දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය 40% කින් පහළට

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සියයට හැත්තෑවේ සිට සියයට තිහක් දක්වා පහත බැස තිබෙන බව දුම්රිය බඩු ගබඩාවේ අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් අහිමිවීමක් සිදුව ඇති බවත් අඩුපාඩු නිවැරැදි කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරගත හැකි බවත් ඔහු කීවේය.

මේ වනවිට භාණ්ඩ ප්‍රවාහනයටම වෙන්ව එක් දුම්රියක් පමණක් ධාවනය වන බවත් මගී ප්‍රවාහන දුම්රිය හා මිශ්‍රව තවත් දුම්රිය පහකින් භාණ්ඩ ප්‍රවාහනය සිදුවන බවත් හෙතෙම කීවේය. භාණ්ඩ ප්‍රවාහනය පහළ බැසීමට ප්‍රධාන හේතුව දුම්රිය එන්ජින් නොමැති වීම බවත් අබලන් තත්ත්වයේ ඇති දුම්රිය එන්ජින් අලුත්වැඩියා කර භාණ්ඩ ප්‍රවාහනයට එක්කළ හැකි බවත් කී බඩු ගබඩා අධිකාරී සුමේධ සෝමරත්න දුම්රිය නියාමක හා රියැදුරු හිඟය ද තවත් එක් හේතුවක් බව පෙන්වා දුන්නේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ පසුගිය 2024 වසරේ දී පමණක් භාණ්ඩ ප්‍රවාහනයෙන් රුපියල් මිලියන1,780 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවය.

කාලීන පුවත්