දූවිලි බිඳක් වත් නැති දූවිලි ඇල්ල

දූවිල්ල කියන්නේ ජලයත් එක්ක කෙසේවත් සම්බන්ධ නැති මූල ද්‍රව්‍යයක්.ඒත්,අපේ රටේ නමුත් දූවිලි ඇල්ල නමින් හඳුන්වන දිය ඇලි කිහිපයක්ම තියනවා.ඒකට හේතුව ඒ දිය ඇලි වලින් විසිරෙන බොර පැහැති දිය බිඳු දූවිලි මෙන් ඈතට විසිර යනු දක්නට ලැබීමයි. මේ කතා කරන්නේ දූවිලි ඇලි වලින් ප්‍රධානම දූවිලි ඇල්ල ලෙස සලකන බලංගොඩ කල්තොට පිහිටි දූවිලි ඇල්ල ගැනයි.නමුත් ඒ දිය ඇල්ල ආශ්‍රිතව දුහුවිලි බිඳක් වත් දකින්න නැහැ.

මෙම දූවිලි ඇල්ලට මාර්ග දෙකකින් යා හැකියි. බලංගොඩ කල්තොට මාර්ගයේ බෙල්ලන් බැඳි පැලැස්සෙහි 16 වැනි සැතපුම් කණුව ළඟින් වම්පසට තිබෙන මාර්ගය මෙහි යා හැකි එක් මාර්ගයක්.

 

අනික බලංගොඩ බලන්ගොඩ කල්තොට මාර්ගයේ මැදබැද්ද හරහා ඉලුක්පැලැස්සට වම් පසින් තිබෙන මාර්ගයයි.

නියං කාලවලදී පවා දිය සිඳී නොයන දූවිලි ඇල්ල වසරේ ඕනෑම කාලයක දැකබලා ගන්නට හැකියාව තිබෙනවා. මෙහි උස මීටර් 40 ක් පමණ වන බවයි සැලකෙන්නේ.

මෙම දූවිලි ඇල්ලේ ම තවත් කුඩා ඇල්ලක් ගලකින් ආවරණය වෙලා ගල් දෙබොක්කාවක් තුළට කඩා වැටෙනවා. මේ කුඩා ඇල්ල දුර සිට බැලු විට එතරම් පෙනෙන්නේ නැති මුත් දූවිලි ඇල්ල ළඟට ගිය විට පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ කුඩා ඇල්ලේ ජලයත් ප්‍රධාන ඇල්ලටම එකතු වෙනවා.

ගල්කුළු අතරින් පහළට ජලය කඩා හැලෙන විට ඒවා ජල බිංදු යැයි කෙසේවත් නොසිතෙන තරමට ඉතාමත් සියුම්ව දූවිලි වලාවක් මෙන් විසිරීම නිසා දූවිලි ඇල්ල යන නම මීට පටබැඳී තිබෙනවා. මෙම දිය ඇල්ල ඉහළින් තිබෙන ප්‍රදේශය සමනලවැව රක්ෂිතයට අයත්. සුමන සමන් දෙවියන් විසින් මවන ලද්දක් ලෙස මෙම දියඇල්ල පිළිබඳව එම ප්‍රදේශයේ පාරම්පරික ගැමියන් තුළ විශ්වාසයක් පවතිනවා. කෙසේවුවද මෙම දිය ඇල්ල පිළිබඳව අනාවරණය කරගෙන තිබෙන්නේ සබරගමු පළාතේ ඇතුන් බලා ගැනීමේ යෙදුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු විසින් බවයි පැවසෙන්නේ.

වෙනත් දිය ඇලි වල දක්නට නොලැබෙන ආකාරයේ, දිය ඇල්ල මට්ටමේ සිටම එය නැරඹිය හැකි ස්වභාවික නැරඹුම් පීඨිකාවක් මෙම ඇල්ල ආසන්නයේ පවතිනවා. එනිසා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් මෙම දූවිලි ඇල්ල නරඹන්නට පුළුවන්. මේ වන විට මෙම දූවිලි ඇල්ල ආසන්නයේ කෑම බීම පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් පවා තිබෙන නිසා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙම කල්තොට දූවිලි ඇල්ල නැරඹීමට පැමිණෙනවා.

ඇල්ල ඉතාම සුන්දර වුණත් ඇල්ල පාමුල තිබෙන ජල තටාකය නම් ඉතාමත්ම ගැඹුරුයි.මෙම තටාකයේ රන්තෝඩු පැළඳි ආඳකු සහ රන් පුහුලක් සඟවා ඇති බවට ජනප්‍රවාදයක් පවතිනවා . ඇතමුන් මෙය රන් පුහුල් වල ලෙසින් හඳුන්වන්නේ එම ජන ජනප්‍රවාදයට අනුව බව සිතිය හැකියි. එසේම තවත් ජනප්‍රවාදයක් වන්නේ අතීතයේ පර සතුරන් හා යුද වැදුණු ඈපා නම් රාජ කුමාරයකු යුද වදින විට තම රාජාභරණ දූවිලි ඇල්ලේ ගල් කුහර යට සඟවා තැබූ බවයි. ඒ හේතුවෙන් ඈපා කුමාරයාගේ වල, රන් ආයුධ වල යන නම් ද මීට පට බැඳී තිබෙනවා.
ඔබටත් විවේකී දිනයක පහසුවෙන් මෙම දූවිලි ඇල්ල නැරඹීමට යා හැකියි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව