දූෂණයට ලක් වුණු කතුන් ඉක්මනින් නා ගන්නට දරන උත්සාහය සාධාරණයි,ඒත්;

අගනුවරින් දුර බැහැර ප්‍රදේශයක දැරියක් පාසල නිමවී පා පැදියකින් ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් ඇයව නවතා ගන්නා නාදුනන පුද්ගලයෙක් කැලෑබද ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කරනවා. .දැඩි කම්පනයකින් නිවසට ගිය ද වහාම මවත් සමඟ පොලිසියටත්,එතනින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ටත් ඇය ඉදිරිපත් වෙනවා . .එහිදී දූෂණයකට ලක්වූ බවට ශාරීරික ව සිදු වූ තුවාල සීරිම් මෙන්ම සිරුරේ තැවරුනු ශුක්‍රාණු ද එලෙසින් ම හඳුනාගැනෙනවා. ඇයව දූෂණයට ලක් කළ කැලෑබද ප්‍රදේශයේ ඇය පැවසූ ස්ථානයේම තැලුණු පොඩිවුණු පැල පඳුරු පෙර සාක්ෂි මඟින් තවත් තහවුරු වෙනවා .එය මා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පහසු විනිශ්චයක් ලබා දුන් අවස්ථාවක් .
දූෂණයකට ලක් වන සෑම කාන්තාවකටම ඒ ආකාරයට කටයුතු කිරීමේ හැකියාව නැහැ .සමහර විට ජීවිත කාලයටම ඇය මුහුණ දුන් ප්‍රබලතම ඛේදවාචකය හමුවේ සාක්ෂි රැක ගැනීම කෙරෙහි ඇය කෙසේ නම් සිහිය එලවා ගන්නට ද?.”අප්පිරියයි ඩොක්ට.මට ඕන වුණේ පුළුවන් තරම් ඉක්මනට නා ගන්න.” ඒ මා අබියස බොහෝ කාන්තාවන්ගේ මුවින් කියවෙන කතාව .
දූෂණයකට ලක්වූ කාන්තාවක් නීතිය හමුවට යෑම මේ දී අධිකරණ වෛද්‍යවරයාගේ විනිශ්චය ඉතාම වැදගත්.එහෙත්, එබඳු තත්ත්වයකට පත් වූ කාන්තාවක් කෙරෙන් දූෂණයට අදාළ ප්‍රබල සාක්ෂි ඇය විසින්ම විනාශ කොට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වීම තුළ ඇයට අසාධාරණයක් සිදු විය හැකිද ? නීතියේ පිළිසරණ නොලැබී යා හැකිද ?.
දූෂණයකට ලක්වූ කාන්තාවකගේ සිරුරේ තැවරී ඇති ශුක්‍රාණු ඇතුළු යම් යම් දේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකදී ප්‍රබල සාක්ෂි බව සැබෑවක් .එය එසේ යැයි කියා තමන්ට දැඩි අප්‍රසන්න වූත් පිළිකුල් සහගත වූත් දේ සමග පැය ගණනාවක් ගත කරන්නට යැයි පැවසීම ද සාධාරණ නොවේ .පොලිසියේ කට උත්තර ,අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණ,ආදී සියල්ල නිම වන තුරු පැය හයක් අටක් එම අප්‍රසන්න දේ සමඟ දැඩි මානසික කායික පීඩාවන් මධ්‍යයේ කල් මැරීම කොතරම් පීඩා කාරී දැයි දැනෙන්නෙ එබඳු තත්වයකට මුහුණ පාන්නට සිදු වූ අයෙකුටම පමණයි .එවැනි විටෙක සිරුරේ තැවරුන විෂබීජ යන්හි බලපෑම තව තවත් වර්ධනය වෙමින් සෞඛ්‍යයට ද යම් යම් බලපෑම් ඇති කරවිය හැකියි.
නීති පොතේ වගන්ති ප්‍රකාරව ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්නට සම්පූර්ණ ලිංගික සංසර්ගයක්,ශුක්‍රානු පහ වීමක් හෝ ගැබ් ගැනීමක්ම අවශ්‍ය නැහැ.ස්ත්‍රී දූෂණයක් යනු කාන්තාවකගේ අභිමානයට සිදුකරන විශාලතම කැළලක්.ඇගේ කැමැත්තකින් තොරව සිදුකරන එබඳු ක්‍රියාවක් හේතුවෙන් ඇයගේ අභිමානයට සිදුවන බරපතළ හානිය ම ස්ත්‍රී දූෂණයක් සිදු වූවා ය යන්න තහවුරු කරන්නට සෑහෙනවා.එවැනි තැනකදී පෙර කී කිසිවක් සිදු නොවූවද ස්ත්‍රී දූෂණය කියන සංසිද්ධිය බැහැර වන්නේ නෑ .එහෙත් ස්ත්‍රී දූෂණයක් සිදු වූවා යැයි පිළිගතහැකි යන්න සාක්ෂි විනාශ නොවී පැවතීම එය ඔප්පු කරන්නට විශාල පහසුවක් බව ත් පැවසිය යුතුයි
නමුත් මෙහිදී තමන්ගේ ශරීරය නා පිරිසිදු කර ගත්ත ද එම අවස්ථාවේ දී ඇඳ සිටි ඇඳුම් හොඳින් සංරක්ෂණය කර ගන්නටත් නොපමාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යොමු වීමත් ඉතාම වැදගත්. .ඒ ඇඳුම් සංරක්ෂණය කරගන්නා ආකාරය පිළිබඳව කාන්තාවක් දැනුවත් වීම ඉතාම වැදගත්.එහිදී ඇඳුම් සේදීම කිසිවිටෙකත් නොකළ යුතු අතර තද අව්වට නොදා පවනේ වේළා ගැනීම කළ යුතුයි..ඉන්පසුව ෂොපින් කවර ,ඉටි කවර ආදියෙහි නොලා මුද්‍රිත අකුරු නැති කඩදාසියක ඔතා පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කළ යුතු වෙනවා.
දූෂණය සිදු වූ අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම් පිටින්ම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වන කාන්තාවක් අමතර ඇඳුම් කට්ටලයක් රැගෙන වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වන්නට කල්පනාකාරී විය යුතුයි. .ඒ , දූෂණය වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඒ අවස්ථාවේදී ලබා දෙන්නට සිදුවන නිසයි .
ස්ත්‍රී දූෂණයකට පසුව හැකි ඉක්මනින් නා ගත්තා යැයි කියා ගැබ්ගැනීමක් සිදු වන්නට ඇත්නම් එය වළකාලිය නොහැකියි. .එහෙත් කල් නොයවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වුව හොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගන්නට ප්‍රතිකාර කිරීමේ හැකියාව එම වෛද්‍යවරයාට තිබෙනවා.ඒකත් ඒ වෛද්‍ය වරුන්ගේ වෘත්තීමය වගකීමක්
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න
සටහන: උත්පලා සුභාෂිණී ජයසේකර

ඉරා අදුරුපට