දෙවැනි එලිසබෙත් රුජිණියගේ අවසන් දිනයේ විශේෂ සිදුවීම්

සිය 96 වන වයස් සම්පූර්ණ කරමින් සිටි එක්සත් රාජධානියේ දෙවැනි එලිසබෙත් රැජිණ පසුගිය 9 වැනිදා සිය ජීවිතයේ අවසානය සනිටුහන් කළාය. එදා සිට මේ දක්වා ඇයගේ දේහයට බුහුමන් දැක්වීම සදහා සංවිධානය කර ඇති අවමංගල්‍ය උත්සවයේ දී සිදුවුණු විවිධාකාර සිදුවීම් පිළිබද විවිධ වෙබ් අඩෙවිවල වාර්තා වී තිබේ.

ක්ලාන්ත වූ සොල්දාදුවා

චාරිත්‍රානුකූල නිල ඇදුමින් සැරසී මිනි පෙට්ටිය අසළ රැකවලෙහි නිරතව සිටි සොල්දාදුවෙකු ක්ලාන්ත වී ඇද වැටුණු අවස්ථාවක් පිළිබදව ද එසේ වාර්තා වී තිබේ. ඔහු ක්ෂණිකවම ඇද වැටෙන අතර ඔහුගේ උපකාරයට පැමිණි සෙබලුන් කීප දෙනෙකු ඔහු ඔසවාගෙන යෑමට උත්සාහා කරන විට තනිවම නැගී සිටින මෙකී සෙබලා නැවත වරක් සීරුවෙන් හිට ගනිමින් රැකවලෙහි නිරත වේ. නමුත් තත්පර කීපයකට පසු ඔහු නැවතත් ඇද වැටෙන්නට ගිය විට සොල්දාදුවන් දෙදෙනෙකු පැමිණ ඔහු වත්තන් කරගෙන යන ආකාරය එහි වීඩියෝගත වී තිබිණි.

ධජය ඔසවා අත් අඩංගුවට පත්වීම

මේ අතර රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු එක්වරම පෝලිමෙන් පිටතට විත් රැජින වැතිර සිටින මිනි පෙට්ටිය වෙත දිව ගොස් මිනි පෙට්ටිය වසා ඇති බිතාන්‍ය රජයේ ධජය ඉහළට ඔසවා කලබලයක් ඇති කිරීමට උත්සාහා ගත් ආකාරය පිලිබදවත්, ඉන් පසු එම ස්ථානයට පැමිණි රාජකීය සොල්දාදුවන් විසින් ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබදවත් විවිධ වෙබ් අඩෙවිවල වාර්තා වී තිබේ.

අවසන් ගෞරව පෝලිමේ ආදර කතාව

රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා දින හතරක් මහජනතාවට අවස්ථාව ලබා දී තිබිණි. මේ කාලය තුළ බොහෝ අයට පැය 24 කට වඩා වැඩි කාලයක් පෝලිමේ සිටීමට පවා සිදුවිය. මේ ආකාරයෙන් පෝලිමේ සිටින අතර අලුත් මිතුරන් හදුනා ගැනීමට පමණක් නොව ආදරවන්තයන් බවට පත් වීමට පවා ඉඩකඩ ලැබිණි. එසේ ආදර සම්බන්ධතාවක් ආරම්භ කළ දෙදෙනෙකු වන්නේ ජැක් සහ සුයි ය. ඔවුන් දෙදෙනා පවසන ආකාරයට පුරා පැය 24 කට වැඩි කාලයක් පෝලිමේ එක ළග සිට කතාබහ කරමින් දැන හදුනාගත් පසු රැජිනට බුහුමන් දක්වන මොහොත වනවිට ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කිරීමට පටන් ගෙන තිබූ බවයි.

හැරී කුමරුගෙන් තුන්වන චාල්ස් රජු කළ ඉල්ලීම

රැජිනගේ අවසන් බුහුමන් උත්සවය සදහා රැජිනගේ දරු මුනුබුරන්  8 දෙනෙකු රාජකීය හමුදා ඇදුමින් සැරසී දේහය පිළි ගැනීමේ සම්ප්‍රදායක් තිබේ. නමුත් මේ අවස්ථාවට සහභාගි වන්නට හැරී කුමරුන්ට අවස්ථාවක් නැත. මන්ද යත් ඔහු සම්පූර්ණයෙන්ම රාජකීයත්වයෙන් ඉවත් වීම මේ වනවිට සිදුවී අවසන් නිසායි. නමුත් මෙම අවස්ථාවේ හමුදා ඇදුමින් සැරසී තම මිත්තනියගේ දේහය බාර ගැනීමේ අවස්ථාවට අනිකුත් රාජකීයයන් සමග සහභාගි වන මෙන් තුන්වන චාල්ස් රජු සිය පුතුගෙන් ඉල්ලා සිට ඇති බවත්, අවසානයේ ඔහු එයට ප්‍රතිචාර දක්වමින් තම පදක්කම් පමණක් පැළද එම අවස්ථාවට සහභාගි වන්නටත් තීරණය කර තිබේ.

පොදු වාහන භාවිතය තහනම්

රැජිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙන රාජ්‍ය නායකයින් පෞද්ගලික ගුවන් යානා භාවිත කළ යුතු බවටත් හීතෘ ගුවන්තොටුපළේ සිට මාළිගය දක්වා තමන් විසින්ම ප්‍රවාහන පමසුකම් සළසා ගත යුතු බවටත් එක්සත් රාජධානි රජය විසින් නිවේදනයක් නිකතු කර තිබේ. පොදු ගුවන්යානා නතර කිරීම සදහා හීතෘ ගුවන් තොටුපලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සළසා දී නොතිබීම මීට හේතුවයි.

ඥාතී පෙරහර සදහා අවස්ථාව නැත

දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රාජ්‍ය නායකයින් සහභාගි වන්නේ නම් අදාළ රාජ්‍ය නායකයා හෝ නායිකාව සමග පැමිණිය හැකි වන්නේ ඔහුගේ හෝ ඇයගේ සහකරුවාට හෝ සහකාරියට පමණි. එකී රට නියෝජනය කරමින් පැමිණෙන අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට හෝ ඥාතීන්ට මෙම අවස්ථාවට සහභාගි වීමට අවසර නැති බව ද එක්සත් රාජධානිය නිවේදනය කර තිබේ. එයට හේතුව රාජ්‍ය නායකයින් සදහා පනවා ඇත්තේ සීමිත ආසන සංඛ්‍යාවක්, එනම් ආසන 2000 ක් පමණක් වන බැවිනි.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර