ළමා නළුවකු ලෙස 1984 වසරේ සිනමාවට එක් වූ ජනප්‍රිය දෙමළ නළු විජේ දශක හතරකට පසු සිය රංගන දිවියට සමු දීමට සූදානම් වෙයි. ඔහුගේ රසික රසිකාවියන්ට තම වීරයා සිනමා තිරය මත දකින්නට ලැබෙන්නේ තව එක චිත්‍රපටයකින් පමණි.
විජේගේ මෙම අවසන් චිත්‍රපටය පිලිබඳව පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබෙනු දැකිය හැකි විය. එයට හේතු වූයේ මෙම සිනමාපටයේ නම පළමු වරට ප්‍රසිද්ධියට පත් කිරීමයි.
මෙම සුවිශේෂී චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ යි. නමුත් එයට නිශ්චිත වශයෙන් නමක් තබා තිබුණේ නැත. ” තලපති 69″ යනුවෙන් එය තාවකාලිකව නම් කර තිබිණි. ඒ මෙම චිත්‍රපටය විජේ ප්‍රධාන චරිතයක් රඟපාන 69 වැනි සිනමාපටය වූ හෙයිනි.
කෙසේ හෝ වේවා, චිත්‍රපටයේ නිල නාමය පසුගිය 26 වැනි දින පළමු වරට නිවේදනය කරනු ලැබිණි. නිශ්පාදකයන් එය නම් කර ඇත්තේ “ජන නායගන්” යනුවෙනි. එහි අදහස ජනතාවගේ නායකයා යන්න යි.
විජේ සිනමා රංගනයෙන් සමුගන්නට යන්නේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නියැලීම සඳහා ය. ඔහුගේ අවසන් චිත්‍රපටයේ නම ද එම දේශපාලන ගමන සමග සමපාත වන්නක් බව පෙනේ.
“ජන නායගන්” චිත්‍රපටය දේශපාලන තේමාවක් රැගත්, බොහෝ නාටකීය සිදුවීම්වලින් ගහණ නිර්මාණයක් බව ඒ පිලිබඳ පළවෙන මාධ්‍ය වාර්තාවල දැක්වේ. නමුත් එහි කතා පුවත ගැන තවමත් වැඩි විස්තරයක් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව නැත.
මෙහි විජේට අමතරව පූජා හෙග්ද්, බොබි ඩියොල් වැනි ජනප්‍රිය නළු නිළියෝ ද රඟපාති.
චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වනවිටත් සිදුවෙමින් පවතින බව සඳහන් වේ. නිශ්පාදකයින් බලාපොරොත්තු වන්නේ එම කටයුතු ලබන මැයි මාසය වනවිට අවසන් කිරීමටය. එම කටයුතු නිම වූ විගස විජේ ඔහුගේ දේශපාලන ප්රචාරක කටයුතු ආරම්භ කරනු ඇති බව සඳහන් වේ.
ලබන වසරේ අප්‍රේල් මාසයේ පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. විජේ ගේ දේශපාලන පක්ෂය වන තමිලග වේට්රි කසාගම් නැමැති පක්ෂය ද තමිල්නාඩු මැතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇත. විජේ ද එහිදී තරග කරනු ඇති බව සඳහන් වේ.
වංචා දූෂණවලට එරෙහිව සහ ජනතාව ජාති කුල ආගම් වශයෙන් බෙදා වෙන් කරන දේශපාලනයට එරෙහිව තමා සටන් කරන බව විජේ පවසයි.
ජන නායගන් චිත්‍රපටයේ නම ප්‍රකාශයට පත් කළ දිනයේම එහි පෝස්ටර දෙකක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. වාහනයක් මත නැගුණු විජේ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා ආකාරයත්, අති විශාල ජනතාවක් වාහනය අසල රැස්ව සිටින ආකාරයත් එක් පෝස්ටරයක දැක ගත හැකියි. විජේ දිගු කසයක් අතින් ගෙන සිටින ආකාරය අනෙක් පෝස්ටරයේ දැක් වේ.
“ජන නායගන්” තිරගත කිරීමට යොදා ගෙන තිබුණේ ලබන ඔක්තෝබර් මාසයේ යි. නමුත් දැන් එය කල් දමා තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ලබන වසරේ මුල් භාගයේ එය තිරගත කෙරෙනු ඇති බව යි. බොහෝ විට එය තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට පෙර තිරගත කෙරෙනු ඇති බවට ද අදහස් පළ වේ. එසේ වුවහොත් එය විජේ ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට ද තල්ලුවක් ලබා දෙනු ඇත.
මෙතෙක් ප්‍රේක්ෂකයන් හමුවට ආ විජේ ගේ අවසන් චිත්‍රපටය The Greatest of All Time චිත්‍රපටය යි. එය තිරගත කෙරුණේ පසුගිය වසරේ ය. The Greatest of All Time අතිශයින් සාර්ථක ලෙස ප්‍රදර්ශනය කෙරුණු අතර 2024 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපටය ලෙස වාර්තාවක් ද පිහිටුවන්නට සමත් විය. සංඛ්‍යාලේඛනවල දැක්වෙන ආකාරයට එය ලොව පුරා ප්රදර්ශණයෙන් ඉන්දීය රුපියල් කෝටි 450 ක පමණ මුදලක් උපයා තිබේ. එය ලංකා රුපියල් කෝටි 1,500 කට ආසන්න ආදායමකි.
“ජන නායගන්” විජේ ගේ අවසන් චිත්‍රපටය වනු ඇතැයි පැවසෙන නිසා එය නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් දැඩි උනන්දුවක් දක්වනු නිසැක ය. ඒ නිසා එය ද ආදායම් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශණය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ වනවිට 50 වැනි වියෙහි පසුවන විජේ පසුගිය දශක කිහිපය තුළ රිදී තිරය මත පෑ දස්කම් දේශපාලන පොර පිටියේ ද දැක්වීමට සමත් වේවි ද? එය දැන් බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයකි. දෙමළ සිනමාවෙන් ගමන් අරඹා පසුව දේශපාලන ක්ෂේත්රයට එක් වූ එම්. ජී. රාමචන්ද්‍රන් (එම්ජීආර්), ජයලිලිතා වැනි නායක නායිකාවන්ට එම ක්ෂේත්රය ද ජයගන්නට හැකි විය. විජේටත් එම දස්කම කරන්නට හැකියාව ලැබේවි ද?
නිහාල් පීරිස්