂතාව පිළිබඳ නාසා ආයතනයේ අවධානය යොමු වූ අතර 1998 වසරේ දී ඇය අභ්‍යවකාශගාමී අපේක්ෂිකාවක වශයෙන් තෝරා ගනු ලැබුවාය.

සුනිතාගේ අභ්‍යවකාශ චාරිකාව දුෂ්කර පුහුණුවීම් සහ ඉමහත් වූ කැපකිරීම්වලින් පිරී ගිය එකක් විය. ඇය මුලින්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කළේ 2006 වසරේ දීය. එම අවස්ථාවේදී ඇය දින 194 පැය 18 මිනිත්තු 58 ක කාලයක් එහි ගත කළ අතර ඒ වන විට කාන්තාවක විසින් අභ්‍යවකාශයේ ගත කළ වැඩිම කාලය ලෙස වර්තාවක් ද තැබුවාය. ඇගේ මෙවැනි අත්දැකීම් සහ විශේෂඥභාවයන් අනාගත අභ්‍යාවකාශ චාරිකා සඳහා සුදුසුකමක් බවට පත් වූ අතර 2024 වසරේ බෝයිං ස්ටාර්ලයිනර් චාරිකාව සඳහා ඇය තෝරා ගන්නට ද හේතු වූයේ ද මෙයය.

අගමැති මෝදි සහ සුනිතා විලියම්ස් හමු වූ එක් අවස්ථාවක්

2024 ජූනි 5 වැනිදා සුනිතා විලියම්ස් තවත් අභ්‍යවකාශගාමියකු වූ බුච් විල්මෝර් සමග එක්ව බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වූවාය. අභ්‍යවකාශ යානය ගමන ආරම්භයට පෙර විවිධ හේතුන් නිසා ප්‍රමාදවීම්වලට ලක් වූ නමුත් අවසානයේ එය සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වන්නට සමත් විය. සුනිතා එයට ළඟා වූ අවස්ථාවේ දී තවත් වාර්තාවක් තබන්නට සමත් වූවාය. ඒ සෝයුස් සහ බෝයිං ස්ටාර්ලයිනර් යන යානා දෙකෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වූ පළමුවැන්නා බවට පත්වීමය.

සුනිතා සහ ඇගේ කණ්ඩායම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වූ අවස්ථාවේ දී එහි ඒ වන විට සිටි කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ව උණුසුම්ව පිළිගනු ලැබිණි. ඔවුන් එහි වැඩ කටයුතු භාර ගැනීමත් සමග එහි සිටි කාර්ය මණ්ඩලය වෙනත් අභ්‍යවකාශ යානයක් මගින් පෘථිවිය කරා පැමිණියහ. සුනිතා සහ බුච් විල්මෝර්ගේ මූලික මෙයෙහුයම බවට පත්ව තිබුණේ ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයේ අභ්‍යවකාශය තුළ දීර්ඝ කාලයක් රැඳී සිටිමින් විද්‍යාත්මක අත්හදාබැලීම් කිරීම පිළිබඳ හැකියාව පරීක්ෂා කිරීම සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යම් නඩත්තු කාර්යයන් කිහිපයක් සිදු කිරීමය.

සුනිතාට සහ විල්මෝර්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා මුලින්ම සැලසුම් කොට තිබුණේ සති කිහිපයක කාලයක් පමණි. කෙසේ නමුත් බෝයිං ස්ටාර්ලයිනර් යානයේ ඇති වූ කාර්මික දෝෂ හේතුවෙන් එය දිනෙන් දින කල් ගොස් අවසානයේ එය අනපේක්ෂිත ලෙස මාස නවයක කාලයක් දක්වා කල් ගියේය. අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වන්නට පෙර එම අභ්‍යවකාශ යානය පරිපූර්ණ වශයෙන්ම ක්‍රියාකාරී තත්ත්වයක පවතින්නේ ද යන්න තහවුරු කර ගැනීමට නාසා ආයතනයට අවශ්‍යව තිබිණි. මේ පමා වීම කෙරෙහි ඔවුන්ගේ ආපසු පැමිණීමට ඇති අවශ්‍යතාව පමණක්ම බලපෑවේ නැත. අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යානා යැවීම සහෙ ඒවා නැවත ගෙන්වා ගැනීම යම්කිසි ක්‍රමවත්, නියම කරගත් පටිපාටියකට සිදු වේ. ඒ අතරමැද අවස්ථාවක දී වෙනත් යානයක් එය කරා යවන්නේ ද යන්න හොඳින් සොයා බලා සිදු කළ යුත්තක් මිස හිතුමතයේ සිදු කළ හැකි දෙයක් නොවේ.

සුනිතා සහ විල්මෝර්

අනපේක්ෂිත ලෙස ආපසු පැමිණීම පමාවීම නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින්නට සිදු වූ දීර්ඝ කාලය තුළ සුනිතාට සහ විල්මෝර්ට දැඩි දෛනික ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුව තිබිණි. එහිදී ඔවුන් ආහාර පිණිස ගත්තේ විවිධ වර්ගයේ කලින් ඇසුරුම් කරන ලද මුදවූ – වියළි ආහාරය. ඒවා අතර ටෝර්ටිලා නම් කේක් වර්ගය, බත්, පිසින ලද කුකුළු මස්, මුදවපු කිරි ආකාරයට සකස් කළ බිත්තර සහ විජලන තත්ත්වයේ වූ පලතුරු තිබිණි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක තීරණාත්මක දෙයක් වන්නේ ජලය ය. පෘථීවියේ සිට මෙය කරා ජලය නිතර ප්‍රවාහනය කිරීම අධික වියදම්කාරී දෙයක් වන බැවින් සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ පානය, ආහාර පිළියෙල කිරීම සහ දත් මැදීම සහ අත් සේදීම වැනි කාර්යයන් සදහා ජලය භාවිතයට ගැනේ. පෘථිවියේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ජලය යැවීම අතිශය වියදම්කාරී දෙයක් වන අතර ඒ සඳහා ආසන්න වශයෙන් එක් ලීටරයක් හෙවත් ජලය කිලෝ 1ක පමණ ප්‍රමාණයක් සඳහා ඇමරිකානු ඩොලර් 5,000 – 10,000 (රු. ලක්ෂ 14 – ලක්ෂ 29 ක් අතර) මුදලක් වැය වේ.

සුනිතා සහ විල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා රැගෙන ගිය බෝයිං ස්ටාර්ලයිනර් යානය

අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඇති මුත්‍ර, දහඩිය සහ තෙතමනය, අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කොතැනක හෝ ඝනීභවන හෝ වාෂ්ප ස්වභාවයෙන් ඇති ජලය ප්‍රතිචක්‍රීකරණයට ලක් කෙරේ. දෑත් සේදීම සහ ශරීර සෞඛ්‍යමය කටයුතු සඳහා වූ ජලය පෙරීමට ලක් කොට නැවත භාවිතයට ගැනීම සිදුවේ. නාසා ආයතනය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ජලය ස්වභාවයෙන් ඇති ඕනෑම දෙයක් 98%ක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තාක්ෂණයක් භාවිත කරයි. මුත්‍ර වැනි ශරීර අපද්‍රව්‍ය කලින් සඳහන් කළ සේ ප්‍රතිචක්‍රීකරණය කොට පානීය ජලය බවට පත් කරනු ලබන අතර මළ පහ ආදිය ොඅපද්‍රව්‍ය බැහැර කරවන බඳුනක රැස්කොට පසුව පෘථිවි වායුගෝලයට මුදු හැර පුළුස්සා දමනු ලබයි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමේ කාලය අනපේක්ෂිත ලෙස දීර්ඝ වීම නිසා සුනිතාට සහ විල්මෝර්ට ශුන්‍ය ගුරුත්වය යටතේ සිය සෞඛ්‍යය පවත්වාගෙන යාම සඳහා දැඩි වෙහෙසක් දැරිය යුතුව තිබිණි. ඔවුන් දිනපතා අඩුම වශයෙන් පැය දෙකක කාලයක් ව්‍යායාම කළ යුතුව තිබිණි. එයට හේතුව වූයේ අභ්‍යවකාශය තුළ දීර්ඝ කාලයක් ශුන්‍ය බර තත්ත්වයක පසු වන්නට සිදුවීම නිසා මාංශ පේශී සහ අස්ථි වැහැරී දියවී යාම වළක්වාගනු සඳහාය.

ඩ්‍රැගන් යානය සුනිතා සහ විල්මෝර් සහ මුහුදට ගොඩ බෑ අවස්ථාව

සුනීතා විලියම්ස්ගේ මේ චාරිකාව, නොපසුබට උත්සාහය, අනුවර්තනය වීමේ හැකියාව සහ ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා මිනිස් ආත්මය තුළ ඇති දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියකි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඇයගේ දීර්ඝ කාලීන රැඳී සිටීම, ඇය මුහුණ දුන් අභියෝග සහ අභ්‍යවකාශ පියාසැරිය සඳහා ඇයගේ දායකත්වය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලෙස පවතිනු ඇත. අභ්‍යවකාශයේ හෝ පෘථිවියේ හෝ වේවා, ඇය සිය චාරිකාව අඛණ්ඩව කරගෙන යද්දී, එය නිසැකවම අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයට සහ ඉන් ඔබ්බටත් කල් පවතින බලපෑමක් ඇති කරනු ඇත.

ආසන්න වශයෙන් මාස නවයක කාලයක් මෙහි ගත කිරීමෙන් පසු සුනිතා විලියම්ස් සහ ඇගේ කණ්ඩායම ඉලොන් මස්ක්ට අයත් SpaceX සමාගමේ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයෙන් 2025 මාර්තු18 වැනිදා මාසයේ නැවත පෘථිවිය කරා ළඟා වූහ. මේ එක් ගමන් වාරයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 140 (රු. මිලියන 41,000 ක් පමණ) වැය වෙයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ගත කරන අභ්‍යවකාශගාමියෙකුගේ වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 125,000 – 162,672 (රු. ලක්ෂ 37 – 48ක් අතර) පමණ වේ.

නාසා ආයතනය මගින් ඉදිරියේ දී දියත් කරන්නට අපේක්ෂා කරනු ලබන ආර්ටිමිස් වැඩසටහනේ දී මිනිසුන් සඳටත් පසුව අඟහරු ග්‍රහයා තරා ද යවා නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් පවතී.

සුනිතා සහ විල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා රැගෙන ගිය බෝයිං ස්ටාර්ලයිනර් යානය

සුනීතා විලියම්ස්ගේ මේ චාරිකාව, නොපසුබට උත්සාහය, අනුවර්තනය වීමේ හැකියාව සහ ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා මිනිස් ආත්මය තුළ ඇති දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියකි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඇයගේ දීර්ඝ කාලීන රැඳී සිටීම, ඇය මුහුණ දුන් අභියෝග සහ අභ්‍යවකාශ පියාසැරිය සඳහා ඇයගේ දායකත්වය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලෙස පවතිනු ඇත. අභ්‍යවකාශයේ හෝ පෘථිවියේ හෝ වේවා, ඇය සිය චාරිකාව අඛණ්ඩව කරගෙන යද්දී, එය නිසැකවම අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයට සහ ඉන් ඔබ්බටත් කල් පවතින බලපෑමක් ඇති කරනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර