ආයෙත් සැරයක් නත්තල් ඇවිත්. නත්තල් කියන්නේ ඉතින් බොහෝ දෙනෙකුට හරිම ‘ජොලි’ කාලයක්නේ නේද?
සුපිරි වෙළඳසැල්, සුපිරි නැති වෙළඳසැල්, පොඩි වෙළඳසැල්, ලොකු වෙළඳසැල්, එළවළු වෙළඳසැල් වගේ හැම වෙළෙඳ සැලක්ම වගේ නොයෙකුත් විදිහට සරසලා.
හැම තැනම පාට පාට සරුවපිත්තල සැරසිලි…, නත්තල් ගස්.. නිමෙන පත්තු වෙන පාට පාට ලයිට් …නත්තල් සේල්..,විශේෂ වෙළඳ කුටි .. විශේෂ ඩිස්කවුන්ට්…. නත්තල් ගීත..
මුළු නගරෙම මහා සැණකෙළියක් වගේ!
අපිට සුපිරි නත්තලක් දෙන්න සමස්ත වෙළඳ ප්‍රජාවම අපි ගැන පුදුම ආදරයකින් එළි බැහැල..!
නත්තල් පප්පල මහා දවාලේ පට්ටඅව්වේ සාප්පු ඉස්සසරහ නටනවා. පව් ! ඒ වයසක මනුස්සයවත් අතකොළුවක් කරගෙන බඩු ටික විකුණගන්න.
මිනිස්සුත් ඉතින් නත්තල් කන්න ලහි ලහියේ ලෑස්ති වෙනවා. කේක් වයින් හදනවා, මිලදී ගන්නවා, කෑම බීම එකතු කරනවා, විච්චූරණ ඇදුම් හොයනවා,
ඉතිං කොහොමද ඔබ?
නත්තලට ‘රෙඩි’ ද?
මොකුත් ගත්තෙ නෑ??
අලුත් ඇඳුම්… සපත්තු එහෙම ??
බෝතල් මුකුත් එහෙම ගත්තෙත් නැද්ද දන්නෑ..
ඒ කිව්වේ මේ කෝඩියල් බෝතල් , ජෑම් බෝතල් සෝස් බෝතල් වගේ දේවල්.
විකුණගන්ඩ බැරුව තියෙන සමහර බඩු ඩිස්කවුන් දාලා දෙනකොටනොගෙන ඉන්න එපා . කණකර උගස් තියල හරි ගන්න .නැත්නම් ඉතින් නත්තලින් කිසි වැඩක් නෑ.
ආ තව එකක්! ඔය පෝයට අවුරුද්දට වගේ නත්තලටත් සමහර ‘සින්දු වතුර’ මධ්‍යස්ථාන වහන්ඩ ඉඩ තියෙනවා. ඒ නිසා ඔය ගන්න ගිනිවතුරක් අරන් තියාගන්න.
මොකද ගොඩක් දෙනෙකුට නත්තල් භක්ති ගීත මතක් වෙන්නෙ ඉතින් දෙකක් දාගත්තම තමයි.
ඌරො කුකුල්ලු නත්තල් කෑම මේසෙ ගැන වටමේස සාකච්ඡා කරනවත් ඇති මේ දවස්වල. අපි ටැක්ස් වලට බය වෙලා වගේ ඒගොල්ලොත් හොඳටම බය වෙලා ඇති. බෙල්ල ගහලම යන තැනටම ඇවිල්ලනෙ තියෙන්නෙ නේද?
බඩට ලුණු කැඳ ඇඟට විල්ලුද කිව්වලු! සමහර මිනිස්සු එහෙම තමයි .විශේෂයෙන් තරුණ පරම්පරාව.
බඩට නොකා හරි ජැන්ඩියට පේන්න යන්න එපායැ.
පාවිච්චි කරන්ඩ දන්නෙ නැති උනත් මොබයිල් පතුරකුත් අතේ තිබුණා නම් පෙනුම කියල වැඩක් නෑ.
නත්තලට පල්ලි යනවා නං හොඳට ඇඳලා යන්න .
ජේසු බබා හොඳ ඇඳුම් දැකල නෑ. එයා මේ පිදුරු මඩුවක නිකන් පාන්කඩයක් වගේ රෙදි කෑල්ලක සීතලේ ඔතල තිබුණේ. ඉතින් ඔය මිල අධික සාරි බාරි, හැම තැනම පැච් දාපු බ්‍රෑන්ඩඩ් කලිසම් ෂර්ට්, ඔය තැනින් තැන ඉරිච්ච කලිසන් එහෙම ජේසු බබා දැකලා නෑ.
(ආ අමතක වුනා!. ඔය නවීන විලාසිතා ඉරිච්ච කලිසං එහෙම ගත්තොත් ආච්චිලා ඉන්නවනං ඒගොල්ලන්ට පේන්න තියන්න එපා. මොකද එක ආච්චි කෙනෙක් මිනිබිරිය ගැන අනුකම්පා හිතලා ඒ ඉරිච්ච තැන් මහලා තිබුණා ).
ඉතිං අනේ මෙහෙම ටිකක් උපාසාත්මකව ලිව්වට තරහකට නම් නෙමේ.
හැබැයි ඉතින් ඇත්ත ලෝකයේ සාමාන්‍යයෙන් නත්තල් කාලෙට අපට පේන්න තියෙන දේවල් නේද මේ.?
මේ ‘නත්තල’ කියන එකේ නිමිත්ත තමයි ජේසුස් වහන්සේගේ උපත.
සාමාන්‍යයෙන් උපන්දිනයකට මිනිස්සු පාටි දානවනේ. ඉතින් මේ ජේසු උපන් සතුටටත් උත්සව පැවැත්තුවට ඉතින් කමක් නෑ කියමුකො.
හැබැයි නත්තල කියන උතුම් නිමිත්ත පිටින් දාලා සමහරු පිස්සු නටනවා, සල්ලි හම්බ කරනවා මිසක් නත්තලේ අධ්‍යාත්මික වටිනාකම ගැන හිතන්නෙවත් නෑ.
ටීවී චැනල් බොහොමයක වෙළඳ දැන්වීම් වලින් මොනවද කියන්නේ? සරල චාම් ඇඳුම් ඇඳලා අධ්‍යාත්මික භක්තියකින් නත්තලක් සමරන්න කියලද?
මොන පිස්සුද! නත්තල පිටින් දාලා කොහොම හරි ඒගොල්ලන්ගේ කෑම බීම බඩු භාණ්ඩ පුළුවන් තරම් අරන් අරන් ගිහින් නත්තල කාලම දාන්න කියලා තමයි කියන්නේ.
ටීවී චැනල් වලත් නත්තල වෙනුවෙන් කියලා යකා නටන වැඩසටහන් අනන්තයි. නළු නිළියො ඇවිල්ල ‘රඟපාටි’ දාන හැටි දැක්කම මේ අපි ඉන්න ලංකාවේද නැත්නම් සුර ලෝකෙකද කියල හිතෙනවා.
හැබැයි මේ කිසිම තැනකදී ජේසුස් වහන්සේගේ නමවත් කියවෙන්නේ නෑ. නත්තල් පප්ප ගැන ඊට වැඩිය කියවනවා.
ඇත්තටම ජේසුස් වහන්සේ ඉපදීම ගැන අපි සාද පවත්වනවා නම්, සතුටු වෙනවා නම් අඩුම ගානෙ කව්ද මේ ජේසුස් වහන්සේ කියන්නේ කියලවත් පොඩි අවබෝධයක් හරි තියෙන්න එපායැ…
ඇත්තටම කවුද මේ ජේසුස් වහන්සේ කියන්නේ?
ජේසුස් වහන්සේ කියන්න හරි පුදුමාකාර අමුතුම මනුස්සයෙක්.
සමාජයෙන් කොන්කල කුලහීනයන්, අසරණ දුබලයන් සමග ගැවසීමෙන් ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එක් කළ පුද්ගලයෙක්.
පව්කාරයන්, ගණිකාවන් පවින් මුදා යහමගට ගත්,රෝගීන් සුවපත් කළ, නිහතමානි අහිංසක, මනුෂ්‍යයෙක්.
බලලෝභී රජවරුන් ඉදිරියේ කෙලින් නිර්භීතව යුක්තිය සාධාරණය ගැන කතා කිරීමට තරම් දැවැන්ත පෞරුෂයක් තිබූ, මානව හිතවාදීයෙක්.
කොටින්ම ජේසුස් වහන්සේ කියන්නේ විප්ලවකාරයෙක් . හැබැයි විප්ලව කළේ අවි ආයුධවලින් නෙවෙයි. ඒ විප්ලවවාදියා භාවිතා කළේ ආදරය ,මෛත්‍රීය ,කරුණාව, යුක්තිය, සහ සාධාරණය වැනි අවි ආයුධයි.
මතක තියාගන්න, ජේසුස් වහන්සේ ගේ ඉපදීම සමහරුන්ට මහා ලොකු තර්ජනයක් අභියෝගයක්,බයක් වුණා.
ඉපදුණු බව ආරංචි වෙච්ච ගමන්ම ඒ ජේසු බිලිඳාව මරන්න හෙව්වා.
අපේ කාලේ වගේම බලලෝභී, සල්ලි වලට කෑදර, සිතක් පපුවක් නැති කාලකන්නි නරුම පාලකයෝ ඒ දවස්වලත් හිටියා.
ඒ උන්මත්තක නීච පාලකයෝ තමන් පිහිටුවාගෙන තිබුණු ආධිපත්‍යයට තර්ජනයක් වෙයි කියල තමයි ජේසුස් වහන්සේව මරන්න හෙව්වේ.
ජේසුස් වහන්සේ කියන්නේ කසපහර , බර කුරුස කිසිවක් අබියස ප්‍රතිපත්ති පාවා නොදුන්, යුක්තිය සාධාරණය සත්‍යය වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ උත්තරීතර පුදුමාකාර මනුෂ්‍යයෙක්.
ඉතින් ඒ වගේ උත්තමයෙකු අපි සමරන්න ඕනේ උන්වහන්සේට ගෞරවයක් වන විදිහට නෙමේද ?
බැලූ බැල්මට එහෙම දෙයක් පේන්නෙ නෑ. නත්තල කියන එක කෑම බීමට කෑදර මජරයින්ට, ඇඳුම් ටික පෙන්නගන්න දඟලනබොරු සෝබන කාරයින්ට ,මත්පැන් පෙරේත බේබද්දන්ට, බිස්නස් කාක්කන්ට , ජාතික ගීයටත් නටන මෝඩයින්ට ජව්සං නටන්න හදාගත්තු කෙළබිමක් වගේ තමයි පේන්නේ.
නත්තල කියන්නේ ඒකට නෙමෙයි.
නත්තල කියන්නේ අධ්‍යාත්මික මංගල්‍යයක්. සිතින් දිළින්දන්ගේ මංගල්‍යයක්.
කවුද සිතින් දිළින්දෝ කියන්නෙ?
සල්ලි ධනය ලෞකික වස්තු මොනතරම් තිබුණත් ඒවට ඇලෙන්නෙ ගැලෙන්නෙ කෑදර වෙන්නෙ නැතුව ඕන වෙලාවක ඒවා අතහරින්න ලෑස්ති, අත දිග ඇරලා දනට පිනට දෙන්න කැමති අය තමයි සිතින් දිළින්දන් කියන්නෙ.
නෙළුම් කොළයක් උඩ වතුර බින්දුවක් කොච්චර එහා මෙහා ගියත් නෙළුම් කොළේට ඇලෙන්නේ නැහැ වගේ සිතින් දිළිඳු අය කවදාවත් ධනයට ඇලෙන්නේ නෑ.
ජේසුස් වහන්සේ දුප්පතුන්ට ගොඩක් ආදරය කළ කෙනෙක්. උදව් කළ කෙනෙක්.
“ඔබ දුප්පත් අය වෙනුවෙන් යමක් කරනවා නම් ඒ කරන්නේ මට” කියලා ජේසුස් වහන්සේ ඉතා පැහැදිලිව කිව්වා..
ඉතින් නත්තල නිවැරදිව අර්ථ ගන්වන්න නම් ජේසුස් වහන්සේ කලා වගේම දුක් සිත් ඇත්තවුන් සනසන්න .බලාපොරොත්තු බිඳුණු අය තුළ බලාපොරොත්තුවක් ඇති කරන්න.දුප්පතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්න. හැකි තරම් රහසිගතව දිළිඳුන්ට උදව් කරන්න.
කවුරු හරි පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙකුට මොන විදිහෙන් හරි විශේෂ උදවුවක් මේ නත්තලේදී කරන්න පියවර ගන්න.
නත්තල අර්ථවත් කරගන්නේ එහෙමයි. නැතුව මේ කාල බිල වෙරිවෙලා ජෝගි නටල නෙමෙයි.
නත්තලේ සැබෑ අරුත විනාශ කරල ගෞරවය නැති කරලා කෝලම් මඩුවක් බවට නත්තල පත් කරන්න එපා..
ජේසුස් වහන්සේ ඉපදුනේ අන්තිම අසරණ යාචකයෙක් විදිහට හරක් ලගින මඩුවක. එතුමා බලන්න ධනවත් රජවරු ආවා.
ඒ වගේම වරහැලි ඇඳගත් බැටළුවන් බලාගන්න දුප්පත් අහිංසක එඬේරුත් ආවා.
මේ දෙගොල්ලන්ටම පොදු එක දෙයක් තිබුණා. ඒගොල්ලෝ බැහැපත් සිත් තිබුණු සිතින් දිළිඳු අය.
ජේසු බිළිඳානන්ට දිය හැකි තෑග්ග ඔබේ වර්ණවත් ඇඳුම් පැළඳුම් නැටුම් ගැයුම් රස බොජුන් නෙමේ.
දිළිඳුන් වෙත ඔබ දක්වන ආදරය තමයි එතුමාණන්ට දිය හැකි හොඳම තෑග්ග.
නත්තලට පල්ලි යනවා නම් අන්න ඒ තෑග්ග අරගෙන ජේසු බිළිඳුන්ව බැහැදකින්න යන්න.
එහෙම බැහැපත් වෙන්න බැරිනම්, දිළිඳුන්ට උදව් කරන්න ආදරය කරන්න බැරි නම් නත්තලට පල්ලි යන්න එපා.
ඒකෙන් වැඩක් නෑ.
දිළිඳුන්ට ආදරය කරන්න බැරි හදවත් වලට නත්තල අයිති නෑ.!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු