දේශීය ආදායම් පනත ගැන වෛද්‍යවරුන් හා කතා බහකට ජනපති කැමතියි

දැනට පවතින දේශීය ආදායම් පනත සංශෝධනය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ (15) දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ව සිටි අතර ඔවුන් ඒ පිළිබඳව ලිඛිත ව ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෙත ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක ලිඛිතව දන්වා තිබේ. මෙහි දී ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ගැටලු විසඳීම සඳහා වෘත්තීය සමිති සමඟ සංවාදය දිගටම කරගෙන යාමට ජනාධිපතිවරයා කැමත්තෙන් පසුවන බවය. මාස කිහිපයකින් පැවැත්වෙන පළමු සමාලෝචන රැස්වීමේ දී ඵලදායී උපදේශන ක්‍රියාවලියක් හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යථාර්ථවාදී යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි ආකාරයේ තීරණ ගැනීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා පවසා ඇති බව ද වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලිඛිතව ඉල්ලා ඇති අන්දමට සාකච්ඡා සඳහා ඉදිරියේ දී ජනාධිපති වරයා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති හමු වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෙත ජනාධිපති ලේකම් වරයා දන්වා එවා තිබේ.

කාලීන පුවත්