සූරියා දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප මේ කතා කරන්නට යන්නේ ඔහු මෑතකදීම රඟ පෑ අපූරු සිනමාපටයක් ගැන ය. ‘ජායි භිම්’ නැමැති මෙම සිනමා නිර්මාණය පසුගිය කාලයේ මහත් අවධානයක් දිනාගත් සිනමා නිර්මාණයක් විය. සමාජ අසාධාරණයන්, විවිධාකාරයේ විෂමතා, වංචා දූෂණ, සූරාකෑම් ආදී කාරණා පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරවීමට, ඒවා ගැන අවදි බවක් ඇති කිරීමට මෙකල ඉන්දියානු සිනමාවේ බොහෝ නිර්මාණ ගන්නා උත්සාහයට ජායි භිම් තවත් මාහැඟි නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙය සාමාන්‍ය සිනමාලෝලීන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද නොමඳ පැසසුමට ලක් වූ සිනමාපටයක් වූ අතර විචාරකයන් එය හැඳින්වූයේ මෑත කාලයේ නිර්මාණය වූ දෙමළ චිත්‍රපට අතර විශිෂ්ටතම නිර්මාණයක් ලෙසිනි.
මෙම සිනමාපටයට පසුබිම් වන්නේ තමිල්නාඩු සමාජයේ දැඩි කොන් කිරීමකට ලක්ව සිටින ඉරුලා නැමැති ජන කණ්ඩායමකට අයත් පවුලකට විඳින්නට සිදුවන අතිශය ශෝචනීය සිදුවීම් පෙළක් පිළිබඳ කතාවකි. මෙම ඉරුලා ජන කණ්ඩායමට අයත් උදවිය ජීවත් වන්නේ සමාජයේ වංශවතුන්ට, කුලවතුන්ට අයත් ගොවිබිම්වල වැඩ කිරීමෙනි. ඔවුන්ට පැවරී ඇති ප්‍රධානම රාජකාරිය වන්නේ මෙම ගොවිබිම්වල ගැවසෙන මීයන් සහ සර්පයන් ඇල්ලීමයි. මොවුන් ඉතා නූගත් සහ වරප්‍රසාද අහිමි අසරණ ජන කොට්ඨාශයකි.
චිත්‍රපටය ආරම්භ වන්නේ ගමේ කුලීන, ධනවත්, බලවත් පවුලකට අයත් නිවසකට වදින නයකු ඇල්ලීමට රාජකන්නු නැමැති, ඉරුලා ගෝත්‍රයට අයත් තරුණයා එම නිවැසියන් විසින් කැඳවනු ලබන අවස්ථාවකිනි. මෙම පවුලේ මූලිකයා දේශපාලන බලවතකු ද වේ. රාජකන්නු නයා අල්ලා ඉවත් කිරීමට සමත් වන නමුත් ඉන් දින කිහිපයකට පසු එම නිවසේ සිදුවන සොරකමකට ඔහු සැකකාරයකු බවට පත් වේ. ඒ වනවිට රාජකන්නු සිටින්නේ ගඩොල් වැඩපලක රැකියාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගොසිනි. රාජකන්නු ගේ බිරිඳ වන සෙන්ගනි ඒ වෙද්දී ගැබ්බරව සිටින අතර රාජකන්නු රැකියාවක් සොයා යන්නේ පවුලේ අනාගතය වඩාත් යහපත් කිරීමේ බලාපොරොත්තු කරපින්නාගෙන ය. පොලිසිය ඔහු සොයා ගඩොල් වැඩපොලට ගියත් ඒ වනවිට රාජකන්නු එම ස්ථානයෙන් පලා ගොසිනි. ඊට හේතුවන්නේ වැඩපොලේ අයිතිකාරයා ඔහුට ගෙදර එන්නට නිවාඩුවක් නොදීම ය. රාජකන්නු තමාටත් නොකියා පලා ගොස් ඇති බව වැඩපොලේ අයිතිකාරයා පොලිසියට පවසයි. මෙය රාජකන්නු පිළිබද සැකය තවත් තීව්‍ර කිරීමට හේතුවක් වේ.
කෙසේ හෝ වේවා, සිය බිරිඳ බැලීමට ගමට එන රජකන්නු පොලිසියට කොටු වේ. පොලිසියට රැගෙන යනු ලබන ඔහුට ඉතා දරුණු වධහිංසා පමුණුවමින් සොරකම ගැන ඔහු ලවා පාපොච්චාරණයක් කරවා ගැනීමට පොලිසිය දරණ නින්දිත, කෲර උත්සාහය එයින් පසු චිත්‍රපටයේ ප්‍රධාන අංගයක් බවට පත් වේ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අපේක්‍ෂාව වන්නේ අහිංසකයකු හෝ සොරකමට අල්ලා දී උසස් වීමක් ලබා ගැනීම ය. මේ සිදුවීම් දාමය අවසන් වන්නේ රාජකන්නු පොලිස් අත්අඩංගුවේ සිටිය දී අබිරහස් ලෙස අතතුරුදන් වීමෙනි. පොලිසිය පවසන්නේ ඔහු පොලිසියෙන් පලා ගිය බවයි. ගැබ්බරව සිටින සෙන්ගනී තම සැමියාට සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකි වීමෙන් දැඩි වික්‍ෂිප්තභාවයටත්, අසරණභාවයටත් පත්වන්නීය. මෙසේ තිබිය දී ඇයට චන්ද්‍රෘ නැමැති තරුණ නීතිඥයකු හමු වීමට අවස්ථාව ලැබේ. එයින් පසු චිත්‍රපටය ඉදිරියට දිවෙන්නේ රාජකන්නුට සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට සහ ඒ සිදු වූ දෙය ඔප්පු කිරීමට චන්දෘ සහ සෙන්ගනි ගන්නා උත්සාහය ඔස්සේ ය. මේ හරහා පොලිසියට, නීති කේෂ්ත්‍රයට, දේශපාලනයට අරක්ගත් දූෂිත අධම බව, මෙම ආයතන විසින් සැබැවින්ම ආරක්‍ෂා කරනු ලබන්නේ වින්දිතයන් ද නැතහොත් අපරාධකාරයන් ද, ධනය, බලය, වර්ගවාදය බඳු සාධක විසින් මෙම ආයතනවලට කරනු ලබන බලපෑම වැනි කාරණා නිර්දය ලෙස නිරුවත් කර ප්‍රේක්‍ෂකයා හමුවේ හෙලිදරව් කිරීමට ජායි භිම් සමත් වේ.
ඉන්දියාව යනු ආර්ථික, ලිංගික, සමාජ සංස්කෘතික ආදි බොහෝ විෂමතාවන්ගෙන් ගහණ, ඒ නිසාම ජනතාව බොහෝ පීඩාවන්ට මුහුණ දෙන රටක් බව රහසක් නොවේ. තමුන් පෙලන මෙවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව තුළ යම් අවබෝධයක්, අවදි බවක්, සවිඥාණික බවක් ඇති කිරීම සඳහා ඉන්දියානු සිනමාව ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින අයුරු අපට පැහැදිලිව දැකිය හැකි වේ. ඉහත කී විෂම තත්ත්වයන් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන යාමට රැකුල් දෙන සම්ප්‍රදායික ආකල්ප, මතිමතාන්තර, අදහස් උදහස් ආදියට ද මෙම සිනමාපට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි. ‘ජායි භිම්’ ද මෙම ප්‍රගතිශීලි සිනමා ධාරාවට අයත් වන මාහැඟි නිර්මාණයකි.
මෙම චිත්‍රපටය දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ රිද්මය ගැබ් කරගත්, එම සිනමාවේ සුපිරි තරුවක් රඟපාන සිනමාපටයකි. මේ නිසාම අති විශාල ප්‍රේක්‍ෂක පිරිසක් වෙත ළඟා වීමේ සහ ඔවුන්ගේ හැඟීම් තුළට ඇතුල් වීමේ හැකියාව චිත්‍රපටයට තිබේ. තමුන් පෙළන සමාජ විෂමතා, සමාජ අසාධාරණයන්, සූරාකෑම් ගැන කිසිදු අවබෝධයක් නැති සාමාන්‍ය ප්‍රේක්‍ෂකයෝ ලක්‍ෂ ගණනක් මේ අතර වෙති. ඔවුන් සිනමාපටය නරඹා අසුනෙන් නැගිටින්නේ කලින් නොතිබුණු අවබෝධයක්, කම්පනයක්, දැනුම්වත් බවක්, අවදි බවක් සිත දරාගෙන ය.
සූරියා සහ ඔහුගේ බිරිඳ වන ජ්‍යෝතිකා විසින් නිශ්පාදනය කරන ලද ජායි භිම් සිනමාපටයේ තිරනාටකය ලියා අධ්‍යක්‍ෂණය කරන ලද්දේ ටී.ජේ. ඥානවේල් විසිනි. චන්ද්‍රෘ ලෙස සූරියා ද, රාජකන්නු ලෙස මනිකාන්තන් ද, සෙන්ගනි ලෙස ලිජමොල් ජෝෂ් ද චරිත නිරූපනය කරති.
ජායි භීම්ට සහ සූරියාට එරෙහිව එක් අවස්ථාවක තවත් ජන කොට්ඨාශයකට අයත් සංවිධානයකින් විරෝධය පළ වී තිබිණි. වන්නියාර් නැමැති ජන කොට්ඨාශයකට අයත් මෙම සංවිධානය පවසා තිබුණේ චිත්‍රපටයේ ඇතැම් කාරණා නිසා තම ජන කොට්ඨාශයට සහ එහි නායකයන්ට අපහාසයක් සිදුවන බවය. මෙහි එන ඉතා කෲර පොලිස් නිලධාරියකු වන ගුරුමූර්ති ගේ කාමරයේ දින දර්ශණයක මෙම ජන කොට්ඨාශය නියෝජනය කරන යම් සංකේතයක් දක්නට ලැබෙන බව ඔවුන්ගේ එක් චෝදනාවක් විය. ඊට අමතරව තවත් චෝදනා කිහිපයක් ද ඔවුන් ඉදිරිපත් කර තිබිණි. ඉහත කී සංවිධානයට අයත් උදවියගෙන් සූරියාට තර්ජන එල්ල වූ අතර මේ නිසා චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසට පොලිස් ආරක්‍ෂාව ලබා දීමට පවා සිදු විය. වෙට්රිමාරන්, ලෝකේෂ් කනගරාජ් ඇතුළු චිත්‍රපට අධ්‍යක්‍ෂවරු රැසක් මෙහි දී සූර්යා වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූවෝය. ඒ අතර කමල් හසන්, සිද්ධාර්ත්, ආර්. මාධවන් වැනි ප්‍රකට කලාකරුවන් බොහෝ දෙනෙකු චිත්‍රපටය මහත් සේ වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි.
‘ජායි භීම්’ සත්‍ය සිදුවීම් පෙලක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාපටයක් වීම විශේෂත්වයකි. මෙහි ඉරුලා ගෝත්‍රයට අයත් ජනතාව වෙනුවෙන් සටන් කරන නීතිඥ චන්ද්‍රෘ සැබෑ චරිතයක් වන අතර ඔහු චිත්‍රපටයේ මුල් අදියරවල පටන් අවසානය දක්වාම එහි කටයුතුවලට සම්බන්ධව සිටි බව සඳහන් වේ. ‘මෙය සෙන්ගනි නැමැති කාන්තාවගේ ඛේදවාචකය ගැන කියන චිත්‍රපටයක් පමණක් නොවේ. ඉරුලා වැනි ගෝත්‍රවලට අයත් ජනතාවට විඳින්නට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳ පුළුල් චිත්‍රය වෙත ආලෝකයක් විහිදුවන නිර්මාණයක් ද වේ’ යයි ඔහු වරක් ප්‍රකාශ කර තිබිණි.
මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ චිත්‍රපටය ද ‘ජායි භිම්’ ය.
නිහාල් පීරිස්