දිවයිනට පැමිණෙන ප්‍රංශ ජනපති ගැන අපූරු තොරතුරු ටිකක්

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් 28 වැනි සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙය ඓතිහාසික අවස්ථාවක් වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු වතාව මෙය වීම නිසා ය.

පසුගිය දිනවල මැක්රොන් දකුණු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයක ද සංචාරය කළේය. ඒ නිව් කැලිඩෝනියා, වනුවාතු සහ පැපුවා නිව් ගිනියා යන රටවල යි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පෙරලා ප්‍රංශය බලා යන අතර ය. මෙම සංචාරයේ දී මැක්රොන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වනු ඇත. ලබන ඔක්තෝබරය වනවිට, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75 ක් සපිරීම ද විශේෂත්වයකි.

මැක්රොන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවලදී ද්වි පාර්ශ්වික කාරණා ගැන මෙන්ම කලාපීය කාරණා ගැන ද අවධානය යොමු වනු ඇත. මෙම කලාපය තුළ චීනයේ බලපෑම වර්ධනය වීම බටහිර බලවතුන්ට කලෙක සිටම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙන්නකි. ඒ නිසා ආසියා පැසිෆික් කලාපය සමග සබඳතා තර කර ගැනීමට මෙම රටවල් වැඩි උනන්දුවක් දක්වමින් සිටියි.

45 වැනි වියෙහි පසුවන මැක්රොන් යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය නායකයෙකි. කෙසේ නමුත් මේ වනවිට ඔහු ද දේශපාලන වශයෙන් අභියෝග රැසකට මුහුණ දී සිටියි. රට තුළ සමාජ නොසන්සුන්තා වර්ධනය වෙමින් ඇති ආකාරය දැකිය හැකි වේ. විශ්‍රාම යාමේ වයස පිලිබඳ ප්‍රශ්නයක් නිසා පසුගිය දිනවල එරට හටගත් විරෝධතා සහ වැඩ වර්ජන ජාත්‍යන්තර කරළියේ විශාල අවධානයක් දිනාගත් සිද්ධියක් විය. එමෙන්ම 17 හැවිරිදි ඇල්ජීරියානු සම්භවයක් ඇති යෞවනයකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධියක් නිසා ද ඉතා දරුණු විරෝධතාවක් මෙයට සති කිහිපයකට පෙර එහි ඇති විය. රජයේ වාහන සහ ගොඩනැගිලි ඇතුළු දේපල ගිනි තැබීම් වැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මෙහි දී වාර්තා වූයේය. මෙම පසුබිම තුළ මැක්රොන්ගේ දේශපාලන අනාගතය මේ වනවිට යම් අස්ථාවර බවකට පත්ව ඇති බව දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහසයි.

එමානුවෙල් මැක්රොන් පළමු වරට ප්‍රංශයේ ජනාධිපති පදවියට පත් වූයේ 2017 වසරේ යි. ඒ කාලයේ මාධ්‍ය තුළ විශාලම අවධානයක් යොමු වූ කාරණා අතර ඔහුගේ විවාහ ජීවිතය ද එක් කාරණයක් විය. මැක්රොන් විවාහ වී සිටින්නේ ඔහුට වඩා වසර 25 කින් වැඩිමල් කාන්තාවක වන බි්‍රජිට් මේරි-ක්ලෝඩ් සමග යි. මේ වනවිට 70 වැනි වියෙහි පසුවන ඇය කලක් මැක්රොන්ගේ පාසල් ගුරුවරියක වූවාය. 2007 වසරේ ඇය මැක්රෝන් සමග විවාහ වීමට පෙර අන්ද්‍රේ ලුයී නැමැත්තකු සමග විවාහ වී සිටියාය.

මැක්රොන් සහ බි්‍රජිට් පළමු වරට මුණ ගැසී තිබුණේ ලා ප්‍රොවිඩන්ස් නැමැති පාසලේදී යි. ඒ 1993 වසරේ යි. ඒ වනවිට බි්‍රජිට් 40 වැනි වියෙහි පසු වූ අතර මැක්රොන්ගේ වයස අවුරුදු 15 ක් විය. බි්‍රජිට්ගේ දියණියක ද මැක්රොන් සමග එකම පන්තියේ ඉගෙන ගත් බව සඳහන් වේ.

මැක්රොන් සහ බි්‍රජිට් අතර සම්බන්ධයට මැක්රොන්ගේ මව්පියන් කලින් විරුද්ධ වී තිබිණ. මෙම සම්බන්ධය බිඳ දැමීම සඳහා ඔවුන් මැක්රොන්ව වෙනත් පාසලකට යැවූ බව ද සඳහන් වේ. කෙසේ හෝ වේවා, මැක්රොන් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු සහ බි්‍රජිට් නැවත මුණ ගැසී තිබිණි.
බි්‍රජිට්ගේ කලින් විවාහයෙන් ඇයට දරුවෝ තිදෙනෙක් සිටිති. මැක්රොන්ට සහ බි්‍රජිට්ට දරුවන් නැත.

2017 වසරේ ජනාධිපතිවරණය අවස්ථාවේ බි්‍රජිට් සිය සැමියාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහත් කැප වීමෙන් කටයුතු කළාය. එක් උපදේශකයකු පවසා තිබුණේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා බි්‍රජිට්ගේ සහභාගිත්වය මැක්රොන්ට අතිශයින් වැදගත් වූ බවයි. මැක්රොන්ගේ කථිකත්වය වැනි හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඇය විශාල වශයෙන් දායක වූ බව සඳහන් ය.

මැක්රොන් දක්‍ෂ පියානෝ වාදකයකු බව ද සඳහන් වේ. ඔහු තරුණ කාලයේ වසර 10 ක කාලයක් පියානෝ වාදනය ඉගෙන ගෙන තිබිණි. එමෙන්ම ඔහු හිම ක්‍රීඩා කිරීමට, බොක්සිං ක්‍රීඩාවට සහ ටෙනිස් ක්‍රීඩාවට ඇල්මක් දක්වයි.

ජනාධිපති පදවියට පත් වීමට පෙර මැක්රොන් ප්‍රංශයේ ආර්ථික කටයුතු, ඩිජිටල් කටයුතු සහ කර්මාන්ත පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර