දේශපාලන අරගල වලට මුල පුරන්නේ පෙළ දහම උගත් භික්ෂුන් නොවේ – සී.වී විග්නේෂ්වරන්ට කදුරුපොකුණේ සුමංගල හිමියන්ගෙන් පිළිතුරක්

සිංහල සහ පාලි පමණක් දැන හිඳින බෞද්ධ භික්ෂුන් හට වර්තමාන ලෝකය සහ සමාජය සම්බන්ධ නිසි දැනුමක් අවබෝධයක් නොමැති බවටත් ඔවුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් බිමට පිවිස හිඳිනුයේ එනිසා බවත් තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ නායක සී. වී. විග්නේෂ්වරන් මහතා පසුගිය දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.මෙය අප සමාජයේ බොහෝ පාර්ශවයන්ගේ අවධානයට යොමු විය යුත්තක් මුත් එසේ සිදුව ඇති බවක් පෙනෙන්නට නැත සමකාලීන දේශපාලන අර්බුද විසඳීම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවකට පිවිසීමට භික්ෂුන්ට ශාසනික වශයෙන් අවසර ඇතැයි යන්න ලක් ඉතිහාසය පුරා වරින් වර අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ මතයකි. එක් දහස් නවසිය හතලිහේ දශකයේ දී සමකාලීන දේශපාලනික අවශ්‍යතා මුල්කොට විවිධ කණ්ඩායම් මගින් එය සමාජය තුළ යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලද බව පෙනෙයි.

‘චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දේවමනුස්සානං ඒකේන ද්වේ අගමිත්ථ දේසේථ භික්‍ඛවේ ධම්මං ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං’ මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන ලෙසත් භික්‍ෂූන් වහන්සේ දෙනමක් එක මඟ නොයන ලෙසත් මුල, මැද, අග, අර්ථ සහිත ව්‍යංඤ්ජන සහිත ධර්මය දේශනා කරන ලෙසත් ප්‍රකාශිත බුද්ධ වාක්‍යයේ සඳහන් වනුයේ දම්සක් පැවතුම් සූත්‍රයේ අඩංගු ලොව්තුරු බුදු දහමේ හරය ජනතාවට අවබෝධ කරවීම මිස සමකාලීන සමාජ දේශපාලන අර්බුදවලට මැදිහත් වීමක් නොවේ.නමුත් 1946 වසරේ ජනවාරි මාසයේ එළි දක්වන ලද විද්‍යාලංකාර පිරුවන මඟින් එළි දක්වන ලද විද්‍යාලංකාර ප්‍රකාශනය නම් වන භික්ෂු සම්මුතිය ද සමකාලීන දේශපාලනමය අරමුණු තකා සැබෑ බුදු දහමට ඉඳුරාම පරිබාහිර මතයක් ඉදිරිපත් කොට තිබූ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති.
වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජයෙන් මූලික බුදු දහමේ හරය ඉතා ශීඝ්‍රයෙන් ඉවතට ඇදී යමින් තිබේ. එහෙත්, එම ශාසනික අර්බුදය වෙනුවෙන් ධර්ම විනයානුකූල විසදුම් සෙවීමට උත්සුක වන භික්ෂුන් සොයා ගැනීමට පවා අපහසු තත්වයක් උද්ගත වී ඇත. ඒ අතරේ අප භික්ෂු සමාජයෙන් බහුතරය හුදු වානිජවාදී අරමුණු පෙරදැරි කරගෙන නූතන ජනප්‍රිය බුද්ධාගම ධනෝපායන මාර්ගයක් කරගෙන හිඳින බව රහසක් නොවේ. ඒ හැරුණු කොට තවත් භික්ෂු පිරිසක් යම් යම් දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් නූතන දේශපාලන අර්බුද විසඳීමේ දී ගිහි සමාජයටත් වඩා පෙරට යමින් ක්‍රියාකරනු පෙනේ.

සැබැවින්ම මෙය භික්ෂුවක පැවිද්ද ඉල්ලා සිටීමේ දී තෙවරක් ප්‍රකාශ කළ යුතු “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ, සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාධාය( සියළු දුක් නසා සසර දුකෙන් එතෙරවීම පිණිස මෙම කසා වත භාර ගෙන මට පැවිද්ද ලබා දෙනු මැනවී යන මන සඟරුවන ඉදිරියේ පවසන ආයාචනා වාක්‍යයේ හරය ද මුළුමනින් අතික්‍රමණය කරන්නකි. එවන් තත්වයක් තුළ විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබේ. එහෙත්, ඔහු ඒ සමඟම සිංහල සහ පාලි උගත් භික්ෂුන්ට නිසි සමාජාවබෝධයක් නොමැතිය යන පටු බොළඳ අදහස සිනාමුසු මුහුණින් බැහැර කිරීමට අපට සිදුවේ. භික්ෂුන් පාලි භාෂාව ඉගෙනුම ලබනුයේ ත්‍රිපිටක ධර්මය හෙවත් තෙවලා බුදු දහම ඉගෙනීම පිණිසය. එය පෙළ දහම ලෙස ද හඳුන්වනු ලැබේ.
ත්‍රිපිටක ධර්මය යනු මිනිස් ශිෂ්ටාචාරයේ එදා මෙදා තුර බිහි වී ඇති සුවිශිෂ්ටතම ඥාන විමංසාවක් ( Epistemology ) බව ඒ සම්බන්ධයෙන් හැදෑරීම් කළ පෙර පර දිග මහ පඬිවරුන් ගේ පොදු මතය වී තිබේ.

කිසිදු ජාතියකට ආගමකට ජනවර්ගයක් කෙරෙහි නම්‍යශීලී නොවන රාජ්‍යයේ සමස්ත ජනතාවටම එක සේ සළකා ඔවුන් ගේ සිට රාජ්‍යයේ වන සතුන් ගේ අයිතිවාසිකම් පවා සුරකින ලොව නවීනතම රාජ්‍ය දර්ශනයක් දීඝනිකායේ චක්කුවත්තී සීහනාද ආදී සූත්‍ර ගණනාවක තිබේ. එමෙන්ම රාජ්‍ය පාලකයා ඒ සඳහා අනුගමනය කළ යුතු රාජ ධර්ම හෙවත් දස සක්විති වත් නිසි පරිදි අනුගමනය නොකිරීමෙන් රාජ්‍යයේ පිරිහීම් ළඟා වන බවත් එහි මනාව දැක්වෙන අතර සාධාරණභෝගී පාලන ක්‍රමයක් අනුගමනය නොකරන පාලකයන් වෙතින් රාජ්‍ය බලය ගිලිහී යන අන්දම දීඝනිකායේ කූටදන්ත ආදී සූත්‍ර වලින් මනාව විස්තර කෙරේ. ඒ අනුව පාලි භාෂාවෙන් පරිශීලනය කළ හැකි සූත්‍ර මගින් පැවසෙන බෞද්ධ රාජ්‍ය දර්ශනය මේ වන විට ලෝකයේ දියුණුම සමාජ ආර්ථික ක්‍රමයක් වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා නවීන ලක්ෂණ පළ කරන බව බොහෝ වද්වතුන්ගේ ඒකායන පිළිගැනීමයි.

නමුත් වර්තමාන සමාජ දේශපාලන සටන් බිමේ ක්‍රියාකාරී භූමිකාවන් හි යෙදෙන භික්ෂුන් ගේ ක්‍රියා මාර්ග එම බුදු මඟ හා සම්බන්ධයක් නොමැති අන්‍ය ක්‍රියාකාරකම් වන අතර ඒවා දේශීය භික්ෂුත්වයේ අනන්‍යතා මිස පාලි භාෂාවේ හෝ ත්‍රිපිටක බුදු දහමේ වැරදි නිසා හටගත් විපරීතයන් නොවේ.

භගවත් ගීතාව වැනි හින්දු පූජනීය ග්‍රන්ථවල දාර්ශනික හරය උසස් අධ්‍යාපනයේ සමයාන්තර විෂයන් හැදෑරීමේ දී අපි හදාරා ඇත්තෙමු. එමෙන්ම එම හින්දු දාර්ශනික පසුබිම පිළිබඳ ගැඹුරු හැදෑරීම් කොට ඇති හින්දු ගිහි පැවිදි පිරිස් සමඟ ශාස්ත්‍රීය සංවාදයන් හි ද යෙදී ඇත්තෙමු. එහෙත්, එම පසුබිම හා විමසා බලන විට නළලේ විභූති තවරා ගෙන තම හින්දු භක්තියේ උපරීමය ජනතාව හමුවේ ප්‍රදර්ශනය කරන විග්නේෂ්වරන් මහතාට අප හින්දු දර්ශනය සම්බන්ධයෙන් ලබා ඇති දැනුම් අවබෝධයන් ගෙන් සියයට දශමයක්වත් අවබෝධයක් පාලි භාෂාව හා සබැඳුණු බුද්ධ දර්ශනය සම්බන්ධයෙන් නොමැති බවට සාධාරණ සැකයක් අප තුළ හටගෙන තිබේ.එමෙන්ම ඉහත සඳහන් චෝදනාවේ දී ඔහු සිංහල හා පාලි පමණක් යන වදන කවර පදනමකින් ප්‍රකාශ කළේ ද යන්න අපි නොදනිමු.ඒ ලෝක භාෂාවන් නොදැන ලෝකය, සමාජය වඩාත් යහපත් තැනකට ගෙන ආ මහා ප්‍රාඥයන් සිය ගණනකගේ නම් මේ වන විටත් අප මනැසේ ගොනු වන බැවිනි.

අප දන්නා පරිදි ලොව සෑම අධිකරණ ක්‍රමයකම නඩු විභාග කෙරෙනුයේත් ඒවා සම්බන්ධ තීන්දු තීරණ විනිශ්චයන් ලබා දෙනුයේත් හුදෙක් අධිකරණය හමුවේ ගොනු වන සාක්ෂි පදනම් කරමින් පමණි. එහෙත්, අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ලෙස කලක් කටයුතු කළ සී. වී. විග්නේෂ්වරන් මහතා පෞද්ගලික තීන්දු තීරණ ගැනීමේ දී එම න්‍යායෙන් බැහැරට තමන් තුළ පවත්නා නොදැනුවත්කමට මෙලෙස ප්‍රසිද්ධියේ ව්‍යාජ ලන්සු තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අප ගේ අනුකම්පාව ඔහු වෙත හිමි විය යුතුම ය.නමුත් ඒ අතරම ඔහු හමුවේ අවධාරණය කළ යුතු තවත් වැදගත් කරුණක් වේ.එනම් මජ්ජිම නිකායේ අගගද්දූපම සූත දේශනාවට අනුව ධර්මය වුව වැරදි ලෙසින් භාවිතයට ගැනීම සර්පයකුගේ කඳින් හෝ වලිගයෙන් අල්ලා ගැනීම වැනි අන්තරායකාරී ක්‍රියාවක් බව බුදුන් වහන්සේ දේශනා කොට ඇති බවකි.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර