ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු කාන්තාවක දූෂණයට ලක් කර ඇති බවට නැගෙන චෝදනාව මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙම චෝදනාවට අදාළව ධනුෂ්ක පසුගිය ඉරිදා අලුයම 1 ට පමණ, ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හයාත් රීජන්සි හෝටලයේ දී අත්අඩංගුවට ගන්නා ලද අතර මේ වනවිට ඔහු සිඩ්නි හි බන්ධනාගාරයක රඳවා සිටියි. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක් පසුගිය සඳුදා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නැවත අධිකරණය රැස්වන්නේ ජනවාරි 12 වැනි දිනයි. එතෙක් ඔහුට රැඳවුම් භාරයේ සිටීමට සිදුවනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලද තොරතුරු ද මේ වනවිට මාධ්‍ය හරහා අනාවරණය වෙමින් තිබෙන අතර ඒ පිලිබඳව ද දැඩි අවධානයක් යොමු වෙමින් තිබේ.
මෙම පොලිස් තොරතුරුවලින් අනාවරණය වන ආකාරයට 31 හැවිරිදි ධනුෂ්ක සහ 29 හැවිරිදි පැමිණිලිකාරිය ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදවුමක් හරහා එකිනෙකා හඳුනාගෙන තිබුණේ ඔක්තෝබර් 29 වැනි දින ය. පසුව ඔවුන් වට්ස්ඇප් හරහා විඩියෝ ඇමතුම් මාර්ගයෙන් එකිනෙකා සමග කතා කර තිබූ බව ද සඳහන් වේ. එහි දී ඇති වූ එකඟතාවකට අනුව ඔවුන් මුණ ගැසී තිබුණේ නොවැම්බර් 2 වැනි දින යි. මුලින්ම ඔවුන් හමු වී තිබුණේ Opera Bar නැමැති ස්ථානයකදී යි. ඒ එදින රාත්‍රි 8.20 ට පමණ ය. ඔවුන් එතැන පැය භාගයක් පමණ රැඳී සිටි බවත්, මත්පැන් පානය කළ බවත් පොලිස් ලේඛනවල සඳහන් වේ. එයින් අනතුරුව ඔවුන් Frankie’s Pizza නැමැති අවන්හලකින් රාත්‍රි ආහාරය ගෙන තිබිණි. පසුව ඔවුන් යම් ස්ථානයකට ගොස් තිබුණේ බෝට්ටුවකින් පැමිණිලිකාරියගේ නිවස වෙත යාම සඳහා ය. බෝට්ටුව පැමිණෙන තුරු සිටියදී ද ධනුෂ්ක තමා බලහත්කාරී ලෙස සිපගත් බවක් ද, තට්ටමට පහරක් ගැසූ බවක් ද කාන්තාව පවසා ඇත.
කාන්තාවගේ නිවසට පැමිණි පසු ධනුෂ්ක ඇය එහි තිබූ කවිච්චියක් මතට තල්ලු කළ බවත්, ඇයගේ සිරුර මත නැගීමට උත්සාහ කළ බවත් ඉහත ලේඛනවල සඳහන් වේ. එහි දී ඔහු නැවතත් ඇය සිපගත් බවටත්, ඇයගේ පියයුරු ස්පර්ශ කිරීමට උත්සාහ කළ බවටත් චෝදනා එල්ල වී ඇත. ඉක්මන් නොවන්නැයි එහිදී කාන්තාව ඔහුට පවසා ඇති බව ද සඳහන් ය. පොලිස් ලේඛනවල සඳහන් වන්නේ එම අවස්ථාවේ ධනුෂ්ක ඇයගේ ඇඳුම් ඉවත් කිරීමට පටන්ගෙන ඇති බවයි. මේ නිසා ඇයට දැඩි ශීතලක් දැනුණු බව ද කාන්තාව පවසා තිබිණි.
පසුව ඔවුන් නිදන කාමරයක් වෙත ගොස් ඇති බව ද මෙම පොලිස් ලේඛනවල සඳහන්ව තිබේ. එහි දී ලිංගිකව හැසිරීමට කාන්තාව එකඟතාව පළ කර තිබිණි. නමුත් ඒ ධනුෂ්ක කොන්ඩමයක් පළඳින්නේ නම් පමණි. ‘ඔහු ඊට විරුද්ධ වුණා. නමුත් පසුව එකඟ වුණා’ යයි කාන්තාව පැවසූ බව ඉහත ලේඛනවල සඳහන් ය. සිදුවී තිබූ සමහර දේවල් වාර්තා කිරීමට අපහසු ආකාරයේ ඒවා බවක් ද ඕස්ට්‍රේලියාවේ ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි.
කිහිප වරක් සැකකරු පැමිණිලිකාරියගේ හුස්ම සිරවන ආකාරයෙන් හැසිරී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. එක් අවස්ථාවක තත්ත්පර 30 ක් තරම් කාලයක් ඇයගේ හුස්ම සිර වී ඇති බවක් ද පොලිස් තොරතුරුවල අඩංගු ය. මේ නිසා පැමිණිලිකාරියට සිය ජීවිතය පිලිබඳ බියක් දැනී තිබූ බව ද එහි සඳහන් ය.
මේ අතර කාන්තාවට දැක ගන්නට ලැබී ඇත්තේ කොන්ඩමය ඇඳ අසළ බිම වැටී ඇති ආකාරයයි. ධනුෂ්ක ඔහුගේ පොරොන්දුව කඩ කර ඇති බව ඒ අවස්ථාවේ කාන්තාවට වැටහී ගොස් ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි. එම අවස්ථාවේ ඇය දැඩි කම්පනයකට පත්ව තිබිණි. ඇය කොන්ඩමයකින් තොරව ලිංගිකව එක්වීමට හෝ හුස්ම සිර කරන ආකාරයේ ලිංගික හැසිරීමකට හෝ කැමැත්ත පළ නොකළ බව ද එම ලේඛනවල සඳහන් ය. කොන්ඩමය පළඳින මෙන් කාන්තාව නැවත වරක් ධනුෂ්කගෙන් ඉල්ලා තිබූ බව පැවසේ. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවටත්, නැවත බලහත්කාරී ආකාරයෙන් ලිංගිකව හැසිරුණු බවටත් චෝදනා එල්ල වී තිබේ.
ධනුෂ්ක ඌබර් වාහනයක් ගෙන්වා ගෙන කාන්තාවගේ නිවසින් පිටව ගොස් තිබුණේ පසුදා අලුයම 1 ට පමණ බව සඳහන් ය.
පසුව පැමිණිලිකාරිය ඇයගේ මිතුරන් දෙදෙනකුට මේ සිද්ධිය ගැන පවසා තිබිණි. ඇය උපදේශන සේවාවකට කතා කර තිබූ බවත්, ඇයගේ වෛද්‍යවරයා හමු වූ බවත් සඳහන් වේ. මෙම කාන්තාව මොළයේ ස්කෑන් පරීක්ෂාවකට පෙනී සිට ඇති බව ද පැවසේ. ඒ හුස්ම සිරවීම නිසා යම් හානියක් සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට ය.
කෙසේ හෝ වේවා, පැමිණිලිකාරිය පවසන කාරණාවල සත්‍ය අසත්‍යතාව තවමත් තහවුරු වී නැත. මේ අතර ධනුෂ්ක ගුණතිලක පොලිසිය සමග පවසා ඇත්තේ කිසිදු ප්රචණ්ඩත්වයක් සිදු නොවූ බවයි. ලිංගික එක්වීම සිදුවූයේ කැමැත්ත ඇතිව බව ද ඔහු පවසා තිබේ.
නිහාල් පීරිස්