“සිංහල සිනමාවේ කාන්තා සළකුණ ලෙස සැලකෙන අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් ගේ සුවිශිෂ්ට කලා ජීවිතයේ නොයෙකුත් පැතිකඩ පිළිබඳව මේ දිනවල කතා බහ කෙරේ.ඒ අතරේ අප රටේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී චරිතයක්,ප්‍රවීණ සංගීතඥයකු මෙන්ම නවකතා සහ ගත් කතු වරයකු සේම පුවත් පත් කලාවේදියකු වශයෙන් දශක පහක අත්දැකීම් වලින් සුපෝෂිත මෙල්රෝයි ධර්මරත්නයන් සුමිත්‍රා පීරිස් සම්බන්ධයෙන් කරන අතීත මතකාවර්ජනයක් අපි මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු” **************************************************************
මා මේ කතා කරන්න යන්නේ අපෙන් සමුගත් සුමිත්‍රාවන්ගේ සිනමා භාවිතය හෝ නිර්මාණ පිළිබඳව නොව. ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඕනෑ තරම් සුදුස්සන් සිටින්නට පුළුවන.
මට වරක් දෙවරක් වුවද මුණ ගැසුණ සහ මා ඇයගේ සමීපතමයන්ගෙන් දැන හඳුණා ගත් සුමිත්‍රාව මට සුවිශේෂය. මට ඇය ප්‍රථම වරට මුණ ගැසුණේ “ගඟ අද්දර ” චිත්‍රපටය ඇය නිම කොට තවත් සිනමා පටයක් නිර්මාණය කිරිමට සුදානම් වෙමින් සිටි වකවානුවකදී ය.
සිය නව චිත්‍රපටය සඳහා ඇය නවක නිළියක සොයමින් සිට්න බව මට කීවේ එවකට “සිත්සර” සිනමා පුවත් පතෙහි ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළ ප්‍රවීන සිනමා සංස්කාරක ආතර් යූ. අමරසේන මහතා ය. ඊට මඟ පෑදුණ අවස්ථාවද මතක් කිරීම වටියි.
මා හොඳින් දන්නා හඳුණන…සුරූපී …රඟපෑම් කුසලාතාවයකින්ද හෙබි තරුණියකට සිනමා නිළියක වීමේ වරම් ලබා දීමට කලෙක තිස්සේ මා තුළ උවමනාවක් විය. නමුත් ඇය හදිස්සියේම විවාහ වු බැවින් එය නිෂ්ඵල වන ලකුණු පහළ විය. සිය අලුත් බිරිඳගේ හැකියාව සහ අපේක්ෂාවන්ට ඉඩ දීමට ඇගේ ස්වාමියා එකඟ වූයේ ඇය හොඳ චිත්‍රපටයක රඟපෑම ගැන සිය අකැමැත්තක් නැති බව පවසමිනි.
ඇගේ නාමයත් සුමිත්‍රා විය. ආතර් යූ අමර්සේන මහතා මවිසින් පෙන්වන් ලද ඇගේ ජායාරූප කිහිපයක් දැකීමෙන් පසු අගේ රූපශ්‍රීය ගැන පැහැදී ඒ දිනවල යසපාලිත නානායක්කාර මහතා නිපදවීමට සූදානමින් සිටි චිත්‍රපටයකට නවක නිළියක සොයමින් සිටින බැවින් ඇය තමාට නිර්දේශ කළ හැකි බව පැවසීය. නමුත් අවාසනාවකට මෙන් ඇගේ සැමියා එය වාණිජ චිත්‍රපටයක් බැවින් ඊට එකඟතාවක් නොදැක්වීය.
” සුමිත්‍රා පීරිස් ..එයාගෙ අලුත් film එකට අලුත් නිළියක් හොයනවා.කැමැති නං වචනයක් දාන්නම්” අමරසේන මහතා එවිට මට කීය.
ඊළඟ සතියේ මම ඇගේ සැමියාගෙ අවසරය හා අනුමැතිය ඇතිව මෙම ‘ සුමිත්‍රා’ නම් තරුණිය කැටුව බම්බලපිටියේ ඩික්මන් පාරේ පිහිටි ජේෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැති තුමා පදිංචිව සිටි නිවෙසට ගියෙමි.
මා ප්‍රථම වරට සුමිත්‍රා පීරිස් මහත්මිය සමග මුහුණට් මුහුණලා කතා කළේ එදිනය. මාගෙ සිතෙහි ඇයගේ ප්‍රතිරූපය ඇඳී සටහන් වී තිබුණු අයුරින් මා බලාපොරොත්තු වූයේ ඉතා මහේශාක්‍ය ලීලාවෙන්…ගාම්භීරත්වකින් යුතුව…දිවි ගෙවන ඉහළ පැළැන්තියට සීමා වූ හැසිරීම් රටාවට හුරු කාන්තාවක ලෙසය.
නමුත් මට මුණ ගැසුණ සුමිත්‍රා සිනමාවේදිනිය ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයකි. ඇය මා හා තම පළමුවන වචනය පවා කතා කළේ බොහෝ කලක් තිස්සේ මා දන්නා හඳුණන ඉතාම සමීපස්ථ මිතුරියක විලසිනි.
” සුමිත්‍රා…මෙන්න..මිස්ට අමරසේන ගැහැණු ළමයෙක් එවලා මෙල්රෝයි එක්ක…ඔයාගෙ film එකට ” යනුවෙන් ලෙස්ටර් මැති තුමා ගෙතුළට කර පොවා හඬ නැඟීමෙන් පසු සුමිත්‍රා මා ඉදිරියේ පෙනී සිටියා ය.
මා දෙසත්..මා සමග සිටි තරුණිය දෙසත් හොඳින් බලා සුමිත්‍රා මහත්මිය ඉතා සුහද මිත්‍රශීලී ලෙස සිනා සුණාය.
” මේ…මෙල්රෝයි.” ලෙස්ටර් මහතා මා ඇයට හඳුන්වා දුන්නේය.
ඇගේ මුහුණේ මිත්‍රශීලී සිනහව යළිත් ඇඳී ගියේය. එය කිසිසේත් කaතිමව කළ සිනා රංගනයක් නොවේ. සුමිත්‍රා සහ ලෙස්ටර් යන දෙදෙනා තරම් අවංකව සිනමා ක්ෂේත්රයේ ඕනෑම මට්ටමක අය සමග ගැවසුණ සිනමාවේදීන් දෙදෙනකු මට කිසි විටෙක මුණ ගැසී නැත.
” අයියෝ..හරි වැඩේනෙ. මං මිස්ට අමරසේනට මේ ගැන කියලා ටිකක් කල්නෙ.” සුම්ත්‍රා පසුතැවිලි විලාශයකින් කීවාය.
” මම ඒ කැරැක්ටර් එකට ගෑණු ළමයෙක් තෝර ගත්තානෙ. හෙට අනිද්දාට ෂූට්නුත් පටන් ගන්නවා.. අනේ සොරි මෙල්රෝයි..සොරි” සුමිත්‍රා දෙවරක්ම මගෙන් සමාව ඉල්ලුවේ මහා වරදක් කළ විලසිනි.
අප දෙදෙනාගේ මුහුණුවල කළකිරීමේ සළකුණු දැක ඇයද මඳක් කණගාටු වූ බව පැහැදිළිවම පෙනිණ.
“Ahha….Lester , I just remembered. May be you could use her in your new film. You were seaching for a new girl..” (අනේ!….ලෙස්ටර් මට දැනුයි මතක් වුණේ. සමහර විට ඔබට ඇයව ඔබේ අලුත් චිත්‍රපටයට යොදා ගන්න පුළුවන්. ඔබත් අලුත් ගැහැණු ළමයෙකු සොයමින් සිටියනේ) එක්වරම ඈ ලෙස්ටර් අමතා කීවාය.
” Oh my God..yes. I nearly forgot.” (දෙයියනේ මට අමතක වෙන්නමනෙ ගියේ) නළල පිරි මැදි ඔහු මා වෙත හැරී…” මෙල්රෝයි ..ප්‍රශ්ණයක් නැහැ. මමත් මගේ අලුත් film එකට අලුත් girl කෙනෙක් හොයමින් හිටියේ. මෙයාව ගන්න බලමු” යි කීය.
ඉන්පසුව අපි හෝරා කිහිපයක්ම ඔවුන් දෙදෙනා සමග සාමිචියේ යෙදී සිටියෙමු. සුමිත්රාගෙ නිහතමානී හා මිත්‍රශීලී හදවත පෙරටත් වඩා විවaත වූයේ එහිදි ය.
සුමිත්‍රා අපේ සිනමා ක්ෂෙත්රයේ බොහෝ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට, කාර්මික ශිල්පීන් ශිල්පිනියන්ට පමණක් නොව බොහෝ ආධුනික අංකුර සිනමා කරුවන්ට ද අත හිත දුන්…පුහුණුව දුන්…නිවැරදි මාවත කියා දුන් සිනමා ගුරුවරියක ලෙසද අප සිනමාව තුළ ප්‍රකට ය. ඇය බොහෝ විටෙක තමන්ට මවක වූ බව ඇතැම් අය කියති. අපේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් පීරිස් මහතාට ආදරණීය භාර්යයාවක වෙමින් ඉවසීමේ ජීවිත කාලයක් ඈ ගත කළා පමණක් නොව ඔහු සතුව පැවැති සිනමා දැනුම… අත්දැකීම් …විවිධ ශිල්පීය ක්‍රම ද සිනමාව හදාරන බොහෝ ආධුනික සිනමාකරු වන් වෙත බෙදා දීමේ භාරදූර කටයුත්තද නොපිරිහෙලා ඉටු කළාය.
සුමිත්‍රාගේ සිනමාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අදත් කතා කරයි. මෙරට අනාගත පරපුර ඇගේ සිනමාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් කරනු නොඅනුමානය. මට අවශ්‍ය වූයේ සුමිත්‍රා යනු කවුරුන්දැයි සැකෙවින් ඔබට හඳුන්වා දීමට ය. කිසියම් කලාකරුවකු හෝ කලාකාරිනියක සැබැවින්ම තම ජනතාවාදී බව රටට ලෝකයට පළ කළ යුත්තේ හුදෙක් ඔහුගේ හෝ ඇයගේ විශිෂ්ට නිර්මාණයන්ගෙන් පමණක් නොවේය යනු මා තරයේ අදහන කරුණකි. ඔහුගේ හෝ ඇයගේ ජීවිතයද ඊට සාක්ෂි සැපයිය යුතුය.
මෙල්රෝයි ධර්මරත්න