බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය මේ ආකාරයෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණේ අඟහරුවාදා රාත්‍රියේ ය. දීපිකා රෝහල්ගත කිරීමට සිදු වී තිබුණේ ඇය දැඩි අපහසු ගතියකින් පෙලෙන්නට පටන් ගැනීම නිසා බව ද සඳහන් වේ. ඒ වනවිට ඇය තදින් වෙහෙසට පත්ව සිටි බවක් ද පැවසේ.
දීපිකා වෛද්‍ය පරීක්‍ෂණ රැසක් සඳහා යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි. එම පරීක්‍ෂණ සඳහා පැය ගණනාවක් ගත වී තිබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඇයගේ රෝගී තත්ත්වය ගැන දැන ගැනීම සඳහා මාධ්‍යවේදීන් දීපිකාගේ සමීපතමයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණත් එය සාර්ථක වී තිබුණේ නැත. කෙසේ වෙතත් දීපිකාගේ තත්ත්වය පසුව තරමක් සුව අතට හැරී තිබූ බව ද සඳහන් වේ.
මෙයට මාස කිහිපයකට පෙර ද දීපිකා මේ ආකාරයෙන්ම හදිසි අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කිරීමට සිදු විය. එම අවස්ථාවේ ඇතිව තිබුණේ ඇයගේ හෘද ස්පන්දන වේගයේ වැඩි වීමකි. එම තත්ත්වයට ඇය මුහුණ දී තිබුණේ හයිද්‍රාබාද් හි Project K නැමැති චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියදී ය. එම අවස්ථාවේ දීපිකා කාමෙනේනි රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී ද වෛද්‍ය පරීක්‍ෂණ රැසකට මුහුණ දුන්නාය.
දීපිකා රඟපාන චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේ දී තිරගත වීමට නියමිතව තිබේ. ඒ අතරින් ප්‍රේක්‍ෂකයන් මහත් උනන්දුවෙන් බලා සිටින සිනමාපටයක් වන්නේ ‘පතාන්’ චිත්‍රපටය යි. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ෂාරුක් ඛාන් ය. වසර කිහිපයක් රඟපෑමෙන් ඈත්ව සිටි ෂාරුක් නැවත සිය රසිකයන් හමුවට එන්නේ මෙම සිනමාපටයෙනි. එය ලබන ජනවාරි මාසයේ තිරගත වීමට නියමිතව තිබේ.