දැන් පෙන්නනවා! රියල්ම පාර්ලිමන්ට් ජෝක්ස්   

මිනී මරුවන් ජනාධිපති සමාව හමුවේ සිපිරි ගෙයින් නිදහස් ව ප්‍රභූ සමාජයට එක් ව සිටින අතරේ මෙරට ජනතවට වඩාත් යහපත් හෙට දිනක් උදා කරනු පිණිස තම හදවතට එකඟව අදහස් පළ කළ රන්ජන් රාමනායක අද බන්ධනාගාරයක් තුළ කූඩු කොට ඇත.මානව හිතවාදියකු වන රන්ජන් මෙරට මුල් පෙළේ සිනමා නළුවෙකි. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකි.පාර්ලිමන්ට් ජෝක්ස් යනුවෙන් ඔහු චිත්‍රපට දෙකක්ම අධ්‍යක්ෂණය කොට ඇත.නමුත් රන්ජන් රාමනායක සිරගතව සිටින වර්තමානයේ මෙරට රඟ දැක්වෙන “රියල් පාර්ලිමන්ට් ජෝක්ස්” අද වන විට ජනතාවගේ හාස්‍යට විනෝදයට නොව දැඩි පිළිකුලටත්,අප්‍රසාදයටත් කෝපයටත් හේතු වී තිබේ.

ජනාධිපති වරයා අමුඩ ගසා අතීසාරය වළකන “තියරියට”හදිසි නීතිය ප්‍රකාශ කළේ ඒ අතරේ ය.රජය ප්‍රකාශ කරනුයේ මහ ජනතාවගේ ආරක්ෂාව පිණිස මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ය.නමුත් ජනතාව දැන් ආරක්ෂාව සපයා ගත යුත්තේ කාගෙන් ද? යන්න මුලු රටම තේරුම් ගෙන හමාර ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු 38 දෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරු ලෙස විපක්ෂයේ අසුන් ගැනීම මෙම රියල් පාර්ලිමන්ට් ජෝක්ස් හි ආසන්නතම ජවනිකාවකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ මෙම පිරිස ස්වාධීන වුව ද ඔවුන් විටින් විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීම නිසා ඔවුන් කරන්නේ කුමක්ද? යන්න ගැන ද ජනතාව තුළ සැක සංකා පැවැතිණි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වූ අවස්ථාවේ ඇමතිවරු සියළු දෙනා එතෙක් දැරූ තනතුරුවලින් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය ද තම තනතුරෙන් ඉවත් විය. ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම බාර නොගත් බව ප්‍රකාශ කිරීම නිසා ඔහු කියා සිටියේ තමන් අප්‍රේල් මස පළමු සතිය වන තුරු එම ධූරයේ රැදී සිටින බව ය.

ඔහුගේ ඉවත්වීම ඒ අනුව බලාත්මක වූයේ අප්‍රේල් පළමු සතියෙන් පසුව ය. එහෙත්, අප්‍රේල් මස තුන්වන සතියේ පාර්ලිමේන්තුව රැස්වුව ද නියෝජ්‍ය කතානායක වරයෙකු තෝරා ගැනුණේ නැත. නමුත් පසුගිය 05 දා නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙන බවට නිවේදනය කෙරිණ. මේ අතර ස්වාධීන කණ්ඩායම නැවත වරක් රංජිත් සියඹලාපිටිය එම තනතුරට යෝජනා කරන බව විපක්ෂයට දැනුම් දී තිබුණි.

විපක්ෂය සමඟ පැවැති සාකච්ඡා ගණනාවකින් පසු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් කර ගැනීමට විපක්ෂයේ සියලු පාර්ශව එකඟ වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය. නමුත්, අවසානයේ පොදුජන පෙරමුණ ද රංජිත් සියඹලාපිටියට සහාය දීමට තීන්දු කළේ ය. සියල්ල වෙනස් වූයේ ඉන් පසුව ය.

සමගි ජන බලවේගය තම “පීල්ල වෙනස් කරමින්” නියෝජ්‍ය කතානායක ධූරය වෙනුවෙන් සිය අපේක්ෂකයා ලෙස ඉම්තියාස් බාකිර් මාකාර්ගේ නම යෝජනා කළේය. අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වූ බැවින් ඡන්දයක් පැවැත්වීමට තීන්දු කළ අතර එය රහස් ඡන්දයක් විය. කථානායක ඇතුළු තනතුරු සඳහා පමණක් රහස් ඡන්දයක් පැවැත්වේ. ඡන්දයෙන් විපක්ෂයේ අපේක්ෂකයා පරාජය විය.

මෙහි දී විපක්ෂය ආණ්ඩුවේ ගැටයට හසුවූ බව අපගේ මතය වේ. මන්ද ආණ්ඩුව එම අවස්ථාවේ නියෝජ්‍ය කථානායක ධූරයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ නම් ජයග්‍රහණය කරන්නේ විපක්ෂයේ අපේක්ෂකයා ය. මන්ද මේ වන විට විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි බැවිනි. එසේම රහස් ඡන්දයක් පැවැත්වෙන බැවින් නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද පවතියි. විපක්ෂය මේ අවස්ථාවේ කල්පනා කිරීමට තිබුණේ ඉදිරියේදි විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංගය ගැන ය. මෙතන දී විපක්ෂය අඩියක් පසුපසට තැබුවේ නම් විශ්වාස භංගය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වන්නේ නැත.

අඛණ්ඩ අරගලයක සිටින පිරිස් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ විශ්වාස භංගය ගැන මිසක අස්ථාවර පාර්ලිමේන්තුවක නියෝජ්‍ය කතානායක ඡන්දය ගැන නොවේ. එසේ වුයේ නම් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය නොදී ගමට නොඑන ලෙසට ජනතාවට කීමට හැකියාවක් තිබිණ. ජනතාව මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ ආණ්ඩු පෙරළියක් තුළින් තමන් මුහුණ දෙන පීඩනය අවසන් කර ගැනීමට ය. එහෙත් විපක්ෂ නායක වරයා අහක යන පන්දුවකට පිත්ත අල්ලන්න ගොස් වැඩේ කා ගත්තේය. නැතහොත් ඔහුගේ අත්දැකිම් විරහිත හැසිරීම නිසා එම අවස්ථාව මඟ හැරී ගියේ ය.

අනෙක් පසින් ශ්‍රීලනිපය ඇතුළු ස්වාධීන කණ්ඩායමේ තේරීම ද වැරදි එකකි. ඔවුන්ට සිය අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට තිබුණේ සියඹලාපිටිය නොව වෙනත් මන්ත්‍රීවරයෙකි. ඉල්ලා අස් වූ තැනැත්තාම යළිත් ආණ්ඩුවේ ද සහාය ඇතිව තෝරා ගැනීම නිසා ජනතාවට ශ්‍රීලනිපය තවත් එපා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියළු දෙනා ගැන ජනතාව කළකිරීමට පත්ව සිටිති..

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් කීවේ තිරු නඩේෂන්ගේ කොළඹ නිවසේ දී හේමා ප්‍රේමදාස ප්‍රබල රාජපක්ෂවරයෙකු මුණ ගැසුණු නිසා සමගි ජන බලවේගය සිය එකඟතාවය වෙනස් කර ගත් බව ය. පෙරදින සවස් වන තුරු සිය අපේක්ෂකයාට සහාය දැක්වූ සමගි ජන බලවේගය සවස මෙම හමුවීමෙන් පසු සිය තීන්දුව වෙනස් කර ගත් බවක් මොහොමඩ් මුසම්මිල් කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එය අසත්‍යයක් බවත් සිය 87 වියැති මව මේවාට සම්බන්ධ කර නොගන්නා ලෙස ද ඔහු කියා සිටියේ ය. රහස් ඡන්දයක් වුව ද විපක්ෂ නායකවරයා සිය තෝරා ගැනීම සැමට පෙන්වා සිටියේය.අතීතයේ පිටිසර බද මෝඩ ගැමියෙකු සරමට යටින් අමුඩයක් නොඅඳින බවට සෙසු ගැමියෝ උසුළු විසුළු කළහ.එවිට ඔහු කළේ “බොරු නම් මෙන්න බලපල්ලා මගේ අමුඩ ලේන්සුව” කියා එය ඉන්පසු කාටත් පෙනෙන සේ බෙල්ලේ බැඳ ගැනීම ය.විපක්ෂ නායක වරයාගේ එම ක්‍රියාව ද ඊට බෙහෙවින් අනුරූප ය. එසේම රනිල් වික්‍රමසිංහ ඡන්දය දුන්නේ කාට ද? යන්න ගැන පවා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීම ද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුවේ උපක්‍රමය මේ වන විට සාර්ථක වී ඇත්තේ මෙම ඡන්දයත් සමඟ විපක්ෂය කෑලි කිහිපයකට පත්වීම නිසා ය. ස්වාධීන කණ්ඩායම මේ වන විට සමගි ජන බලවේගය සමඟ ඉදිරි ගමනක් යාමට සුදානම් නැත. 120 ක් වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැන් කොටස් කිහිපයකට වෙන්වූ කොටසක් බවට පත්ව තිබේ.

මෙහි තිබෙන නරකම කරුණ වන්නේ විපක්ෂයක් ලෙස විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව විපක්ෂ නායකවරයාගේ අත්දැකිම් විරල ස්වභාවය මත මඟහැරී යාම ය. එසේ නොවුණා නම් විපක්ෂයට විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට හොඳම අවස්ථාව උදාවන්නේය. විපක්ෂයේ මෙම හැසිරීම නිසා අරගලකරුවන් විපක්ෂයේ මන්ත්‍රීවරුනට ද පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට නොදී අවහිර කළහ.හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අරගලකරුවන් සමඟ ගැටුමකට යන අයුරු ද සමාජ මාධ්‍යයේ පළ වී තිබුණි.

මේ සියල්ල හමුවේ රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එය තවත් විහිළුවකි. පත්වූවා නම් එම තනතුරේ සිටිය යුතු ය. නැතිනම් ඊට පෙර තමන් මෙම තනතුරට තරඟ කරන්නේ නැතැයි ප්‍රකාශ කළ යුතු ය. මෙයින් නැවත ජනතා පරමාධිපත්‍ය ඔවුන් විහිළුවට ලක් කොට තිබේ.නමුත් මෙම ක්‍රියාවෙන් තමන් හාස්‍යට ලක් වූ බව මාධ්‍ය හමුවක දී ඔහුම පිළිගෙන තිබේ.

ජනාධිපතිවරයා ඊයේ(06) සවස කැඳවූ කැබිනට් රැස්වීමේ දී අගමැතිවරයා ඉවත් වන බව ප්‍රකාශ කළැයි පළ වූ මාධ්‍ය වාර්ත අසත්‍ය හා වගකීම් විරහිත ඒවා නොවේ.එහෙත්, ඒවා අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කළේය.මෙය පොදුවේ අප රටේ මාධ්‍යයට කළ මදි පුංචි කමකි.මෙවැනි ක්‍රියා නිරතුරුව සිදු කරන්නෝ මාධ්‍ය කරුවන්ගේ ගොදුරු බවට පත් වීම ස්වාභාවික සංසිද්ධියකි. මේ අතර ජනාධිපති වරයා උදේ සහ සවස පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීම ඔහුගේ මානසික ව්‍යාකූලතාව පෙන්නුම් කරන්නක් බව “ඩේලි මිරර්” පුවත් පත කියයි ඒ අනුව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයම ඔල්මාද වලින් පිරී පවතින බවක් පෙනෙයි.

එහෙත්, මේ නිසා දිනෙන් දින අසරණ වන්නේ සමස්ත පොදු මහජනතාව ය. එය ජනාධිපතිවරයා,අගමැති වරයා ප්‍රමුඛ කිසිදු මැති ඇමතිවරයෙකුට තේරෙන්නේ නැත.එනිසා ඔව්හු අපේ රට ලොව අන් රටවල් අතරින් පමණක් නොව; අවිච්චි මහ නරකාදියෙනුත් පහළට වැටෙන තෙක් ඉදිරියටත් තව තවත් පාර්ලිමන්ට් ජෝක්ස් රඟ දැක්වීමට සැරසෙනු ඇත.ප්‍රශ්නය තිබෙන්නේ මහ ජනතාව ඊට කොතෙක් දුරට ඉඩ දේද යන්නය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර