ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරය තුළ උද්ගත ව ඇති බරපතළ වායු දූෂණ තත්වය නිසා එහි ජන ජීවිතය සහමුලින්ම බිඳ වැටී ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණක් විය හැකිය. මෙය කෙතරම් ද කිව හොත් මේ වන විට පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.
සිසිර ඍතුව එළඹෙද්දී වාර්ෂිකව මේ තත්ත්වයට දිල්ලි නගරය ඇතුළුව මුළු උතුරු ඉන්දියාවම ලක් වන අතර මෙයට හේතුව වී ඇත්තේ වගා බිම් ගිනි තැබීම, අඩු සුළං වේගය, උත්සව අවස්ථාවල දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම වැනි කාරණා ය. ඉන්දියාවේ එක් උත්සව සමයක පවත්වන ලද ගිනිකෙළි සංදර්ශනවලින් ඇති වූ දුමාරයේ බලපෑම අප රටට ද එල්ල වූ ආකාරය අප කවුරුත් දන්නා සිදුවීමකි.
යම් කිසි ස්ථානයට වායු දූෂණ කෙතරම්දැයි මැැන බලන දර්ශකයක් ඇති අතර අතර එය ‘වායු තත්ත්ව දර්ශකය’ (Air Quality Index – AQI) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි අගය 0 – 500 අතර පවතින අතර වඩාත් හිතකර, යහපත් වායු තත්ත්වයක් පවතින්නේ නම් 0 – 50 දක්වා විය යුතු වේ. 50 අගය පසු කරද්දී එම ස්ථානය වායු දූෂණයට ලක් වෙමින් පවතින බවට නිගමනය කෙරේ. මේ දර්ශකයට අනුව දිල්ලියේ අගය මේ වන විට වාර්තා වන්නේ 400 ට වැඩි අගයකි. මේ අනුව එහි වායු දූෂණය කෙතරම් දැයි සිතා ගත හැකිය. මේ තත්ත්වය ඉදිරි සති දෙක තුළ තවත් ඉහළ නගිනු ඇති බවට විද්‍යාඥයෝ පවසති. ලෝකයේ වායු දූෂිත නගර අතරින් ඉහළ තැනක් දිල්ලියට හිමිව තිබේ.
මුළු දිල්ලි නගරයම දැඩි මීදුම් ස්වභාවයකින් වැසී පවතින අතර මෙසේ සිදු වන්නේ වාතය තුළ තිබිය යුතු නැති විවිධාකාර ඝන අංශවල සාන්ද්‍රණය වැඩි වීමය. මෙය මනිනු ලබන්නේ PM2. 5 යන දර්ශකය මගිනි. PM යනු ‘අංශුමය ද්‍රව්‍ය’ (Particulate Matter) යන්නය. මෙය 12 μg/m3 මට්ටමට වඩා අඩු නම්, එය ශ්වසනය සඳහා හොඳ මට්ටමක් යැයි පැවසේ. මෙය 35 μg/m3 මට්ටම වඩා වැඩි වූ විට අහිතකර තත්ත්වයට පත් වෙයි. මෙහි අගය 0 – 999 අතර පවතින අතර දිල්ලියෙන් මේ අගය වාර්තා වන්නේ 410 වශයෙනි.
මේ අනුව වායු තත්ත්ව දර්ශකය සහ අංශුමය ද්‍රව්‍ය යන දර්ශක දෙකටම අනුව දිල්ලිය පවතින්නේ අතිශය අවදානම්කාරී තත්ත්වයකය. දිල්ලිය තුළ පවතින අංශුමය ද්‍රව්‍යවල ඉහළ මට්ටම හේතුවෙන් පෙනහලු අවහිර වීම ඇති විය හැකි අතර තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් මෙය ජීවිත හානි දක්වා හේතු කාරණාවක් වන්නට පුළුවන. දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් සියලු පාසල් වසා දමන්නට තීරණය කළේ මේ හේතුව නිසාය.
නගරය තුළ අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම කටයුතු වහා නතර කර දමන ලෙසට ද ඔහු උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම නගරය තුළට පැමිණෙන පුද්ගලික වාහන හැකි තාක් අවම කරන්නට ද තීරණය කොට තිබේ. මන්ද වාහනවලින් නිකුත් කෙරෙන විෂ දුමාරය මේ තත්ත්වය වඩාත් දරුණු අතට හරවන්නට හේතුවක වන බැවිනි. ජනතාවගේ ප්‍රවාහන කටයුතු වඩාත් ඉක්මන් කරනු පිණිස දිල්ලියේ ක්‍රියාත්මක වන මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ සේවා වාර ගණන ඉහළ දමන්නටත් පොදු බස් රථ සංඛ්‍යාව ඉහළ දමන්නටත් තීරණය කොට තිබේ.
ඔක්තෝබර්, නොවැම්බර් මාස උදා වන විට දිල්ලි නගරය තුළ ගිනිකෙළි ද්‍රව්‍ය අළෙවි කිරීමේ තහනමක් පනවා ඇති අතර මෙය පසුගිය වසර තුන පුරාම ක්‍රියාත්මක විය.
දිල්ලි සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම කුඩා දරුවන් සහ වැඩිහිටියන් තුළ ඇති වන ඇදුම රෝගී තත්ත්වයන් වාර්තා කරන අතර දූෂිත මට්ටම ඉහළ යත්ම මේ සිදුවීම් ද දිනෙන් දින ඉහළ යන්නට ඇති ඉඩකඩ වැඩි බව ඔවුහු පවසති. මේ වන විට කිසිදු මරණයක් වාර්තා වී නැතත් ඉදිරි සත් දෙක තුළ දී මෙය වඩාත් නරක අතර හැරෙන්නට ඉඩ කඩ ඇති නිසා මරණයන් ද සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ බිය පළ කරයි. එමෙන්ම බ්රොන්කයිටිස් තත්ත්වයන් ද වාර්තා වෙමින් පවතින අතර අත්‍යවශ්‍ය නොවන්නේ නම් නිවසින් හෝ බැහැරට නොයන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කොට තිබේ. සියලු දෙනාට මුව ආවරණ පළඳින්නැයි උපදෙස් ලබා දුන්න ද එය බොහෝ දෙනෙක් පිළිපදින බවක් පෙනෙන්නේ නැත. බොහෝ දෙනෙකුගේ ඇස්වල දැවිල්ලක් ඇති වී තිබෙන බවත් වාර්තා වෙයි.
ඇතැම් ස්ථානවල වායු දුෂණ මට්ටම අවම කිරීම සඳහා ජලය ඉසීමේ කටයුත්තක් සිදු කරමින් පැවතිය ද එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් අත් වී නැත.
මේ අතර විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල්ට චෝදනා කරනු ලබන්නේ වායු දූෂණයටත් වඩා ඔහු දූෂිත බවත්, වසර ගණනාවක සිට ප්‍රධාන අමාත්‍යධුරය ඔහු විසින් දරනු ලැබුව ද දිල්ලියේ වායු දූෂණය තුරන් කරන්නට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක