දේශපාලන ජෝකරයන් ඉවත් කොට ඉන්ධන අර්බුදයට විසඳුමක් ගෙනෙනු

ඉන්ධන අර්බුදය මේ වන විට ජනතාව දැඩි පීඩාවට පත් කරන්නක් වී හමාර ය. බොහෝ දෙනෙක් දින දෙකක් පුරා ඉන්ධන පෝලිම්වල ය. රැය පහන් කරන්නේ සිය වාහනයේ ය. ඒ මදිවාට මේ වන විට අහිංසක ජීවිත අටක්ම ඉන්ධන පෝලිම් වල දී මරු වසඟයට පත් ව හමාර ය.අද සමාජයේ බොහෝ දෙනෙක් කියනුයේ මේ සකල විධ අර්බුද වලට පසුගිය කාලයේ මෙරට පාලන බලයෙන් වැඩි කොටස අල්ලාගෙන සිටි රාජපක්ෂ පවුල වග කිව යුතු බවකි.

ඒ අනුව එම පවුල් මෙරට දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට ද පොදු හඬක් නැඟෙමින් තිබේ.ඒ අනුව පසුගිය මැයි 09 වන දා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල කරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරයට රාජපක්ෂ හිතවාදීන් සම්බන්ධ බවට තහවුරු වීමත් සමඟ අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයෝ පසුගිය කාලය තුළම ජනතාවගෙන් සැඟව සිටියහ.නමුත් ලස්සනම කතාව එය නොවේ.

එසේ මහජනතාවගෙන් වසන් වී සිටින අතරේත් රාජපක්ෂ පවුලේ “නැඟී එන තරුව” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වත්මන් ඉන්ධන අර්බුදය විසඳීමට ඉදිරිපත් වීමය.පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ඔහු ඒ සඳහා මැදිහත් වී ඇත්තේ තම පවුලේ සාමාජිකයන් තවමත් මෙරට දේශපාලනයේ නියමුවන් විය යුතුය යන මුග්ධ අදහස සිත දරා ගෙන බව පෙනෙයි. මිට බීන් ගේ චරිතය තුළින් මුළු ලෝකයේම අවධානය දිනා සිටින ජනකාන්ත හාස්‍යෝත්පාදක රංගවේදී රොවන් ඇට්කින්සන් වරක් කියා සිටියේ තමන් හාස්‍යෝත්පාදක රංගවේදියකු(Comedian) මිස “ජෝකර්”කෙනකු නොවන බව ය.

එහෙත්, ඉහත සඳහන් සිදුවීම වලින් පෙනෙනුයේ අප රටේ දේශපාලනයේ නම් “ජෝකරයන්’ අඩු නැති බවකි ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන අවසන් ඩීසල් නෞකාව ඉකුත් 17 දා මෙරටට ලැබුණි. එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් තිබුණි. මාධ්‍ය මගින් ප්‍රකාශ වුණේ එය මෙරටට ලැබෙන අවසන් නැව ලෙස ය.එහෙත්,ඉන්දියානු ණය ක්‍රමය යටතේ තවත් පෙට්‍රල් නැවක් ලැබීමට නියමිත ය. එය ලැබෙන්නේ ලබන 23 දා ය. එතෙක් රට තුළ පෙට්‍රල් තිබෙන්නේ පරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඉන්ධන වලිනි. එම නිසා දැඩි ඉන්ධන හිඟයක් රට තුළ තිබේ.

ජනතාව ද අන්තිම ඉන්ධන බිංදුව සේ සලකා කෙසේ හෝ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල දිවා රෑ නොබලා රැදී සිටිති. එසේම රාජ්‍ය සේවකයන්ට හා පාසල් සිකුරාදා නිවාඩු දුන්නේ ඉන්ධන හිඟයේ බරපතලකම හේතුවෙනි. එය තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙම සතියේ ද නිවසේ සිට රාජකාරී කිරීමේ සේවක සංඛ්‍යාව ඉහළ නංවන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නව චක්‍රලේඛයක් ද නිකුත් කළේය.කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පාසල් නිවාඩු ලබා දුන් අතර ගම්බද පාසල් පවත්වාගෙන යාම ගැන තීන්දු ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පවරනු ලැබීය.

නිවාඩු දුන් පාසල් ඔන්ලයින් ක්‍රමයට පන්ති පැවැත්විය යුතු බවට නිර්දේශ කරන ලදී.
විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර කියා සිටින්නේ තවත් පෙට්‍රල් නැවක් ලබන සදුදා මෙරටට ළගා වන බව ය. ඒ වෙනුවෙන් ණයවර ලිපි මහජන බැංකුව විසින් නිකුත් කරනු ලැබූ බවද ඔහු කියා සිටියේය. නමුත් ඇමතිවරයා මීට පෙර ද මෙසේ ප්‍රකාශ කළත් ඉන්ධන නොලැබීම නිසා ජනතාව එය විශ්වස කරන්නේ නැත.

නෞකාවෙන් ඉන්ධන ගොඩබාන බවට මාධ්‍ය මගින් දැනුම් දෙන තුරු ඔවුහු ඉන්ධන පිරවුම්හල් අසල රැදී සිටිති. මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල ගැටුම් වාර්තා වූ අතර කඩාකප්පල්කාරී පිරිසක් එය මෙහෙයවන බවට ද ප්‍රචාරය වෙයි. කඩාකප්පල්කාරීන් එය කළා නම් ඔවුනට එවැන්නක් කිරීමට අවස්ථාව සලසා දී ඇත්තේ ද රජය විසිනි.

ජනාධිපතිවරයා විසින් ඉන්ධන බෙදා හැරීම ගැන තෙල් සංස්ථා ප්‍රධානීන් ගෙන්වා උපදෙස් දුන්න ද ඔහු කියූ ආකාරයට ඉන්ධන බෙදා හැරුණේ නැත. ජනතා පීඩනය එන්න එන්නම ඉහළ යාම නිසා ඉන්ධන පිරවුම්හල් අසල ගැටුම් නිර්මාණය විය. තවත් තැනක ඉන්ධන බවුසර නවතා ඉන්ධන සහිත බූලි හොර රහසේ වාහනවලට පටවන දර්ශන ද ප්‍රචාරය වන්නට විය. සෞඛ්‍ය, ප්‍රවාහනය, ආරක්ෂක වැනි සේවාවන්ට ප්‍රමුඛතාවයක් දිය යුතු ය.

රජය මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කර දී නැත. දේශපාලනමය වශයෙන් හත් පොලේ ගා ගත් ජෝකර්ලාගේ ජෝක් සීන් රඟ දැක්වෙනුයේ ඒ අතර ය. ඉන්ධන නොමැතිවීම නිසා රෝහල් පද්ධතිය අඩපණ වූයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසාවෙනි. පිරවුම්හල් අසල ගැටුම් වලක්වා ගැනීමට යාමේදි පොලීසිය ද අමානුෂික ලෙස හැසිරෙන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොලීසියට අනතුරු අඟවා තිබේ.

තෙල් සංස්ථාවේ නීතිය අනුව ඉන්ධන පිරවුම්හලකට ඔවුන්ගේ ටැංකිවල ඇති සියළු ඉන්ධන අවසන් වන තෙල් නිකුත් කළ නොහැකි ය. ආරක්ෂිත තොගයක් තිබිය යුතුම ය. ඒ හදිසි අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට ය. මෙම නීතිය නොදන්න පිරිස් ඉන්ධන පිරවුම්හලේ ටැංකිය හිස්වනතුරුම ඉන්ධන ලබා දෙන ලෙසට බලපෑම් කරති. මෙලස ටැංකිය හිස්වීම නිසා ඒ තුළ වාතය පිරී ඊළග ඉන්ධන තොගය ගොඩබෑ පසු පොම්පයෙන් වාහනවල ඉන්ධන නිකුත් කිරීමේ ගැටළුවක් මතු වන්නේ පළමුම වාතය පොම්පය දිගේ පැමිණිම නිසාවෙනි.

ඉන්ධන අර්බුද ඇතිවූ ලෝකයේ එකම රට ලංකාව නොවේ. මෙවැනි අර්බුද එංගලන්තය, ඇමරිකාව වැනි රටවල ද ඇති වූවේය. එහෙත් ඔවුන් එය කළමනාකරණය කර ගත්තේ ජනතාවගේ සහයෝගය ලැබුණු නිසාවෙනි. මෙරට අගමැතිවරයා ද ජුනි මස අග සති තුන ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ පවතින බැවින් ඉන්ධන අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් ජනතාව එය ඉටු කළේ නැත. ඔවුන් පාන් ගේන්න පවා යන්නේ සිය වාහනයෙනි.එසේම පොසොන් පොහොයට දන්සැල් වෙත ගියේද වාහනයේ ය. වන්දනා ගමන් සංවිධානය කර තිබුනි. ඔවුන් ඉන්ධන පුලුස්සා දැමුවේ එසේය. දන්සැල් හා වන්දනා ගමන් ගිය පිරිස ඉන්ධන අවසන් වී පෝලිමට පැමිණ දුක් අඳෝනා කියන්නට වූයේ තමන්ගේ යුතුකම ඉටු නොකරමිනි.

රජය මේ අවස්ථාවේ කළ යුත්තේ අත්‍යාවශ්‍ය සේවා සහ පොදු ප්‍රවාහනය වෙනුවෙන් ප්‍රමුඛතා පදනම යටතේඉන්ධන ලබාදෙන වැඩපිළිවෙලක් සැකසීමය., එක් අයෙකු හෝ දෙදෙනෙකු යන වාහන වෙනුවට පොදු ප්‍රවාහනය වෙනුවෙන් ඉන්ධන ලබාදිය යුතු ය.

එයින් ඉන්ධන අර්බුදය තරමක් හෝ කළමනාකරණය කර ගත හැකිය.එහෙත් ඒ අතරේ රටේ ජනතාව අතිශය අසාර්ථකත්වයට පත් දේශපාලන ජෝකරයන්ගේ රැඟුම් බැලීමට මේ මොහොතේ කිසි සේත් සූදානම් නොමැති බව ද කිව යුතුමය.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර