ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝ කනස්සල්ලෙන් සාකච්ඡා කරන මාතෘකාවක් තිබේ. එම මාතෘකාවට ශීර්ෂ පාඨයක් එක් කළහොත් එය මෙසේ වනු ඇත. “ඇයි දේශපාලනඥයෝ මේ තරම් බොරු කියන්නේ..?”
මෙම සාකච්ඡාව මතු වූ ඇතැම් අවස්ථාවල දී එක පතේ කෑ උන් ඔලු පලා ගත්හ. මිනිමරා ගත්හ. තමන්ගේ පක්ෂයේ අසවල් දේශපාලනඥයා හෝ දේශපාලනඥයන් බොරුකාරයන් යැයි විරුද්ධ මත දරන්නා පළ කරන මතය පිළිගන්නට බොහෝ දෙනා කැමැති නැත. මොන තරම් බොරු කිව්වත් ජන්දය දී පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ ප්‍රාදේශීය සභාවලට පත්කර යවන්නේ ද බොරුකාරයන්ව යැයි ජනතාවම චෝදනා කරති.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මෙම තත්ත්වය සිය රටට පමණක් උදා වී තිබෙන “සෙනසුරු මහ දශාවක්” හැටියට කල්පනා කරන බවක් පෙනේ. නමුත් සැබෑව එය නොවේ. මුළු ලෝකයේම සියයට 75කට වඩා දේශපාලනඥයෝ පට්ටපල් බොරු කියා ජනතාව ගොනාට අන්දවති. සොරකම් කරති.
නීති විරෝධි ජාවාරම්වලින් ඩොලර් බිලියන් ගණන් උපයති. මත් ද්‍රව්‍ය ජාවාරමේ හා මිනිස් ජාවාරමේ යෙදෙති.
2016 වසරේ දී එක්සත් ජනපදවාසී ජන්දදායකයින් මුහුණ දුන්නේ උභතෝකෝටික ගැටළුවකට ය. එනම් සියයට 75ක් නිවැරැදි මැතිවරණ ප්‍රකාශ සිදුකරන ජනාධිපති අපේක්ෂකයෙක් සහ සියයට 70ක් බොරු කියන ජනාධිපති අපේක්ෂකයෙක් අතරේ පැවැත්වෙන ජනාධිපතිවරණ සටනකට ය.
මෙම ජන්දයෙන් නිසැකව ‘නිවැරැදි මැතිවරණ ප්‍රකාශන’ සිදුකරන අපේක්ෂකයා ජයග්‍රණය කරනු ඇතැයි ඇමරිකානුවෝ විශ්වාසය පළ කළහ. නමුත් ජන්දය ගණන් කිරීමෙන් පසු ජයග්‍රණය හිමි වූයේ ජනතාවට බොරු කියා ඔවුන් ගොනාට ඇන්ද වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
‘ලෝකෙට ලොක්කා’ යැයි පාරම්බාන ඇමරිකානුවන්ගේ මානසික තත්ත්වය මෙබඳු නම් බෝංචි ඇටයක් තරම් වන අපේ රටේ ජීවත් වන මිනිසුන්ගේ මානසිකත්වය ජන්දයක් අවස්ථාවක දී දෝලනය වන ආකාරය කෙසේදැයි කාට නම් අනාවැක කිව හැකිද?
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ අනුමත කිරීම් ජනතාව අතරේ පිලිගැණුනේ වසර දෙකක් වැනි සුළු කාලයකි. ඔහුට ජන්දය දුන් ජනතාව අතරේ පැවැති විශ්වාසය දවසින් දවස බිඳ වැටෙද්දී ත් ට්‍රම්ප් ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වූයේ බලයට පත්වන බොහෝ නායකයන්ට වැළඳෙන ස්වභාවික ’උඩඟු’ උණ වෛරසයට ඔහු ද ගොදුරු වූ බැවින් ය.
මෙය කෙසේ විය හැකිද? ප්රජාතන්ත්රවාදය සහ ජනතා ආනුභාව පිළිබඳ සාඩම්බර ඉතිහාසයක් ඇති සමාජවල බොරු කතිකාකරුවන් එම රටේ නායකත්වයට පත්වෙති. නැතිනම් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනවලට පත්කොට යවති.
මිනිසුන් අසත්‍ය කෙරෙහි සංවේදි නොවී සත්‍ය පිළිබඳ හැඟීමක් නොමැතිව බොරුකාරයන් වරින්වර පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනවලට පත්කොට යැවීමට හේතුව කුමක් විය හැකිද? පිළිතුර සරලය.
එනම්, දේශපාලනඥයන් බොරුකාරයන් බව ඇස් ඉදිරිපිට දකින්නට ලැබුණත් එම බොරුව හා බොරුකාරයන් ඉවසා සිටින්නට ජනතාව පුරුදු වී සිටීමයි. බොරුකාර ජන්ද අපේක්ෂකයාට විරුද්ධව නොගොස් ඔහුගේ බොරුව ඉවසමින් යළිත් ඔහු බලයට ගෙන එන්නට ලොව කොතැනත් ජන්දදායකයෝ නොපසුබට වෙති.
දේශපාලනයේ දී මිනිසුන් සත්‍ය හා අවංකභාවය මුළුමනින්ම අත්හැර දමා කටයුතු කරති.
තමන් විසින් ජනතාව හමුවේ පවසන්නේ පට්ටපල් බොරු බව දේශපානඥයෝ නොදන්නවා නොවේ. එය මොස්තරයකි. එසේත් නැතිනම් ‘කැටයමකි’. මෙම කැටයම නොමැතිව ජනතා ආකර්ෂණය දිනාගත නොහැකි බව දේශපාලනඥයෝ දනිති.
තමන් කියන බොරුවලට සවන් දෙමින් ඉදිරිපිට සිටින ජනතාව නගන අත්පුඩි හා විසිල් හඬ දේශපාලනඥයාට ආශීර්වාදයකි. එය තණ බිමක සිටින ගොපලු කොලුවකු නගන බටනලා නාදයට මීහරක් රැළක් තප්පුලන ජවනිකාවක් හා සමාන ය.
දේශපාලනඥයින් බොරු කියන්නේ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙනත් මගක් නැති බැවින් ය. ඇත්ත කතා කරන්නට ගියහොත් තමන්ගේ “බෙල්ලත් නැතිවන” බව ඔවූහු දනිති. අනෙක් කාරණාව වන්නේ ඇත්ත දැන ගැනීමට තමන්ගේ පාක්ෂිකයන් තුළ තිබෙන නොසතුට යි.
තමන්ගේ බොරුව වෙනුවෙන් දිවි දෙන්නට හෝ අනෙකාගේ දිවි උදුරා ගන්නට හෝ සූදානම් මිනිසුන් පිරී සිටින රටවල නායකයින් එම බොරු තවතවත් රටපුරා වපුරන්නට යොදා ගනු ලබන්නේ වෙළෙඳ දැන්වීම් ය. නැතිනම් පෝස්ටර් ය.
වෙළෙඳ දැන්වීම්වලට හා පෝස්ටර්, කටවුට් ආදියට මිලියන ගණන්වලින් මුදල් වියදම් කිරීමෙන් ඕනෑම තක්කඩියෙකුට පාර්ලිමේන්තුව හෝ වෙනත් උත්තරීතර ආයතනයකට පත්විය හැකි ක්‍රමයක් ලොව පුරා නිර්මාණය වී තිබේ.
ඒ වගේම ඕනෑම ශක්ති සම්පන්න පුද්ගලයෙක් හෝ සත්‍යයක් දේශපාලන දැන්වීම් මිථ්‍යාව හරහා සුනුවිසුණු කර දමන්නට තරම් බලයක් ද බොරුකාර දේශපාලනඥයන් සතුව පවතී.
ජනතාවට බොරු කීම සහ බොරුවෙන් දේශපාලන බලය ලබා ගැනීම අපරාධ විද්‍යාවේ දී ‘දේශපාලන අපරාධ හෝ දේශපාලන වරදක්’ වශයෙන් විස්තර කර තිබේ.
අපරාධ විද්‍යාවට අනුව ලොව රටවල දේශපාලනඥයින් විසින් දේශපාලනයේ උවමනාව මත සිදුකරන මෙම ‘අපරාධ’ සාකච්ඡා කිරීම හා හෙළිදරව් කිරීම අපරාධ විද්‍යාඥයින් විසින් හිතාමතා අමතක කර දමා ඇත.
රටක ලැයිස්තුගත අපරාධකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව බොරු කියන දේශපාලනඥයින් කෙරෙහි නොදැක්වීමත් බොරුකාර දේශපාලනඥයින්ට අද ආශීර්වාදයක් වී තිබේ.
අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට