දේශපාලන කරලියේ අන්තරා භවිකයකු වූ අන්තර් වාර පාලන ආණ්ඩු කතාව

අන්තරා භවිකයන් ගැන නොයෙක් තොරතුරු පොත් පත් වල තිබේ.අන්තරා භවිකයා යනු මෙලොවින් චුත වුව ද වෙනත් ලොවක ප්‍රති සන්ධියක් නොලද පුද්ගලයා ය.මේ වන විට අප රටේ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් අන්තර් වාර පාලන ආණ්ඩු කතාව ද එවන් අන්තරා භවිකයකුගේ තත්වයට පත් ව තිබේ.ඒ ජනාධිපතිවරයා‌ගේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලඥයන්ගේ හැසිරීම කරනකොට ගෙන ය. තරුණ කොටස් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් ගෝටා ගෝ හෝම් කියද්දී පළමුව ඊට මැදිහත් වූයේ ශ්‍රීලනිපය, විමල්, උදය ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ 11 කණ්ඩායම ය.

ඔවුන් යෝජනා කර සිටියේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී භාරකාර රජයකට හෝ අන්තර් වාර ආණ්ඩුවකට යා යුතුය කියා ය. ඒ් වෙනුවෙන් ගත් උත්සාහයේදී අගමැතිවරයා ඉල්ලා අස් නොවී ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමත් සමඟ පක්ෂ 11 ඇතුළු මන්ත්‍රීවරු 40 ට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශ කරන්නට වූහ.අගමැති ඉතිරි වී ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීම ඔවුන් හඳුන්වා දුන්නේ කජු ගෙඩිය ගහේ තිබිය දී පුහුලම වැටීමක් ලෙසට ය.

තවත් කණ්ඩායමක් කීවේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා 19 සංශෝධනය යළි ගෙනවිත් ජනාධිපති වරයාගේ බලතල අඩු කළ යුතු බවකි. ඉන් පසු නියමිත කාලයක් තුළදී රටේ මේ වන විට පවතින අර්බුද සමනය කර මැතිවරණයකට යා යුතු බවට ඔවුහු යෝජනා කළහ. මේ අතර ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේ නව අගමැතිවරයෙකු සමඟ නව ඇමති මණ්ඩලයක් පත් කරන ලෙස ය.

නව ඇමති මණ්ඩලයක් පත් වුව ද අගමැති වරයා වෙනස් නොවූ නිසා ස්වාධීන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා තබා ගනිමින් අගමැතිවරයා ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ජනාධිපති හා අගමැති අතර සීතල යුද්ධයක් ආරම්භ විය.ඒ ජනතාව යන්න කියන්නේ තමන්ට නොවන බවට අගමැතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ ය.එමෙන්ම ඔහුට වර්තමානයේ ජනතාව විඳින අනේක විධ දුක් කම් කටොළු ගැන වගේ වගක් නැත.ඒ නිසා වත්මන් ජනතා විරෝධය අගමැති වරයාට පෙනෙන්නේ හොල්මන් මෙනි.”හොල්මන් වලට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ”යනුවෙන් ඔහු කීයේ තමන් ජන අරගල වලට බය නැති බව තම අනුගාමිකයන්ට කියා පෑමට ය.එහෙත්,දැන් රාජපක්ෂ පවුල ඇතුළේ ලොකු දෙදරීමක් ඇති බවත් එය පුපුරා යාමට ඔන්න මෙන්න බවත් දේශපාලන ඕපාදූප කරුවෝ කියති.

යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එක් දේශපාලනඥයකු මේ ලියුම්කරු සමඟ කීවේ මෙය දෛවයේ හාස්කමක් බවය. ඒ මන්ද යහපාලන රජයේ අගමැති හා ජනාධිපති විරසක කළ කණ්ඩායමටම දැන් එය සිදුවී තිබිම දිට්ඨධම්ම වේදනීය කර්මයක් බව ඔහු කීවේය.

අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැති ධූරය ඩලස් අලහප්පෙරුමට දිය යුතු බවට පක්ෂ 11 ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ යෝජනා කර තිබුණි. ඩලස් අලහප්පෙරුම ද ඊට යම් එකඟතාවයක් පළ කිරීමත් සමඟ එය ඉදිරියට ඇදී ගියේය. ඔහු නව පාලනයක් ගැන කියමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේ ද මෙම කාලය තුළදී ය.

කෙසේ නමුත් නිමල් සිරිපාල ද සිල්වා ගේ නම අගමැතිධූරය වෙනුවෙන් යෝජනා වුවද එය යටපත් වූයේ ඩලස් ගේ පිරිස ප්‍රබලවීම මත ය. මෙම සාකච්ඡා බොහොමයක් සිදුවූයේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ය. ජනාධිපතිවරයා හා ස්වාධීන කණ්ඩායම් අතර ගණුදෙනුව ද ටිරාන් හා උදය ගම්මන්පිල විසින් කරගෙන යන ලදී. නොයෙක් පාර්ශව හරහා පණිවුඩ යැවුව ද අගමැති ධූරයෙන් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ එකඟ නොවීම නිසා අවසානයේ විපක්ෂය ගෙන ඒමට සැලසුම්කර සිටි විශ්වාසභංගය ඉක්මන් කිරීමට මෙම කණ්ඩායම තීන්දු කළහ

ඒ අනුව විමල්, උදය හා දයාසිරි ජයසේකර ටිරාන් අලස්ගේ නිවසේ දී සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා ඉරාන් වික්‍රමරත්න හමුවූයේ මේ ගැන සාකච්ඡා කිරීමට ය. සජිත් ප්‍රේමදාසගේ එකඟාවය මත මෙම සාකච්ඡා ඇරඹී අතර අවසානයේ විශ්වාස භංගය ගෙනවිත් ආණ්ඩුව පරාජය කොට අන්තර්වාර පාලනයක් පිහිටුවිමට එකඟ විය.

මුදල් ඇමතිකම, සෞඛ්‍ය ඇමතිකම සමගි ජනබලවේගයට පිරිනැමීමට ද තීන්දු කෙරිණි. සාකච්ඡා අවසානයේ උදය ගම්මන්පිල කීයේ විපක්ෂයේ විශ්වාසභංගයට මන්ත්‍රීවරු 120 ක් සහාය දෙන බව ය. ආණ්ඩුව පරාජය කොට අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු කීවේය. එහෙත් සවස විපක්ෂ නායක සජිත් කීවේ සමගි ජනබලවේගය අන්තර් වාර පාලන ආණ්ඩුවකට සහාය නොදෙන බව ය.

ඒ අනුව අන්තර්වාර පාලන ආණ්ඩු කතාව යළි බිද වැටුණි. වාසුදේව නානායක්කාර චෝදනා කළේ විපක්ෂය බැසිල්ගේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරන බව ය. මේ අතර අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කළහොත් විපක්ෂයේ අසුන් ගැනීමට මන්ත්‍රීවරු 100 ක් සුදානමින් සිටින බව සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා ජනාධිපති හමුවේ කියා තිබුණි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදි පැවැති අතර එහිදි අන්තර්වාර ආණ්ඩු කතාව හමුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගාලගෝට්ටියකින් අවසන් කළහ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා ඉවත් කිරීමට තමන් හිතලාත් නෑ කරන්නෙත් නැහැ යනුවෙනි. තනතුරුවලට වඩා සහෝදරකම ලොකු බව ඔහු එහිදි කියා තිබුණි.එහෙත් ඔවුන්ගේ පවුල හා සම්බන්ධ සහෝදරත්වය රටේ අනාගතය සම්බන්ධ අහිතකර සාධකයක් වන පසුබිමක ඔවුන් දෙදෙනාම කළ යුතුව ඇත්තේ අයියා මලෝ දෙන්නාම සහෝදර කම රැක ගනිමින් ගරු නම්බු පිටින් තනතුරු වලින් ඉවත් වීම යැයි සමහරු කියති.

මේ අතර ඩලස් අලහප්පෙරුමට ද ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකරුවෙකු ලෙස චෝදනා එල්ල කර තිබුණි. මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයා සමඟ සිට ගැනීමත් සමඟ අගමැතිවරයා ඉවත් කිරීම ද පුස්සක් විය. පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ හමුවෙන් පසුව පක්ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූයේ ඊට පසු දින ය.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේ අගමැතිවරයා ඉවත් කොට අන්තර්වාර පාලන ආණ්ඩුවකට ජනාධිපතිවරයා එකඟ වූ බව ය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විදින පීඩාව දේශපාලඥයන්ට ගැටළුවක් නොවන බව මෙම සාකච්ඡාවලින් පැහැදිලි වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්නේ කෙසේද? යන කාරණය පමණකි.

එතෙර - මෙතෙර