දැනට ඇති නීති ශක්තිමත් කොට මුදල් බලතල පාර්ලිමේන්තුවට ගන්නවා

මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඒ අද යෝජිත 21 වෙනි සංශෝධනය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුවෙන් විරෝධය පළකරන කණ්ඩායම්වලින් හා අනෙක් තරුණ කණ්ඩායම්වලින් තෝරා ගන්නා තරුණයන්ගේ සහභාගීත්වය ඒ සඳහා ලබා ගන්නා බව ද කීය.
“දැන් තියෙන මුදල් නීතිය දිහා බලලා, අපි අලුත් නීති මාලාවක් සම්මත කරන්න ඉන්නේ. දැනට මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභා තුනක් තියෙනවා. රජයේ මුල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියනවා. ඒ තමා මුදල් පිළිබඳ අලුත් කාරක සභා දෙකක් ඇති කරන්න. විශේෂයෙන්ම ක්‍රම හා විධි කාරක සභාවක් පත්කරනවා. රජයේ ආදායම් එක්රැස් කිරීම, ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග, යෝජනා කරන කොමිටිය තමා ඒ කොමිටිය.දෙවැනිව අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා බැංකු හා ෆිනෑස් කම්පැනිවල මුල්‍ය තත්ත්වය. ඒවා දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපිට අධීක්ෂණ කොමිටු පත්කරන්න පුළුවන්. ඒ නිසා යෝජනා කරනවා අධීක්ෂණ කොමිටු 10ක් පත්කරන්න. මේ මුල්‍ය කාරක සභා 5 ඒ වගේම අධීක්ෂණ කාරක සභා 10 සභාපති ලෙස ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අවස්ථාව තියෙනවා ඇමතිවරුන්ගෙන් ස්වාධීනවත් ඇමතිවරුන් සමගත් යන දෙකටම වැඩකරන්න ක්‍රමවේදයක් ඇති කරන්න. මේ කාරක සභා 15ටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයින් 4 දෙනෙක් පත්කරන්න. එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන්. අනෙක් තුන මේ විරෝධය පළකරපු කණ්ඩායම්වලින් හා අනෙක් තරුණ කණ්ඩායම්වලින් තෝර ගන්න. ඒ තෝර ගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන මඟින්ම තීරණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේ දී තරුණයින්ට පුළුවන් ප්‍රශ්න දැනගන්න ඒ වගේම තමන්ගේ විසඳුමත් ඉදිරිපත් කරන්න”.යනුවෙන් සඳහ්යන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් මුදල් නීතියක් ඉදිරිපත් කරන බවද පැවසීය.

 

කාලීන පුවත්