දැන් සැපද? පැනයට ප්‍රති පැනයක්

එළැඹි 2022 නව වසරත් සමඟ අප රටේ ජනතාවට නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.ශ්‍රී ලංකා රජය සතු විනිමය සංචිත බිඳ වැටීම, මෙම මාස් කන්නයේ කුඹුරු අස්වැන්න ඇතුළු බෝග වගා වලින් අපේක්‍ෂිත අස්වැන්න නොලැබීම ආදී මෙකී නොකී හේතූන් මත නව වසරේ මුල්ම කාර්තුව තුළ අප රටේ ජනතාවට අහේනි සමයකට මුහුණ දීමට සිදුවන බව නොරහසකි.

ඒ බවට කෘෂි විද්‍යාඥයන්, කෘෂි ආර්ථික විද්‍යාඥයන්,ව්‍යවහාරික විද්‍යා විශේෂඥයන් සේම සමාජ විද්‍යාඥයන් පවා පුරෝකතන ඉදිරිපත් කොට තිබේ. ඒ අතරේ මෙම විද්‍යාත්මක පුරෝකතන වලට එරෙහිව අප රටට එවැනි අභාග්‍ය සම්පන්න කල දසාවකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පවසන්නෝ ද ඉඳ හිට හමු වෙති.

මෑත භාගයේ රජයක් විසින් ගනු ලැබූ අමනෝඥම තීරණය සේ සැලකිය හැකි ශ්‍රී ලාංකේය කෘෂිකර්මය ‘එක් රැයකින්’ කාබනිකකරණයට ලක් කිරීම බොහෝ දෙනකුන් හඳුන්වනුයේ උපන් හැටියේ ලේ කැටි බිළිඳකුට බත් කැවීමට දරන වෑයමක් ලෙසිනි.

ඊට හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිස් අදාල කාබනික හෝ හරිත කෘෂිකාර්මික පරිවර්තනය උදෙසා හුදෙක් ජනතාව හමුවේ ඊනියා ජාති මාමකත්වයක් පමණක් පළ කරන කෘෂි විද්‍යා විෂය පථයට කෙසේවත් සම්බන්ධ නොමැති බාහිර පුද්ගලයන් ගෙන් උපදෙස් ගැනීම බව කෘෂි සහ කෘෂි ආර්ථික විශේෂඥයන් ගේ පොදු මතය වී තිබේ

.මේ සම්බන්ධයෙන් අපේ විද්වත් මිතුරකු පවසා සිටියේ මෙය “මේසන් බාස් උන්නැහේලාට වැලි තලප හදන්නට දුන්නාටත්” වඩා අමනෝඥ ක්‍රියාවක් බව ය.

කෙසේ හෝ අප රටට අවශ්‍ය ආහාර පාන ඖෂධ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට අවශ්‍ය ඩොලර් නොමැති කමින් නුදුරේ දීම ආහාර, ඖෂධ ඇතුළු අනවශ්‍ය භාණ්ඩ සැපයීම අඩාල වීම මත ජනතාවට පෝලිම් ගැසී ඒ අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කමිනියුස්ට් පක්ෂය හා එක්ව 1970 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් සමඟි පෙරමුණු රජය නිදහසින් පසු සමාජවාදී දේශපාලන,ආර්ථික ව්‍යුහයක් මගින් නව සමාජ පුනර්ජීවනයක් ඇති කිරීමට මුල පිරූ අන්දම මේ වන විට වැඩිහිටියන්ව සිටින කාටත් මතක ය.

එහෙත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ නායකත්වයෙන් යුතුව එහි පෙරගමන් කරුවන් වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කේනමන්, ලෙස්ලි ගුණවර්ධන ආදී වාමාංශික නායකයන් ගේ බලය එම සමගි පෙරමුණු රජය තුළ කෙමෙන් අව ප්‍රමාණ වීමත් සමඟ එම රජය තුළින් මතු වූ දක්ෂිනාංශික බලවේග මුල් කොට 1975 වසර වන විට ඒ සමඟි පෙරමුණු රජය ගම්බද ජන වහරට අනුව කිවහොත් “ගෙඩියටත් නැති වහල්ලටත් නැති” තත්වයට පත් විය.

එහි ප්‍රතිඵලය වූයේ දේශීය ආර්ථිකයක් දක්වා යොමුව තිබූ ඒ ගමනේ සාධනීය ප්‍රතිඵල අව ප්‍රමාණ වී එහි නිශේධනීය ප්‍රතිඵල වේගවත්ව ඉස්මතු වීමය. ඒ තත්වය මෙරට ජනතාව කෙරෙහි කෙතරම් අනර්ථකාරී ලෙස බලපෑවේ ද යත් රට තුළ පැවැති අත්‍යවශ්‍ය ආහාර හිඟතාවය නිසා රට තුළ සාගත සමයක් උදාවිය.

ඉන්පසුව අප රට මුහුණ දෙන ඊළඟ සාගත සමය නුදුරේ දීම එළැබෙනු ඇතැයි සාධාරණ ලෙස අපේක්‍ෂා කළ හැක. ඒ සම්බන්ධයෙන් ජන මාධ්‍යයට අදහස් දැක්වූ සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයකු පවසා සිටියේ ඉදිරි සිංහල අලුත් අවුරුද්දේ ජනතාවට කිරිබත් වෙනුවට කිරි අල කෑමට සිදුවිය හැකි බව ය.

1970-1977 සමඟි පෙරමුණු රජය බිඳ වැටීමෙන් පසු 1977 බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ රජයත් සමඟ මෙරට ආරම්භ වූ විවෘත ආර්ථික ක්‍රමය මුල් කොට අත්‍යවශ්‍ය ආහාර හිඟය දුරුවිය. නමුත් ඒ තුළින් මතු වූ වෙළෙඳ පළ ආර්ථික ක්‍රමය මත පදනම් වූ පරිභෝජන වාදය මගින් ජනතාව ඊට ඉඳුරාම වෙනස් මඟකට යොමු කෙරිණ.

එක්තරා නිවෙසක බහුල ලෙස මීයන් සිටි අතර එම මීයන් ගේ ප්‍රමාණය අනුව ගෙදර බළලාට එම මීයන් වඳ කළ නොහැකි විය. එබැවින්, ඒ පිළිබඳව තර්කානුකූලව සිතූ ගෙහිමියෝ බළලාට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල වීම, තියුණු නියපොතු සහ උල් දත් තිබීම දඩයම් හැකියාවෙන් ප්‍රබල වීම ආදී හේතු මුල්කොට ගෙදර සිටි බළලා වෙනුවට කොටි පැටවකු ඇති කිරීමට කටයුතු කළහ.

එහෙත්, ටිකෙන් ටික වැඩී කාය බලයෙන් සවිමත් වූ කොටි පැටවා බළලා මෙන් හාම්පුතුනට හීලෑ නොවූ අතර හාම්පතුන්ට අනතුරු කිරීමට පවා පෙළඹුණි. 1977 සිට මේ දක්වා අප රට තුළ ක්‍රියාත්මක වන වෙළෙඳ පල ආර්ථිකය මත පදනම් වූ පරිභෝජනවාදය වත්මන් සමාජයට එල්ල කරන අනර්ථකාරී බලපෑම ඵම ඉහත කතා ප්‍රවෘත්තියෙන් ලබා දෙන පණිවිඩයට අතිශයින් සමාන ය.

එම සමාජ, ආර්ථික බලපෑම නිසා වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය තමන් ගේ මූලික අවශ්‍යතා, සෙසු අවශ්‍යතා මූලික අරමුණු, සෙසු අරමුණු ආදී ඉලක්කයන් සපුරා ගැනීමට වඩා පස් කම් සැපය මුල් කරගත් අනේක විධ ආශාවන් සංතෘප්ත කර ගැනීම කෙරෙහි යොමු වී හිඳිනු පෙනෙයි. මෙය නූතන අධි පරිභෝජනවාදයේ දුර්දාන්ත ප්‍රතිඵලයකි.

මීට වසර හතලිහකට පෙර 1981 වසරේ මම නෙදර්ලන්තයේ ඇම්ස්ඩෑම් නුවර නගර කෞතුකාගාරයට අනුයුක්තව කටයුතු කළෙමි. මා එහි ගිය දිනයේම හෝ ඊට පසු දින එහි උප අධ්‍යක්‍ෂ තැන මා සමඟ කතා බස් කරමින් හිඳින අතරේ ඔබ මේ ආසන්නයේ ඇති සමුද්‍ර කෞතුකාගාරය ගැන දන්නවාදැයි මගෙන් ඇසීය. එවිට මම එවැන්නක් ගැන නොදන්නා බව ඔහුට කීවෙමි.

එසේ නම් වැඩ අවසන් වී එය බැලීමට යාමට ඔහු මා හට යෝජනා කළ අතර මම මහත් කැමැත්තෙන් ඔහු ගේ ඒ යෝජනාව පිළිගත්තෙමි. අප කතිකා කරගත් පරිදිම එදින වැඩ නිමා වූ පසු කෞතුකාගාරයෙන් පිටතට පැමිණි ඔහු මා එහි තිබූ බයිසිකල් ගාල වෙත ගොස් එහි දම්වැලකින් එකට යා කොට තිබූ සයිකලයක් වෙන් කොට එයට නැඟ ගත්තේ මා විස්මයෙන් අන්දමන්ද කරමිනි.

නමුදු ඒ බව වටහා නොගත් ඔහු මගෙන් අසා සිටියේ “ඔබ ගමන් කිරීමට කැමති බයිසිකලයේ පොල්ලේ ද නැත්නම් ලගේජයේ ද?” යනුවෙනි. එවිට මම “සයිකලයේ පොල්ලේ නැඟී යාම පහසු” බව මම ඔහුට කීවෙමි.

මගේ මතකය අනුව එම නගර කෞතුකාගාරයේ සිට සමුද්‍ර කෞතුකාගාරයට දුර කිලෝ මීටරයකට දෙකකට වඩා නැත. මා බයිසිකලේ ඉදිරිපස පොල්ලේ තබා ගෙන ඔහු බයිසිකලය පදින අතරේ අප ඉදිරියට ආ තවත් බයිසිකලයක් දක්නට ලැබුණු අතර එහි වූයේ ඒ කෞතුකාගාරයේම අධ්‍යක්ෂ වරයා ය.

ගමනේ යෙදෙන අතරේම ඔවුන් දෙදෙනා එකි‘නෙකාට ආචාර සමාචාර කොට වෙන්වුණු අතරේ මම ද පොල්ලේ හිඳුවා ගෙන සයිකලය පදින කෞතුකාගාර උප අධ්‍යක්ෂගෙන් “ඔබලා ගේ කෞතුකාගාරයේ මෝටර් වාහන නැද්ද?” යනුවෙන් ඇසුවේ ඒ සම්බන්ධ කිසිවක් නොදැන ය.“මොකද නැත්තේ තියනවා”’ ඔහු දුන් ක්ෂණික පිළිතුර එය විය.

“ඒත් මේ වගේ දුරක් දෙන්නෙකුට යන්න මෝටර් වාහනයක් පාවිච්චි කරන එකේ තේරුමක් නෑනේ. අනික මෝටර් වාහනේක යනකොට වගේ නොවෙයිනේ; මෙහෙම බයිසිකල් පදින එක ඇඟට හොඳ ව්‍යායාමයකුත් නේ” ඔහු පිළිතුරු දුන්නේය.

මා මෙම කතාව ඔබ වෙත ගෙන හැර දැක්වූයේ ඒ ඔස්සේ ගමන් මඟක පැමිණි එම රටවල් අද වන විට පුරවැසියා රටේ වගකීම් සහගත බලවතාය යන්න ප්‍රායෝගික වශයෙන්ම තහවුරු කෙරෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය ඔස්සේ ලොව විශිෂ්ටතම රටවල් අතරට පත්ව ඇති බව කියා පෑමට ය.

අප සිත් තුළ පවතින පුහු ආටෝපකාරී නිසරු ආකල්ප ඉවත් කොට දැන්වත් අප ද ඒ මඟ පිවිසිය යුතුය. හැබැයි; දැනට මේ පවතින කසිකබල් දේශපාලන, ආර්ථික ක්‍රමය ඔස්සේ නම් නොවේ.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ, හිටපු ජාතික කෞතුකාගාර,සහ කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ

එතෙර - මෙතෙර