දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවේ-අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කිරීමක් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කතා අසන විට සිහිපත් වන්නේ ඔවුන් සැබෑවටම ආණ්ඩුවේ ඇමතිවරු ද නැතිනම් ඔවුන් යම් හාස්‍යෝත්පාදක නාට්‍යයක හෝ චිත්‍රපටයක සිටින ඇමතිවරුන් ද කියා ය. සමහරුන් තමන්ගේ අමාත්‍යංශ වල සිදුවන දේ දන්නේ නැත.
එහෙත්, අනුන්ගේ අමාත්‍යංශ ගැන පවා කතා කරති. තවත් පිරිසක් අද රටේ තත්වය ගැන ආණ්ඩුවේ කටයුතු ගැන දන්නේම නැත.ඔනවුන් ඒවා අසා දැන ගන්නේ මාධ්‍යවේදීන් ගෙනි. තවත් පිරිසක් දැන දැනත් ජනතාවට “බබා පාට්” දමමින් නොදන්නා සේ කතා කරති.
මේ අතර තවත් පිරිසක් තමන් ජනාධිපති ,අගමැතිටත් වඩා ආණ්ඩු හිතාවාදී යැයි පෙන්වීමට ගොස් ජනප්‍රිය වහරට අනුව කීවොත් “ඇදගෙන නා ගනිති”.එක අතකට එවැනි පිරිසක් සමඟ රට මෙලෙස වත් පැවැතීම ගැන අප සතුටු විය යුතු ය. එවැනි ප්‍රකාශ නිකුත් කරන එක් දේශපාලනඥයකු වන්නේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදුලි අර්බුදය හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමති මණ්ඩලය අවස්ථා කිහිපයක දීම කැඳවීය. එහි අවසන් අවස්ථාව එළඹියේ ඉකුත් අගහරුවාදා ය. එනම් පසුගිය 22 දාය. එදින පැවැති හමුවෙන් පසු පිටතට පැමිණි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කීවේ මින් ඉදිරියට විදුලිය කප්පාදුවකින් තොරව රට ඉදිරියට ගෙන යාමට ඇමති මණ්ඩලයේ දී තීන්දු කළ බවකි.ඒ අනුව 23 දා සිට කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේ ය. ඔහු එය කියා පැය කිහිපයක් ගත වන්නටත් පෙර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ 23 දා පැය හතරක විදුලිය කප්පාදුවකට යාමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවකි.ඒ අනුව රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ ඒ ප්‍රකාශය ඔහුගේ අතේ පුපුරා ගිය”ටොන් පචයක් “ම විය.
ආණ්ඩුව ආරක්ෂා කරන්නයැයි කියමින් ඇමතිවරයා මෙලෙස ගන්නා ක්‍රියා මාර්ග හේතුවෙන් ඇමතිවරුන් පමණක් නොව මුළු මහත් ආණ්ඩුවම උපහාසයට ලක් ව තිබේ. රෝහිත ඇමතිවරයා මෙලෙසම ලකුණු දා ගන්නට ගොස් අනුරාධපුර සල්ගාදු පිටියේදී ද උපහාසයට ලක්විය.ඒ පසුගිය 9 වන දා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති පොදුජන පෙරමුණේ රැළියේදි අගමැති මහින්ද රාජපක්ෂගේ අත ඔසවන්නට යාමට දැරූ අසාර්ථක උත්සාහයේ දී ය.අගමැති වරයාගේ කායික සෞඛ්‍යයේ පසු බෑමක් ඇති බව වෙනම කතාවකි.එහෙත්, ඔහු තම අත ඔසවා ගැනීමට බැරි තරම් තවම දුබල වී නැත.එහි දී ඔහු පමණක් නොව අගමැතිවරයා ද අපහසුතාවයට පත්විය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා වේදිකාවට ගොඩ වී අත් ඔසවා ජනතාවට ආචාර කරද්දී රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අගමැතිවරයාගේ පසු පස සිටි ඔහුගේ අත ඔසවන්නට උත්සාහ කළේය. අගමැතිවරයා එක අතක් පමණක් ඔසවමින් අචාර කරද්දී ඔහුට දෑතම ඔසවා ආචාර කරවන්නට රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාට උවමනා වූවා විය හැකිය.
නමුත් අගමැතිවරයා ඉක්මණින්ම ඔහුගේ අත ගසා දැමුවේ දැඩි නොරිස්සුම් සහගත බවක් පළ කරමිනි.ඒ අනුව අගමැති වරයා ගේ අතක් සමඟ තම අතක් ඉහළට ඔසවා “අපි දෙන්නම එක වල්ලේ පොල් තමයි”යනුවෙන් ජනතාවට කියා පෑමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන දැරූ බොළඳ උත්සාහය අසාර්ථක වූයේ අගමැති වරයා තුළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගැන කිසිදු තැකීමක් නොමැති බව රටටම කියා දෙමිනි.
එම ලජ්ජා සහගත සිද්ධිය හා සසඳා බලන කළ ඇමති වරයා විදුලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සාමාන්‍ය සිද්ධියකි. ඇමතිවරයා විදුලිය කප්පාදු නොකරන බව කී 22 දා ද පැය දෙකකට වැඩි වේලාවක් විදුලිය කප්පාදු කළේය. විදුලිය කප්පාදු කිරීමට හේතු ලෙස දක්වන්නේ විදුලි බලාගාර ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම ය. මේ වන විට විදුලිබල මණ්ඩලය සතු බලාගාරවලට ජලයත් නැත. ඉන්ධනත් නැත.කෘත්‍රිමව විදුලිය කප්පාදුව පාලනය කිරීමට ගොස් බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස්සේය.
දැන් ජලාශවල ඉතිරිව ඇත්තේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් සහ පානීය ජලය වෙනුවෙන් රඳවා ගෙන සිටින ජල ධාරිතාවයක් පමණකි. ජල විදුලි උත්පාදනය සඳහා ගත් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා මාර්ග හේතුවෙන් ජලාශවල ජලය නිස්කාරණයේ මුහුදට ගලාගෙන ගියේ කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නොමැති ආකාරයට ය.
ජලාශවල ජල මට්ටම මෙලෙස පහත බසිද්දී ඉන්ධන නොමැතිවීමෙන් බලාගාර 4 ක් පමණ විදුලි ජනනයෙන් ඉවත්ව සිටියි බලාගාරවලින් ජාතික විදුලිබල පද්ධතියට එකතුවූ මෙගාවෝට් 500 ත් 800 ත් අතර ප්‍රමාණයක් මේ වන විට විදුලිබල පද්ධතියට එකතු වන්නේ නැත.
විදුලි කප්පාදුවට මූලික හේතුව වී ඇත්තේ එයයි. විදුලිබල මණ්ඩලයේ බලාගාරවලට ඉන්ධන ලබා දෙන්නේ “එදා වේල ටටුවර්ස්” ක්‍රමයකට ය. එම නිසා දින කිහිපයක් ඉන්ධන වලින් බලාගාර ක්‍රියාත්මක වුවහොත් දින කිහිපයක් බලාගාර අක්‍රිය වන්නේ ඉන්ධන නොමැතිවීම නිසා ය. මීට පෙර බලාගාරවල ඉන්ධන සංචිතයක් ගබඩා කර තිබුණ ද අද එවැනි තත්ත්වයක් නැත්තේ ගබඩා කිරීමට අවශ්‍ය තරම් ඉන්ධන තොග බලාගාර වෙත නොලැබීම නිසා ය.
කෙසේ වෙතත් මේ වන විට පැය පහකටත් වඩා කප්පාදු වන විදුලිය ඉදිරියේදී පැය හය හත අට දක්වා ඉහළ යනු ඇත. මින් ඉදිරියට විදුලි බල මණ්ඩලයට ජනතාව වෙත ප්‍රකාශ කිරීමට සිදුවන්නේ විදුලිය කපන වේලාවන් නොව විදුලිය ලබා දෙන වේලාවන් ය. ඉදිරියේ දී මදියි නොකියන්න දිනකට පැය හතරක්ම ජනතාවට විදුලිය ලබා දෙන බවට ජනපති වරයා ජන හමුවක දී කීවොත් අපි ඒ සම්බන්ධයෙන් ද පුදුම නොවෙමු. බ්‍රිතාන්‍ය යුද නිලධාරියකු ව සිට පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවියට පත් ව්‍යක්ත දේශකයකු වූ වින්සන්ට් චර්චිල් වරක් කීයේ බොරු කාරයෙකු නොවන කෙනෙකුට සාර්ථක දේශපාලනඥයකු වීමට නොහැකි බව ය.
නමුත්,ඔහු ඒ සමඟම කියා සිටියේ ඔහුගේ ඒ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඒ බොරුව වව ජනතාවගේ යහපත සඳහා යොදා ගන්නා තෙක් පමණක් බව ය.ඒ අනුව දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවන බවත් සෑම බොරුකාර දේශපාලනඥයකුම ඉතිහාසයේ කුණු බක්කියෙනුත් ඔබ්බටම විසි වන බවටත් ඉහත සිදුවීම් දෙක මුල් කොට අපි අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කරමු .
ලසන්ත වීරකුලසූරිය