අපේ රටේ දොස්තර වරු හිඟයක් පවතිනවා කියලා පොදු මතයක් තියනවා.සමහර විට අපේ සමාජයේ දොස්තර කමේ අගය ඉහළ යන්නත් හේතුවක් වෙන්න ඇති.මොකද?යමක හිඟතාවය ඒකේ වටිනා කම වැඩි වෙන්නත් හේතුවක්නේ.ඇත්තටම අපේ රටේ දොස්තර වරු හිඟද?මේ කාරණේ දිහා බලන කොට අපිට ජාත්‍යන්තරය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා.
ලෝකයේ රටවල් අතරින් ඉතාලියේ ජනගහනයෙන් දාහක් ගත්තොත් අට දෙනෙක් දොස්තර වරු,ප්‍රංශය ගත්තොත් ජනගහනයෙන් හයයි දශම පහක්,ඒ කියන්නේ දහ දාහකට හැට පහක් දොස්තරලා.ග්‍රීසියේ දහ දාහකට හැට දෙකක්.ජර්මනියේ ජනගහනයෙන් දහ දාහකට දොස්තර වරු හතලිස් තුන් දෙනෙක්ම ඉන්නවා.
ඒත්, අපේ රටේ ජනගහනයට සාපේක්ෂව දොස්තරලා කොච්චර ඉන්නවද? දාහකට එකයි දශම දෙකයි.ඒක තව ටිකක් පැහැදිලි කළොත් අපේ රටේ දොස්තර වරු ඉන්නේ දහ දාහකට දොලොස් දෙනෙක් හැටියට.මම මේ කියන්නේ මහ පාරේ යන කාර් වල ඉස්සරහ අලවලා තියන “ඩොක්ටර්” ලේබල් දිහා බලලා නෙවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව.කාර් ලේබල් විදිහට බැලුවොත් නම් රටේ ජනගහනයට සාපේක්ෂව ලෝකේ වැඩිම දොස්තර වරු ඉන්නේ අපේ රටේ කියලා හිතන්න වෙනවා.එහෙම නැත්නම් දැන් දොස්තරලා වෙදකම අත හැරලා මහ පාරේ කාර් එළවන වැඩේට බැහැලා කියලා හරි හිතන්න වෙනවා.මම මෙතනදී මේ වෘත්තිකයෝ හඳුන්වන්න වෛද්‍යවරු නොකියා දොස්තර වරු කියන්නත් විශේෂ හේතුවක් තියනවා.
ඒ වෛද්‍ය කිව්වම දොස්තරවරු නොවෙන තවත් විශාල කොටසක් අයිති වෙන හින්දා.දොස්තර වරු කිව්වත් කිසිම වෛද්‍ය සුදුසු කමක් ලියාපදිංචියක් නැති පිරිසකුත් අපේ රටේ දොස්තර කම් කරනවා.නමුත් වෛද්‍ය කියන වචනයෙන් කිසිම වෘත්තීය සුදුසු කමක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නැති තවත් විශාල පිරිසක් ආවරණය වෙනවා.
මේ අය අතරේ රාවණා ලියපු පුස් කොළ පොත් කියවලා වෙදකම් ඉගෙන ගත්තු අය ඉන්නවා.පුස් කොළ පොතක උපරිම ආයු කාලය අවුරුදු දාහක් නම් ඔය කියන රාවණා ඉඳලා තියෙන්නේ අනුරාධපුර රාජධානි කාලෙනුත් පස්සේ.ඔය අතරේ මැරිච්ච ආච්චි හීනෙන් පෙනිලා දීපු බේත් වට්ටෝරු වලින් වෙදකම් කරන අය වගේ නානා ප්‍රකාර කොටස් ඉන්නවා.
සමහර ටීවී චැනල් වලින් ඒ අය කියන කතා ඇහුවම මේ ලෝකේ වෛද්‍ය වෘත්තියට පිවිසෙන්න පහසුම රට අපේ රට ද කියලත් හිතෙනවා.
හැබැයි, ඉතින් දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන් ගෙ කාලේ අපේ රටේ එළිමහන් හිර කාරයෙක් විදිහට අවුරුදු විස්සක් විතර ජීවත් වුණු රොබට් නොක්ස් කියන ඉංග්රීසිකාර නාවිකයා පස්සේ අපේ රට ගැන ලියපු පොතේ නම් තියනවා,”ඒ රටේ හැම මිනිහෙක්ම වෙදෙක්”කියලා.ඒකෙන් හැඟවෙන්නේ ඒ කාලේ මිනිස්සු තමන්ගේ කෑම බීම තමන්ම වගා කර ගත්තා,කැලෙන් කොලෙන් හොයා ගත්තා දඩයම් කර ගත්තා වගේ හුඟක් දුරට තමන්ගේ ලෙඩ දුක් වලට බේත් හේතුත් තමන්ම සපයා ගත්තා කියලයි.
හරි,අපි දැන් ඒ කතා පැත්තකින් තියමු. දැන් බොහෝ ශිෂ්‍යයන්ගෙන් අහලා බැලුවම ඔවුන්ට අවසානයේ වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ වෛද්‍යවරයෙක්,එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් .
අපේ ජන සංස්කෘතිය අනුව අධ්‍යාපනයේ ඉහළම හිනි පෙත්ත දොස්තර කම කියන එක ජනතාවගේ සිත් සතන් ඇතුළට කා වැදිලා තියනවා.
නමුත්, ඒක පරම සත්‍යයක් නෙවෙයි. අපි වෛද්‍ය උපාධිය හදාරන කාලේ ලංකාවෙ මං හිතන්නෙ ශිෂ්‍යයො හාරසිය පනහකට වගේ සංඛ්‍යාවකට විතරයි, අවස්ථාව ලැබුණෙ වෛද්‍ය උපාධිය හදාරන්න. වෛද්‍ය පීඨයන් හතරයි තිබුණෙ. නමුත් මේ අවුරුදු විස්ස ඇතුලතදි තව අලුත් රජයේ වෛද්‍ය පීඨ ගණනාවක් අලුතෙන් ඇවිත් තියෙනව. ගිය අවුරුද්දෙ මං දන්න විදියට එක්දාස් නම සීයක් විතර වෛද්‍ය ශිෂ්‍යයො වෛද්‍ය පීඨ වලට බඳවා ගත්තා.
එහෙම බඳවා ගත්ත හින්දා අපේ රටේ සාමාන්‍යයෙන් පහුගිය කාලෙ එක්දාස් පන්සීයක් විතර අපේ රජයේ වෛද්‍ය පීඨ වලින් වෛද්‍යවරු බිහි වුණා. ඒ වගේම මේ විදේශ අධ්‍යාපනය හදාරල එන ශිෂ්‍යයොත් අපි දන්න විදියට අවුරුද්දට 800ක් 1000ක් අතර සංඛ්‍යාවක් අපේ රටට ඇවිත් වෘත්තීය සුදුසු කම් සපුරා ගත්තා.
මේ ගොල්ලොත් එකතු වුණාම මං හිතනවා අවුරුද්දකට 2000ත් 2500ත් අතර වෛද්‍යවරු සංඛ්‍යාවක් බිහි වෙනවා. නමුත් කෝ මේ වෛද්‍යවරු?. ඒකෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.
ඒ වෛද්‍යවරු ඔක්කොම හිටිය නම් ජනගහනයෙන් 500කට එක වෛද්‍ය වරයෙක් ඉන්නවා කියන ප්‍රමිතිය අපිට ඉබේම ලැබෙනව. දැන් වෛද්‍ය උපාධි හදාරන්න දරුවන් පිටරට යවන එකේ ප්‍රශ්නයක් තියනවා, ඩොලර් අර්බුදය හින්දා.
එහෙම නැතත් අපේ සමහර දෙමව්පියො තියන ඉඩම් ඔක්කොම විකුණල ඒවා ඩොලර් කරල දරුවන් වෛද්‍ය උපාධි හදාරන්න රටට යවන එකත් ප්‍රශ්නයක්නේ.නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු වෛද්‍ය වරු රට හැර යන එක ගැන අපි බොහොම බරපතල විදිහට කතා කරනවා.
පිට රට වල වෛද්‍ය උපාධි හදාරන දරුවන් වියදම් කරන්නේත් රටේ ජාතික ධනයම තමයි.ඉතින්, ඒ දරුවෝ එහෙ වෛද්‍යවරු වුණාම ඒගොල්ලො ලංකාවට සේවය කරන්න ඒවිද කියන ප්‍රශ්නෙ තියනවා. අනිත් එක ඩොලර් වලින් හරි අපි රුපියල් වලින් වියදම් කරල හදපු වෛද්‍යවරු කෝ?
මෙන්න මේ ගැන තමයි අපි අලුතෙන්ම හිතන්න ඕනේ.උසස් පෙළ විෂයන් තුනකින් සාමාන්‍ය සාමාර්ථයක් ගත්තු දරුවෙක් විශ්ව විද්‍යාලය ඇතුළට නොගියට ඒ විශ්ව විද්‍යාලයේම බාහිර උපාධි අංශයේ ලියාපදිංචි වෙලා උපාධියක් පශ්චාත් උපාධියක් ගන්න පුළුවන්.ඒ විදිහට මහාචාර්ය පදවි ලබා ගත්තු අයත් ඕනෙ තරම් ඉන්නවා.
ඒත්, වෛද්‍ය අධ්‍යාපනය ඊට වෙනස්.ඒකට විද්‍යාගාර,රසායනාගාර වගේම සායනික අංශ වලිනුත් ලොකු පිටිවහලක් ලැබෙන්න ඕනේ.ඒකත් අනික් උපාධි වලට සාපේක්ෂව වෛද්‍ය උපාධි පෞද්ගලීකරණය වෙනවාට බොහෝ දෙනෙක් අකමැති වෙන හේතුවක්.නමුත් මෙතන තවත් දෙයක් තියනවා.
කවුරු හරි දරුවෙක් උසස් පෙළ විභාගයෙන් දක්වන සාමාර්ථය වෛද්‍ය උපාධියේ අවසාන පරීක්ෂණයෙදී ඒ විදිහටම දක්වන්නේ නැහැ.මොකද?වෛද්‍ය උපාධි පාඨමාලාවක් කියන්නේ උසස් පෙළට වඩා ඉතා පුළුල් බහු විධ විෂය පථයක් නිසා.
ඒ තත්වය යටතේ වෛද්‍ය විද්‍යා උපාධිය හදාරන දරුවන් ගේ උසස් සහ වෛද්‍ය උපාධි ප්‍රතිඵලය බොහෝ සෙයින් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ උසස් පෙළ සමතුන් අබිබවා වෛද්‍ය පීඨ සමතුන් ලෙස වෙනම පිරිසක් වෛද්‍ය උපාධි පාඨමාලා අතරෙ දි ඉස්මතු වෙන්න පුළුවන්.
ලෝකයේ දියුණු රටවල මේ වගේ කරුණු හැදෑරීම් තුළින් වෛද්‍ය අධ්‍යාපනයේ ගමන් මඟ නොයෙක් වර යාවත් කාලීන කරලා තියනවා.ඒ අධ්‍යාපනයේ ප්‍රමිතිය ගුණාත්මක බව ඉහළ නංවා ගෙන තියනවා.
අපේ රටේ වෛද්‍ය පීඨයකට ඇතුළු වෙන්න ළකුණු මදි වුණු අපේ දරුවන් ජාත්‍යන්තර මට්ටමින් අපේ විශ්ව විද්‍යාල වලට වඩා ඉහළ ශ්‍රේණි ගත කිරීම් සහිත විදේශ විශ්ව විද්‍යාල වලින් මූලික හා පශ්චාත් වෛද්‍ය උපාධි හිමි කරගෙන අපේ රට අමතක කරලා දාන්නේ ඒකයි.
ඉතින් මේ වගේ තත්වයක් යටතේ මම කලින් කියපු වචන වලින්ම කිව්වොත් අපේ රටට ප්‍රමාණවත් දොස්තරලා සංඛ්‍යාවක් ලබා ගැනීමත් ප්‍රශ්නයක් තමයි.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ