දිගු කාලයක් මතකයේ සිත්තම් කර ගත හැකි සිත්තම්ගල්ල චාරිකාව

අපේ රටේ දකුණු පළාතේ සංචාරය කරන බොහෝ දෙනෙක් නොදන්නා ලෙන් විහාරයක් ගැනයි අද අපි කියන්නට යන්නේ. ඉතාමත්ම දැකුම්කළු රම්මලේ කඳුවැටිය පාමුල පිහිටි සුන්දරත්වයෙන් වගේම ඓතිහාසික වටිනාකම් වලින් ද සපිරුණු මෙම ලෙන් විහාරය හඳුන්වන්නේ සිත්තම්ගල්ල ලෙන් විහාරය ලෙසින්.

මාතර සිට හක්මන හරහා මිද්දෙනිය මාර්ගයේ වලස්මුල්ල පසුකර කිලෝමීටර් හතක් පමණ ඉදිරියට ගිය විට කිරම මංසන්ධිය හමු වෙනවා. එතැනින් වමට හැරී හීගොඩ පාරේ තවත් කිලෝමීටර් පහක් පමණ ගිය විට හමුවන්නේ රම්මල වරාපිටිය හන්දියයි. සිත්තම්ගලු ලෙන් විහාරයට යාම සඳහා මෙම වරාපිටිය හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් භාගයක් පමණ යා යුතුයි.

   

වරාපිටිය හන්දියේ සිට සිත්තම්ගලු ලෙන් විහාරය කරා එන අතරමග දී ඔබට තවත් ඉතාම සුන්දර දසුනක් දකින්නට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි කිරම වැව. වරාපිටිය වැව ලෙසත් මෙය හඳුන්වනවා. මෙම වැව ආශ්‍රිතව වටපිටාව ද කලාතුරකින් දක්නට ලැබෙන අන්දමේ ඉතාම සුන්දර නිසංසල පරිසරයකින් යුතුයි.

සිත්තම්ගල්ල ගැන කතා කරද්දී කිව යුතු තවත් පෙර කතාවක් තියනවා.ඒ තමයි රජ්ජුරු බණ්ඩාර දේව කතාව.හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ඓතිහාසික රම්මල් කන්දේ ඒ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මාලිගාව ඇති බවට විශ්වාසය අදටත් ඒ ප්‍රදේශයේ ගැමියන් අතරේ පවතිනවා.

ජන විශ්වාසය අනුව රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මාලිගා ගොඩැල්ල තවමත් රන්මලේ කඳු මුදුනේ තිබෙනවා.ඊට කිසියම් හානියක් කොට ආපසු පැමිණීමේ දී ඒ පර්වත මුදුනේ ඇති ගල් කුළු පෙරළී ඇවිත් ඒ තැනැත්තා වනසා දමන බවක් ද ඒ ප්‍රදේශයේ ගැමියන් විශ්වාස කරනවා.

ඒ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ දේවලය පිහිටා තිබෙන්නෙත් සිත්තම්ගල්ල රජ මහා විහාරයේමයි.රුහුණේ දේව ඇදහිලි අතර, කතරගම දෙවියන් හැරුණු කළ රුහුණු ගිරුවාපත්තුවේ සිත්තම්ගල්ලේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් ද ඉතා ඉහළින් පුද පූජා සත්කාර ලබන රජ්ජුරු බණ්ඩාර දෙවියන් අතීතයේ ඒ ප්‍රදේශයේ රජකම් කළ ප්‍රතාපවත් නරපතියකු බවයි පැවසෙන්නේ.

රුහුණේ පාරම්පරික ගොවියන් සිය අස්වනු සශ්‍රීක කරගැනීමටත් හකුරු නිපදවීමට කිතුල් මල් මදින්නන්ගේ තෙලි දිය සරු කරලීමටත් සිත්තම්ගල්ලේ ලෙන් විහාරයේ රජ්ජුරු බණ්ඩාර දෙවොලට ගොස් පඬුරු බැඳීම අදත් සිදු කරනවා.

රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස දිද්දෙණිපොත පේමරතන නාහිමි දවස වර්ෂ 1968 දී ආරම්භ කළ පෙරහැර සම්බන්ධ රසවත් කතාවක් ද ගැමියන් අතරේ තියනවා එකල ඒ ප්‍රදේශයේ ජීවත් වූ “මද්දුමාගේ සියදෝරිස්” නම් සිල්වත් වෙද මහතකුට එක් රාත්‍රියක දෙවියන් හීනෙන් දර්ශනය වෙලා තියනවා.

සිත්තම්ගලු විහාරයට අරක්ගෙන සිටින රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් අලියෙක් සහිත පෙරහැරක් පවත්වන ලෙස.සියදෝරිස් වෙද මහතා පේමරතන නාහිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒ සිහිනය කුමක්දැයි කීමට තමන්ට නොහැකි බව ද පවසමින්.ඉන් පසුව ඒ පෙරහැර චාරිත්‍රය අද දක්වා සිදු කෙරෙනවා.

ඒ වගේම මේ විහාරය නරඹන්නට යන විට ඒ ආසන්නයේ රම්මලේ කඳුවැටියේ සිට ගලා හැලෙන සපුගහදොල ඇල්ල ද රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ බිසවුන් ස්නානය කළ දිය ඇල්ල ලෙස හැඳින්වෙනවා.මෙය එම පරිසරයේ පරිසරයේ පිහිටි ඉතාමත් මනස්කාන්ත සුන්දර දසුනක්.

රම්මලේ කඳුවැටිය පාමුල සිත්තම්ගලු රජමහා විහාරය අවට ලෙන් විහාර කිහිපයක්ම ඇති අතර ඒවා රම්මලේ කඳු අතර පිහිටා තිබෙනවා. ඒ ලෙන් විහාර නැරඹීමට යා යුතු මාර්ගය වැටී ඇත්තේ රම්මලේ කඳු වැටි අතරින් වන අරණ මැදිනුයි. අපේ රටට ආවේණික කුරුල්ලන් මෙන්ම සංචාරක කුරුල්ලන් රාශියක් ද මේ ගමනේ දී ඔබට හමුවේවි.

එසේම වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් වැනි සතුන් ද මෙහි ඉතා සුලභයි.
දකුණේ මුහුදට තරමක් ආසන්නව පිහිටා තිබුණත් උඩරට කඳුකරයේ පරිසරයක හිඳින විට දැනෙන සිසිල් දේශගුණය මෙහිදී ඔබට අත්විඳිය හැකියි. එසේම කඳු මුදුනට නැග හාත්පස බලන විට පරිසරයේ තිබෙන අපූරු සුන්දරත්වය ඔබට විඳින්නට හැකි වේවි.

ජනවහරේ දැක්වෙන්නේ සිත්තම්ගලු ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී වලගම්බා රජු විසින් කරවූ බවයි. නමුත් එය ඓතිහාසික සාධකවලින් තහවුරු වී නෑ.

එසේ වුවද වීර කාන්තාවක ලෙස සැලකෙන මහ පැරකුම්බා රජුගේ නැන්දණිය වූ සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්ලාගෙන තිබෙන්නේ මේ රම්මලේ කන්දේ දී යි. මීට අමතරව මේ කඳු වැටියේ ගිරි ලෙනක දන්ත ධාතුන් වහන්සේ ටික කලක් සඟවා තිබූ බව සන්නසක සඳහන් වෙනවා.

කටාරම් කෙටූ ගල්ලෙන් විහාර කීපයක් ම සිත්තම්ගලු විහාරයේ දී ඔබට දැකගන්නට ලැබේවි. එහි තිබෙන ඉපැරණි බිතු සිතුවම් බොහොමයක් දැන් විනාශ වී ගිහින්. නිදන් හොරුන්ගෙන් බොහොමයක් පිළිමවහන්සේලාට හානි සිදුවී තිබෙනවා. දැන් එහි දකින්නට ලැබෙන්නේ අලුතින් පිළිසකර කරන ලද පිළිම වහන්සේලා යි.

වන්දනා ගමනක් යන ගමන් පරිසරයේ සුන්දරත්වය ද සිත් සේ විඳින්නට අපේක්ෂා කරන ඔබට දකුණු පළාතේ සිත්තම්ගලු විහාරය අමතක නොවන අත්දැකීමක් වේවි.

ඉන්දු පෙරේරා

උරුමයක අසිරිය