දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ දුන් දුෂ්කර මෙහෙයුමකින් පසුව යි. මෙම කම්කරුවන් සිර වී සිටියේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක එක් කොටසක ය. පසුගිය 12 වැනි දින එම ප්‍රදේශයේ සිදු වූ නාය යාමක් හේතුවෙන් උමගෙ හි කොටසක් කඩා වැටී එම සුන්බුන්වලින් උමං මාර්ගය අවහිර විය. මීටර 60 ක් පමණ දිගට සුන්බුන් වැටී තිබූ අතර කම්කරුවන් උමග තුළ සිර වූයේ ඒ නිසා ය.
වෙහෙසකර සහ අනතුරුදායක මෙහෙයුමකින් පසු පිටතට ගනු ලැබූ කම්කරුවන් 41 දෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ. ඔවුන් පිටතට ගනිද්දී විශේෂ ගිලන් රථ 41 ක් උමගෙහි fදාරටුව අසළ බලාගෙන සිටියේ මෙම පිරිස වහාම රෝහල වෙත රැගෙන යාම සඳහා ය. රෝහල පිහිටා තිබුණේ උමග පිහිටි ස්ථානයේ සිට කි.මී. 30 ක් පමණ දුරින් බව සඳහන් වේ. රෝහල් ගත කරනු ලැබූ කම්කරුවන් වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර වෛද්‍යවරුන් පැවසුවේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ මෙම උමං මාර්ගයෙහි සේවය කරමින් සිටි මෙම පිරිසෙහි සියලු දෙනාම පාහේ වයස අවුරුදු විසි ගණන්වල පසුවූවන් බව වාර්තා වේ. තරුණ වියේ සිටියවුන් නිසා මෙම බිහිසුණු අත්දැකීම දරා ගන්නට ඔවුන්ට හැකිව තිබූ බව පෙනේ.
කම්කරුවන් උමගෙන් පිටතට ගනිද්දී ඔවුන්ගේ පවුල්වල උදවිය, මිතුරන් සහ හිතවතුන් ඒ අසළ රැඳී සිටි බව සඳහන් ය. ඔවුන් ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින්, රස කැවිලි බෙදා ගනිමින් සතුට සමරා තිබිණි. පසුගිය දිනවල විවිධ බාධාවන් නිසා ගලවා ගැනීමේ මෙහෙයුම කල් ඇදෙද්දී මේ සියලු දෙනා සිටියේ දැඩි මානසික ආතතියකින් යුතුව ය.
කම්කරුවන් ශාරීරික වශයෙන් හොඳ සුවයෙන් පසුවුවත් මෙම බිහිසුණු අත්දැකීම නිසා ඔවුන් යම් යම් මානසික ගැටලුවලට මුහුණ දෙන්නට ඉඩ ඇති බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහස යි. මානසික සෞඛ්‍යය සහ ස්නායුවේදය පිලිබඳ ජාතික ආයතනයේ වෛද්‍ය ඩී. දිනකරන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. දැඩි මානසික කම්පනයක් සහ බියක් ජනිත කරන මෙවැනි සිදුවීම්වලට මුහුණ දීමෙන් පසු බොහෝ අය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Post Traumatic Stress Disorder ) නැමැති මානසික ගැටලුවකට මුහුණ දෙති. වෛද්‍ය දිනකරන් පවසන්නේ උමගෙහි සිර වී සිටි කම්කරුවන් ද සමහර විට මෙම තත්ත්වයට පත් වීමට ඉඩ ඇති බවයි. කාන්සාව (Anxiety) , නින්ද නොයාම, සිහිනෙන් බිය වීම, උමග තුළ ලැබූ බිහිසුණු අත්දැකීම නැවත නැවත සිහිපත් වීම වැනි ලක්ෂණ ඔවුන්ගෙන් පළ විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
“්ඔවුන් සමහර විට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව නැමැති තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙනවා. මාස තුන සහ හය අතර කාලයක් මෙම තත්ත්වයෙන් පීඩා විඳින්න පුලුවන්. වසරක් පමණ යනතෙක් ඔවුන් වරින් වර පරීක්ෂා කර බැලීමට සිදු වෙනවා’ යයි ද ඔහු සඳහන් කර තිබිණි.
උමග තුළ සිටි කාලයේ ඔවුන්ට ආහාර, ජලය සහ ඔක්සිජන් අඛණ්ඩව ලබා දුන් නිසා කායික වශයෙන් මෙම කම්කරුවන්ට ලොකු බලපෑමක් සිදු වූයේ නැත. නමුත් වෛද්‍යවරුන් වඩාත් අවධානයෙන් පසු වූයේ මානසික වශයෙන් ඔවුන්ට ඇති විය හැකි බලපෑම ගැන ය. උමග තුළ සිටිය දී මානසික තත්ත්වය යහපත්ව තබා ගැනීම සඳහා ගත යුතු පියවර ගැන කම්කරුවන්ට උපදෙස් ලබා දී තිබිණි. නිතර එකිනෙකා සමග කතා කිරීම, යෝග අභ්‍යාස කිරීම, සරළ ශාරීරික ව්‍යායාමවල නිරත වීම ආදිය ඒ අතර විය. ඔවුන්ට විඩියෝ ක්‍රීඩාවල නිරත වීම සඳහා සුහුරු දුරකතන ද ලබා දී තිබූ බවක් සඳහන් විය.
මෙම කම්කරුවන් උමගෙන් පිටතට ගත්තේ උමග තුළ වැටී තිබූ සුන්බුන් හරහා කුහරයක් හාරා ඒ තුළින් අඩි තුනක පමණ විශ්කම්භයෙන් යුතු බටයක් යැවීමෙනි. රෝද සවි කරන ලද ගිලන් මැසි (Stretchers) මගින් මෙම බටය ඔස්සේ කම්කරුවන් පිටතට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. සුන්බුන් අතරින් මෙම කුහරය හාරද්දී එම හෑරුම් යන්ත්‍රය අක්‍රිය වීම නිසා එක් අවස්ථාවක ගලවා ගැනීමේ මෙහෙයුම නතර කිරීමට සිදු විය. ඒ වනවිට සුන්බුන් අතරින් හාරා තිබුණේ මීටර 46 ක පමණ දුරක් පමණි. එයින් පසු ඉතිරි මීටර 14 ක පමණ දුර හාරා තිබුණේ අතින් ක්‍රියා කරවන සරළ මෙවලම් ආධාරයෙනි. මෙවැනි අසීරු කැණීම් පිලිබඳ විශේෂඥතාවක් දක්වන කණ්ඩායමක් දිල්ලි නුවර සිට ගෙන්වන ලද බව සඳහන් විය. එබඳු විශේෂඥයන් හැඳින්වෙන්නේ මී ගුල් කණින්නන් (Rat Hole Minors) යන අපූරු යෙදුමෙනි. ඉතා පටු සහ දුෂ්කර තැන්වල මෙවැනි කැණීම් කිරීමට මොවුහු විශේෂ දක්ෂතාවක් දක්වති. ඔවුන් වැඩිපුරම කටයුතු කරන්නේ ගල් අඟුරු පතල් වැනි තැන්වල ය.
මෙම කණ්ඩායම කම්කරුවන් බේරා ගැනීම සඳහා ඔවුන් වෙත ළඟා වූ අවස්ථාවේ මහත් සතුටට පත් වූ කම්කරුවන් ප්‍රීති ඝෝෂා කරමින් ඔවුන් බදා ගනිමින් සතුට පළ කළ බව සඳහන් වේ.
නිහාල් පීරිස්