සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් මාර්ගවලට වඩා නල්ලතන්නියේ සිට සිරිපා මළුවට අඩු දුරක් පිහිටීම, මාර්ගය හොඳින් සකස් කර තිබීම සහ නඩත්තු කිරීම, විදුලිය ජල පහසුව තිබීම, මග දෙපස ආපනශාලා සහ ප්‍රථමාධාර ආදී අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් බහුල වීම වැනි හේතු මේ මාර්ගය වඩා ජනප්‍රිය වීමට බලපා තිබෙනවා.
මේ හැරුණු විට ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ඊළඟට වැඩි දෙනෙක් තෝරා ගන්නේ රත්නපුර – ශ්‍රී පලාබද්දල මාර්ගයයි. හැටන් නල්ලතන්නි මාර්ගයේ තරම් පහසුකම් මෙහි නොමැති අතර මාර්ගය ඊට වඩා දුරින් සහ දුෂ්කරතාවන්ගෙන් ද වැඩියි. මාර්ගයේ ඇතැම් ස්ථාන විධිමත් ලෙස සකස් වී නොමැති වීම සහ නිසි නඩත්තුවක්ද නොමැති වීම ඊට හේතුවයි. නමුත් ශ්‍රීපාද වන්දනාකරුවන් අතර මෙම පලාබද්දල මාර්ගය ද ජනප්‍රියයි.
ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යා හැකි තවත් මාර්ගයක් වන්නේ කුරුවිට – එරත්න මාර්ගයයි. මේ මාර්ගයෙන් ශ්‍රී පාදය වඳින්නට යන බැතිමතුන්ට කුරුවිට සිට එරත්න හරහා කැකුණහින්න තෙක් වාහනයකින් ගමන් කළ හැකියි. එතැන් සිට සිරිපා මළුව දක්වා කිලෝමීටර් 12ක පමණ දුර ප්‍රමාණය පයින් ගමන් කළ යුතුයි. එම දුර සාමාන්‍යයෙන් නල්ලතන්නි පාර මෙන් දෙගුණයක්. කන්ද තරණය කිරීමේ දුෂ්කරතා ද පවතින අතර මාර්ගය නිසි ලෙස සකස් වී ද නෑ . ආපනශාලා ද අඩු බැවින් මුලින් කී මාර්ග සමග සසඳන විට මෙහි ජනප්‍රියත්වය අඩුයි.
මේ ප්‍රධාන මාර්ගවලට අමතරව මෙම මාර්ගවලටම හිමේ දී සම්බන්ධ වන තවත් අප්‍රකට, වනයෙන් වැසී ගත් සිරිපා මාර්ග කිහිපයක් තිබෙනවා. මේවා පොදු ජන අවධානයට ලක්වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්. අනෙකුත් සිරිපා මාර්ග අනුව බලන විට මෙම වනගත මාර්ග ඔස්සේ ගමන් කිරීම දුෂ්කර වන අතර එහි කිසියම් අවදානමකුත් තිබෙනවා.
කුරුවිට පාරේ ශ්‍රීපාදයට යන කෙනෙකුට කැකුණහින්නේ සිට කිලෝමීටර් අටක කඳු තරණයකින් පසු සිරිපා මළුවේ ප්‍රධාන විවේකස්ථානයක් ලෙස සැලකෙන තැනිතලා බිමක් හමුවෙනවා. එය හඳුන්වන්නේ මැදහින්න ලෙසින්. මේ මාර්ගයෙන් වන්දනාවේ යන වන්දනාකරුවන්ගේ ප්‍රධාන ගිමන් හලක් වනුයේ මැදහින්නේ අම්බලමයි. මෙය ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. මැදහින්න මුහුදු මට්ටමේ සිට අඩි හාර දහසකටත් වඩා උසකින් යුතුයි.
කුරුවිට පාරේ ශ්‍රීපාදයට යන කෙනෙකුට කැකුණහින්නේ සිට කිලෝමීටර් අටක කඳු තරණයකින් පසු සිරිපා මළුවේ ප්‍රධාන විවේකස්ථානයක් ලෙස සැලකෙන තැනිතලා බිමක් හමුවෙනවා. එය හඳුන්වන්නේ මැදහින්න ලෙසින්. මේ මාර්ගයෙන් වන්දනාවේ යන වන්දනාකරුවන්ගේ ප්‍රධාන ගිමන් හලක් වනුයේ මැදහින්නේ අම්බලමයි. මෙය ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. මැදහින්න මුහුදු මට්ටමේ සිට අඩි හාර දහසකටත් වඩා උසකින් යුතුයි.
දිවා කාලයක වුව මැදහින්නේ තිබෙන්නේ සෙල්සියස් අංශක 21 ක තරමේ සිසිල් දේශගුණයක්. එය සෙ. අංශක 8 -9 දක්වා පහළ බසිනවා.
කුරුවිට මැදහින්න හරහා වැටුණු මෙම ශ්‍රීපාද මාර්ගය “මහ හිමය” හෙවත් ශ්‍රී පාද අභය භූමිය නමින් හැඳින්වෙන මහ වනාන්තරය මැදින් වැටී තිබෙනවා. පීක් විල්ඩර්නස් (Peak wilderness) නමින් ඉංග්‍රීසින් විසින් ඉතා ඉහළින් අගය කරන ලද මෙම මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 224 ක් පමණ වෙනවා. මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1940 වසරේ ඔක්තෝබර් 25 දා යි.
මැදහින්න අම්බලම පසුකර මීටර් සීයක් පමණ උඩට නගින විට වම් අත පැත්තෙන් මහ වනය තුළට පිවිසිය හැකි කුඩා අඩි පාරක් දක්නට ලැබෙනවා. දැරණියගල පහළ මාලිබොඩ පන්දෙණිය හරහා වැටීගත් අප්‍රකට වනගත ශ්‍රී පාද මාර්ගය කුරුවිට මාර්ගය හා සම්බන්ධ වන ස්ථානය මෙයයි. ඈත අතීතයේ එම ප්‍රදේශවල ශ්‍රී පාද වන්දනාකරුවන් ශ්‍රී පාදය වැඳීමට යෑම සඳහා යොදා ගත් අප්‍රකට රහස් පාරක් ලෙස මෙය දක්වන්න පුළුවන්. මෑත කාලයේ පරිසරවේදීන් සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් මෙම අප්‍රකට මාර්ගවල ගොස් ජනතාවට කරුණු අනාවරණය කරන තුරුම මෙම මාර්ග ගැන දැන සිටියේ එම ප්‍රදේශවාසීන් පමණයි.
අප මේ කතා කරන්නට යන්නේ එම දැරණියගල මාලිබොඩ හරහා වැටීගත් ශ්‍රීපාද මාර්ගය පිළිබඳවයි.
මේ මාර්ගයේ ශ්‍රී පාදය වන්දනා කිරීමට යන අයෙකු මුලින්ම දැරණියගල නගරයේ සිට කිලෝමීටර් දොලහක් පමණ පැමිණි පසු හමුවන උඩ මාලිබොඩ, උස්ගල, දික් ඇලි කන්ද පසුකරමින් පන්දෙණිය දක්වා ගමන් කළ යුතුයි. මේ දුර වාහනයකින්ද ගමන් කළ හැකි මුත් සෑම වාහනයකටම මේ මාර්ගයේ යා නොහැකි තරම් එය දුෂ්කරයි.
ඉතාමත් මෘදු සිසිල් දේශගුණයකින් යුතු පන්දෙණිය ගම හරහා පන්දෙණිය ගඟ ගලා බසිනවා. එය දැරණියගල හරහා ගලන මාගල් ගඟේ අතු ගංගාවක්. මේ මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වඳින්නට යන කෙනෙකුට සිරිපා හිමයේ හමුවන අවසන් මිනිස් ජනාවාසයද මෙම පන්දෙණිය ගමයි. පන්දෙණියේ සිට ශ්‍රී පාද අඩවියේ මහ මූකලාන මැද්දෙන් මැදහින්නට යා යුතුයි. ඒ දුර කිලෝ මීටර් පහක් පමණ වෙනවා. මහ මූකලාන මැද්දේ ගල් පර්වත අතරින් වැටුණු මේ අඩිපාර ශ්‍රී පාද වන්දනා කාලයට දික් ඇලි කන්ද, පන්දෙණිය, උඩ මාලිබොඩ ප්‍රදේශවල ජනතාව විශාල උත්සාහයක් දරා කැලය කපා පාදා ගනු ලබනවා. මේ සඳහා ඔවුන් ශ්‍රී පාද හිමයේ විලේ ලෙන නමින් හඳුන්වන මහ ගල් ගුහාවක නතර වී දින ගණන් ගත කරන අතර උයා පිහාගෙන කන්නේද එම ගල් ගුහාව තුළමයි. පන්දෙණියේ සිට මැදහින්නට කිලෝමීටර් 5 ක පමණ දුරක් තිබෙනවා. මැදහින්නේ සිට සිරිපා මළුවට කිලෝමීටර 4 ක පමණ දුරක් යා යුතුයි. කුරුවිට පාරේ කැකුණහින්නේ සිට ශ්‍රී පාදයට පිවිසීමට පා ගමනින් කිලෝමීටර් 12 ක් යා යුතු වුවද, මාලිබොඩ හරහා පන්දෙණියට පැමිණියහොත් පන්දෙණියේ සිට මහවනය මැදින් කි.මී. 5 ක් ආවිට මැදහින්න හමුවන බැවින් එතැන සිට සිරිපා මළුවට ඇත්තේ කිලෝමීටර් 4 ක දුරක් පමණයි. ඒ අනුව කුරුවිට – එරත්න ශ්‍රී පාද මාර්ගයේදී පසු කළ යුතු කිලෝමීටර් දොලහේ දුර උඩමාලිබොඩ පන්දෙණිය හරහා පැමිණීමේදී කිලෝමීටර් තුනකින් අඩු කරගත හැකියි. නමුත් මෙය මහ වනයෙන් වැසී ගත් මාර්ගයක් බවත් කිව යුතුයි.
මේ ශ්‍රී පාද මාර්ගය හරහා ශ්‍රී පාද අඩවියේ කඳුවලින් පහළට නිතරම ජලධාරා ගලා හැලෙනවා. පළවෙනි ජල ධාරාව තමයි පන්දෙණි ගඟ. ඒ ගඟ හරහා ඇති ගල් කුළුවලට අඩිය තබමින් ගඟ තරණය කළ යුතුයි. තවත් මෙවැනි ජල මූලාශ්‍ර හතරක් පමණ අතරමගදී හමුවෙනවා. ශීත හිමයට වැසි ඇද වැටෙන විට පන්දෙණි ගඟ ඇතුළු මේ හැම ජල මූලාශ්‍රයකම හිටි හැටියේ ජලය වැඩි වෙනවා. එවිට ජලය අඩුවන තුරු පැය ගණන් වුවද බලා සිටින්නට වන්දනාකරුවන්ට සිදු විය හැකියි.
පන්දෙණි ගඟ පසුකර මැදහින්නට යන දුර්ග මාර්ගයේ උඩු වියනක් බඳු විශාල ගස්වල අතු ස්ථරයක් ඇති නිසා වනය තුළට හිරු එළිය වැටෙන්නේ වරින්වර යි. එනිසා වැහි වතුරෙන් නිතරම පොළොව තෙත බරිත වූ ස්වභාවයක් උසුලනවා. මේ හේතුව මත මෙහි කූඩැල්ලන් සිටින්නේ ගුලි වශයෙන්. මහ පොළොවේ තණපත් අග සේම ගස්වල අතුවල පවා කූඩැල්ලන් සිටින අතර ගෙල, කම්මුල් පවා කූඩැල්ලන්ගේ ග්‍රහණයට නතු විය හැකියි. මේ නිසාම මහන්සිය නිවා ගන්නටවත් අතරමඟ නතර වීමට නම් අවසරයක් මෙහි නෑ.
මේ පාරේ යන බොහෝ දෙනෙකුට අලි රංචු ගැවසී ඇති බවට ලකුණු දැක ගත හැකියි. අලින්ගේ මළපහ කිරීම්, අලි ගඳ, ගස්වල අතු කඩා දැමීම වැනි දේවල් අලින් සිටි බවට හඳුනාගත හැකි ලක්ෂණයි. නමුත් මේ අලින්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නොවන බවට ජන විශ්වාසයක් පවතිනවා. මීට අමතරව දිවියන් සහ වලසුන්ද මේ වන පෙතේ වාර්තා වෙනවා. ඒ වගේම දුර්ගවලින් පිරී ඇති මෙම මාර්ගයේ ඇතැම් තැන්වලින් කන්ද තරණය කළ යුත්තේ ගල් මුල් අල්ලාගෙන ඉතා අසීරුවෙනුයි.
එසේම මේ පාරේ යන බොහෝ දෙනෙකුට අලි රංචු ගැවසී ඇති බවට ලකුණු දැක ගත හැකියි. අලින්ගේ මළපහ කිරීම්, අලි ගඳ, ගස්වල අතු කඩා දැමීම වැනි දේවල් අලින් සිටි බවට හඳුනාගත හැකි ලක්ෂණයි. නමුත් මේ අලින්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නොවන බවට ජන විශ්වාසයක් පවතිනවා. මීට අමතරව දිවියන් සහ වලසුන්ද මේ වන පෙතේ වාර්තා වෙනවා. ඒ වගේම දුර්ගවලින් පිරී ඇති මෙම මාර්ගයේ ඇතැම් තැන්වලින් කන්ද තරණය කළ යුත්තේ ගල් මුල් අල්ලාගෙන ඉතා අසීරුවෙනුයි.
අනෙකුත් ශ්‍රී පාද මාර්ගවල මෙන් මෙම මාර්ගයෙහි ද සීත ගඟුලක් හමුවෙනවා. එය කුරු ගඟේ අතු ගංගාවක්. එහිද වතුර පාර හිටිහැටියේ අඩු වැඩි වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් වන්දනාකරුවන් ප්‍රවේශම් විය යුතුයි.
සීත ගඟුල ආසන්නයේ සිට නැවත ඇත්තේ විශාල නැග්මක්. එය තරණය කළ විට කුරුවිට පාරේ මැදහින්න තැනිතලාව හමුවෙනවා.
උඩමාලිබොඩ පාරේ සිරිපා වන්දනාවේ යන කෙනෙකුට පන්දෙණිය ගම්මානයට පසු හමුවන ප්‍රථම විවේකස්ථානය මැදහින්න අම්බලමයි. මඳකට හෝ එතැන නතර වන්නට නම් මේ පාර ඔස්සේ කුරුවිට පාරට පැමිණ මීටර් සීයක් පමණ නැවත පහළට ආ යුතුයි. එහි වෙළඳ සැලකින් තේ කහට උගුරක් හෝ බොන්නට ලැබෙන්නේ මෙතැනට පැමිණි විටදී යි.
පරිසරයට ආදරය කරන, ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථානවල නිතර සංචාරයෙහි යෙදෙන පළපුරුදු අයට මෙම මාර්ගයෙහි ශ්‍රී පාද තරණය කිරීම සුන්දර අත්දැකීමක් විය හැකියි. නමුත් එවැනි පළපුරුදු නැති කෙනෙක් මෙම මාර්ගයෙහි යන්නේ නම් එය හොඳින් දන්නා පලපුරුදු අයෙකුගේ සහාය ලබා ගැනීම වැදගත්. දුෂ්කර වුවත් මූකලාන මැද්දෙන් යන මේ ගමන ඔබට අමතක නොවන අත්දැකීමක් වේවි.
ඉන්දු පෙරේරා
ඡායාරූප:සහන් සංකල්ප සිල්වා