දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් නීති විරෝධී ව සමාගම්වලට බදු දීමට එරෙහි ව තවම පරීක්ෂණයක් සිදු කර නොමැත – සජීව චාමිකර

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට නීති විරෝධී ව බදු දීම පිළිබඳ ව පසුගිය දිනවල අප විසින් අනාවරණය කළෙමු. ඊට පිළිතුරු වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ MWFC/1/2020 චක්‍රලේඛය මත පදනම් ව මේ ඉඩම් සමාගම්වලට බදු දීම සිදු කළ බව ය. ඒ අනුව පෙනී යන්නේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ බවට ඔවුන් විසින් පිළිගෙන ඇති බව ය. මෙම චක්‍රලේඛයට අනුව අලි – ඇතුන් ගේ නිජබිම් හෝ වනාන්තර හෝ යෝජිත රක්ෂිත ප්‍රදේශ බදු දීමේ කිසිදු හැකියාවක් නැත. 2020.11.04 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණයේ ගොණු කළ අංක CAWRT/436/20 දරන රිට් නඩුකරයට අනුව ද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මත කිරීම අත්හිටුවා ඇත. එසේ තිබිය දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව මෙම වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ ජාවාරම සිදු කර ඇත.

නීති විරෝධී චක්‍රලේඛය ද උල්ලංඝනය කිරීම

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර විසින් නිකුත් කළ නමුත් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලද 2020.11.04 දින අංක MWFC /1/2020 දරන රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සඳහා වන චක්‍රලේකයේ සඳහන් වන්නේ ද ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේ දී වන අලි සංක්‍රමණික භූමි, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි ප්‍රදේශ, වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු භූමි ප්‍රදේශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව සඳහන් වේ.
එපමණක් නොව මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක විසින් 2021.08.06 වන දින අංක 2/2021 දරන රජයේ ඉඩම් මැන වෙන් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සඳහන් වන්නේ 2020.11.04 දින අංක MWFC/1/2020 දරන චක්‍රලේඛය අනුව ප්‍රාදේශීය ලේකම් සතු වන ඉඩම් සියල්ල මැනීම් කර හඳුනාගැනීම සිදු කළ යුතු බව ය. අභියාචනාධිකරණය මගින් ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවල ද රජයේ වනාන්තර ඉඩම් බදු දීමේ ක්‍රියාවලියක් පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවලට අනුව දෙමලිය – වන්දම ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 5500 ක් බුත්තල ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දී තිබේ. ඒ අනුව තහවුරු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව දෙමලිය – වන්දම – කුඩාඔය වනාන්තර ඉඩම් ජාවාරම සිදු කර ඇති බව ය.

වනාන්තර ඉඩම් ජාවාරමේ අහිතකර ප්‍රතිඵල

මෙම ඉඩම් ජාවාරම හේතුවෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය හා අලි – ඇතුන් 120 ක් පමණ නිජබිම් කර ගෙන දිවි ගෙවන මෙම වනාන්තර ප්‍රදේශය එම සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. එපමණක් නොව හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. බදු දී ඇති වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම මේ සියල්ල සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී විනාශ කර තිබේ.

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.
වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.
මෙවන් වූ නීතිමය තත්ත්වයන් ගණනාවකට යටත් වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. නිලධාරීන් හා දේශපාලඥයන් විසින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.

පරිසර හා පුරාවස්තු අණ පනත් උල්ලංඝනය කිරීම

සමාගම් විසින් හා ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේ ද නීති විරෝධී ලෙස ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්‍රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහි ව පුරාවස්තු ආඥා පනත ක්‍රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම

බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්‍රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි.

මේ සියලූ ම නීති මගින් උත්සාහ දරන්නේ රටේ ජනතාව ගේ හා සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය හා අනාගත පැවැත්ම තහවුරු කිරීම ය. එපමණක් නොව කෘෂි කර්මාන්තයේ නිරත සුළු පරිමාණ ගොවීන් ගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව තහවුරු කර රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම ය. ඒ සඳහා ජල පෝෂක වනාන්තර හා වන සතුන් ගේ වාසස්ථානවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු වේ. එම සියලු තත්ත්වයන් ගොඩනැගීමට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිත කළ යුතු ය. එවැනි ක්‍රියාවලියක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැබෑ උත්සාහයක් දරන්නේ නම් කළ යුතු ව ඇත්තේ මේ ආකාරයෙන් නීති විරෝධී ව බදු දී ඇති රජයේ වනාන්තර සියල්ල නැවත අත්පත් කර ගෙන, අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි ඉදි කර ඇති සියලු විදුලි වැටවල් ඉවත් කර, එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කර නැවත වනාන්තර ප්‍රතිස්ථාපනය වීමට ඉඩ සැලැස්වීම ය. එපමණක් නොව එම රජයේ වනාන්තර සියල්ල කඩිනමින් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීම කළ යුතු ය. ඒ අතරතුර පසුගිය කාල සීමාවේ දී සිදු කළ සියලූ ම නීති විරෝධී ක්‍රියා අනාවරණය කර ගැනීමට විගණන විමසුම් ද සිදු කළ යුතු වේ. ඒ අනුව වැරදි කළ සියලූ ම නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා වන තීන්දු තීරණ ගැනීම වත්මන් රජය විසින් කඩිනමින් කළ යුතු ව ඇත. නමුත් ඒ වෙනුවට වගා හානි කරන වන සතුන් පිළිබඳ ව සංගණනය කිරීමට ප්‍රමුඛතාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ගැටළු ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාදක පිළිබඳ ව වත්මන් ආණ්ඩුව තව ම නිවැරදි ව අවබෝධ කර ගෙන නොමැති බව ය. මේ නිසා වන සතුන් ගේ වාසස්ථාන විනාශය හා වාසස්ථාන ඛණ්ඩනය කිරීම අලි – මිනිස් ගැටුම හා වන සතුන් ගෙන් වන වගා හානි වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු සාධකය බව අද හෝ වත්මන් ආණ්ඩුව අවබෝධ කර ගෙන ඒ සඳහා විසඳුම් සෙවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අපි අවධාරණය කරමු.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

හරිත දනව්ව