හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය සිරාන් දැරනියගල අද පෙරවරුවේ දැයින් සමු ගත්තේය. 1968 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිනයෙන් කැණීම් අංශයක් පිහිටවූ පසු එහි පලමු සහකාර කොමසාරිස්වරයා වූයේ ආචාර්ය දැරණියගලය. ඔහු 1992 වසරෙහි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස පත්ව 2002 වසර දක්වා වසර 10 කට අධික කාලයක් එම තනතුර දැරීය.
ඉනික්බිති අභාවප්‍රාප්ත වනතෙක්ම දෙපාර්තමේන්තුවේ උපදේශක වරයෙකු ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සභාපතිවරයෙකු ලෙස පුරාවිද්‍යා වෘත්තීය වේදය නගාසිටුවීම සඳහා ඔහු අතින් ඉටුවුන මෙහෙවර අති දැවැන්තය.
ශාන්ත තොමස් විදුහලින් සිප්සතර හැදෑරූ දැරණියගලයන් මහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රථම උපාධිය ලබා ගත්තේය. ඉනික්බිති හාවර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය දිනාගත් එතුමා ඒ පිළිබඳ පර්‍යේෂණ ග්‍රන්ථය pre history of Srilanka නමින් කාණ්ඩ දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් කළේය.
ඔහු ශාස්ත්‍රෝන්නතිකාමී පව්ලකින් පැවත එන්නෙකි. ඔහුගේ සීයා වූයේ කෘතහස්ත ඉතිහාසඥයෙකු වූ ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් ය. ඔහු ශ්‍රීමත් අභිධානය දැරූ පළමු ලාංකිකයා ලෙසද ප්‍රකටය. ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලනය ඔහුගේ පර්‍යේෂණ ක්ෂේත්‍රය වූයේය .
සිරාන් දැරණියගලගේ පියා වූයේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගලය. හෙතෙම ප්‍රාග් ඉතිහාසයට, ප්‍රාග් ජීව විද්‍යාවට අතිරේකව විවිධ ක්ෂේත්‍ර අලලා පර්‍යේශණයන්හි නියැලී ශාස්ත්‍රීය ලිපි ලේඛන සිය ගණනක් ප්‍රකාශයට පත් කළේය. ඔහු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ධූරයට අතිරේකව වරක් පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේද වැඩ බැලුවේය.
ආචාර්ය සිරාන් දැරනියගල ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය නවමු මාණයකට ගෙන ගියේය. විශේෂයෙන් ප්‍රාග් ඓතිහාසික පර්‍යේෂණ සඳහා සිය කාලයෙන් වැඩි කොටසක් කැප කළ දැරණියගලයන් විසින් 1969 වසරේදී දියත් කළ අනුරාධපුර ගෙඩිගේ කැණීම එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රසස්ථතම කැණීමක් ලෙස සම්භාවනාවට පාත්‍රව තිබෙයි.
1980 දශකයේ ඔහු විසින් සිදු කළ කැණීම් මගින් දැනට ලංකාවෙන් සොයා ගෙන ඇති පැරණිතම අක්ෂර පිලිබඳව වාර්තා කළේය. ශ්‍රීලංකාවේ ලැබී ඇති පැරණිම අක්ෂර ක්‍රිස්තු පූර්ව තෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර බවට වූ සාම්ප්‍රදායික මතය බිඳ හෙලා ක්‍රිස්තු පූර්ව 5 සියවස පටන් ලේඛනය මෙහි පැවති බව ඔහු අවධාරණය කළේය.
ඔහු විසින් සිදු කළ ගවේෂණද ලාංකේය පුරාවිද්‍යාට නව මං පෙත් විවර කළේය. ඔහු විසින් සිදු කළ නැගෙනහිර පලාත් ගවේෂණ, ඉරණ මඩු, කොල්ලන්කනත්ත හා බුන්දල පතිරාජවෙල ගවේෂණ විශේෂයෙන් සඳහන් කළ යුතුය.
බුලත්සිංහල ෆාහියන්ගල ඔහු සිදු කළ කැණීම්වලින් දැනට දකුණු ආසියාවෙන් අනාවරණය වී ඇති පැරණිතම මානව ඇට කටු සොයා ගත්තේය. හෝමෝ සාපියන් සාපියන්ට අයත් එම අස්ථීන් අදින් වසර 47000 කට දින නියම කර තිබේ. ඔහු කැණීම් කළ අනෙත් වැදගත් ස්ථාන වූයේ කිතුල්ගල බෙලි ලෙන, කුරුවිට බටඳොඹ ලෙන, මන්නාරම මාන්තොට හා බෙල්ලන්බැඳිපැලැස්සය.
1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධනය කිරීම පිටුපස සිටි දැවැන්ත සෙවනැල්ල වූයේ සිරාන් දැරනියගලය. මෙම පනත යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරී තුබූ වගකීමක් වූයේ ජාතික පුරා විද්‍යා ප්‍රතිපත්තියක් සැකසීමය.
ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපතිවරයාවූයේ ආචාර්ය සිරාන් දැරනියගල ය. එය සම්මත කරන අවස්ථාව වන විට දකුණු ආසියාවේ කිසිදු රටක් ජාතික ප්‍රතිපත්තියක් සම්මත කරගෙන නොතිබිණි.
සෙනරත් බණ්ඩාර දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිලිබඳ ආචාර්ය