නමක් ගමක් නැති පොඩි පොඩි දෙවි වරු

dewi

අප සමාජයේ ජන සම්මතයට අනුව ගම්බාර දෙවියන් යනු සුද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. අමාවක සිට පුර පසළොස්වක තෙක් ශුක්ල හෙවත් සුදු පැහැයෙන් යුතු එම දෙවියන් පුර පසළොස්වක සිට අමාවක තෙක් කෘෂ්ණ හෙවත් කළු පැහැයෙන් යුතු බව පැවසෙයි. මෙහි දී සුදු පැහැය යහපත සංකේතනය කරන අතර කළු පැහැයෙන් සංකේතනය වනුයේ අයහපත ය. ඒ අනුව සූනියම් ගම්බාර යනු හොඳට නරකට යන දෙක සඳහාම පිහිට ලබා ගත හැකි දෙවියකු බවට ජන සම්මතයක් තිබේ.

එහෙත්, සූනියම් ගම්බාර නොවන තවත් ගම්බාර හෝ ගම් හිමි දේවතා සමූහයක් ද අප සමාජයේ ජන ඇදහීම්වලට ලක් වෙති. මහේශාඛ්‍ය තබා අල්පේශාඛ්‍ය ගණයටවත් නොගැනෙන මෙම දේව සමූහය සම්බන්ධයෙන් බොහෝ විමර්ශකයන්ගේ අවධානයට යොමු වී නොමැති බවක් පෙනෙයි.සාමාන්‍යයෙන් බොහෝ දෙවිවරුන් සඳහා කැප වූ දේවාල තිබේ. එහෙත්, මෙම ගම් හිමි දෙවිවරුන් උදෙසා එවන් දේවාල නැත. එමෙන්ම බොහෝ දෙවිවරුන් සඳහා වන වාර්ෂික මංගල්‍ය, නානුමුර ආදී වත් පිළිවෙත් ආදිය ද තිබේ.නමුදු මෙම චූල සම්ප්‍රදායේ ගම්බාර හෙවත් ගම් හිමි දේවතාවන් සඳහා එවැනි කිසිවක් ද නැත. අනෙ`කක් තබා සෙසු දෙවිවරුන් සඳහා සිදු කෙරෙන කන්නලව්, යාතිකා, කෝල්මුර ආදී වන ආමන්ත්‍රණ ආදිය පවා මෙම දෙවිවරුන් උදෙසා සිදු කරනු නොලැබේ.

බොහෝ විට මෙම දෙවිවරුන් අදහනු ලබනුයේ සංහිඳ මුල් කර ගනිමිනි. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කොට ගැමි ජනතාව වන්දනා මාන කිරීම පිණිස යොදා ගන්නා ස්ථානයකි. නුවර කලාවිය, හත්කෝරලය ආදී ප්‍රදේශවල මෙන් වැව් බහුල නොවන ප්‍රදේශවල ද කෙත් වතු මස්තකය වැනි ස්ථානවල මෙම සංහිඳ දක්නට ලැබේ. ජන සම්මතයට අනුව මෙම සංහිඳ යන්න භූමිය අතිශය පවිත්‍ර ස්ථානයකි. කොටින්ම කිවහොත් කවර හේතුවක් මත හෝ එම සංහිඳ අවට පරිශ්‍ර‍යේ කිසිදු ගැමියෙක් ‘එළි බැසීම’ නමින් හඳුන්වන ශරීර කෘත්‍යය කිරීමටවත් නොපෙළඹෙයි.

නුවර කලාවිය සහ හත්කෝරලය ආදී ප්‍රදේශවල මෙම බොහෝ සංහිඳ අයියනායක දෙවියන් උදෙසා කැප වූ ඒවා වශයෙන් සලකනු ලැබේ. එහෙත් ඒ සංහිඳ හා සබැඳි පූජා චාරිත්‍ර විශේෂයක් නොමැති වීම මත හා අයියනායක දෙවිඳුන් නොඅදහන ප්‍රදේශවල පවා මෙබඳුම සංහිඳ දක්නට ලැබීම මෙය හුදෙක් එක් එක් ගම්මානයට ආවේණික ගම්බාර, ගම්හිමි හෙවත් ග්‍රාම දේවතා විශ්වාසයන් මත පදනම් වන කුඩා පූජනීය ස්ථාන බවට ද අනුමාන කළ හැක.

මාදම්පේ, තනිවැල්ලේ හෙවත් තනිය වල්ලභ දෙවියන් පිළිබඳ ප්‍රශස්ත අධ්‍යයනයක් සිදු කළ මාදම්පේ, මහවැව, මාලිගාවත්තේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය රෝහණ මද්දුමරාල මහතා වරක් මා හා මෙම අප්‍රකට ප්‍රාදේශීය දෙවිවරුන් පිළිබඳ අපූරු තොරතුරක් ගෙනහැර දැක්වීය. එනම් මාදම්පේ තිත්පිටිවැව ආශ්‍රිතව තනියවල්ලභ විශ්වාසය පැතිර ගිය සමය වන විට හාත්පස ගම්මාන ආශ්‍රිතව සංහිඳ ඇසුරෙහි ජන වන්දනාවට ලක් වූ ග්‍රාම දේවතා සමූහයා පසුව තනියවල්ලභ දෙවියන්ගේ පරිවාර දෙවිවරුන් වශයෙන් සැලකෙන්නට වූ බවයි. පසුව කල්ගත වී‍මේ දී ඒ ප්‍රාදේශීය දේවතා විශ්වාසයන් ද තනියවල්ලභ දේව විශ්වාසය තුළට අවශෝෂණය වීම නිසා අද වන විට ඒ ගම්හිමි, ගම්බාර වැනි ග්‍රාම දේවතාවන්ගේ අනන්‍යතාව අහිමි වී ඇති බව ද ඔහු මා හා කීය. මෙය අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.

මෙම චූල සම්ප්‍රදායේ දෙවිවරුන්ට බොහෝ විට අනන්‍ය වූ නමක් පවා නොමැත. එනිසා විවිධ ප්‍රදේශවල මෙම දේවතාවෝ ගම්බාර දෙවියන්, ගමේ මුත්තා යනුවෙන් හැඳින්වෙති. නමුදු සුවිශේෂ අනන්‍යතාවක් හෝ පුරාණොක්තියක් නොමැති වුව ද මෙම දෙවිවරුන් තම ජීවිතයේ දුක් කම්කටොලු විසඳා ගැනීම පිණිස පිහිට වන බවට පැරණි ගැමියන් තුළ අචල විශ්වාසයක් තිබේ. ඒ සඳහා ඔවුන් විසින් කරන ලද්දේ බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි සන්ධ්‍යා යාමයේ එම සංහිඳ මුල්කොට පහන් දැල්වීම විශේෂ අවස්ථාවන්හි කිරි ඉතිරවීම ආදී සීමිත යාතුකර්ම කිහිපයකි.

විමලරත්න කුමාරගම කිවිඳාණන්ගේ සුප්‍රකට ‘අයියනායක’ නම් පද්‍ය රචනයේ ද මෙබඳු සංහිඳක් පිළිබඳ සඳහන් වේ. එම කවි පන්තිය තුළින් ඔහු සඳහන් කරන ‘අලියා වැටුණු වැව’ යනු ආණමඩුව ය. එහි එම අයියනායක කවි පන්තිය සඳහා පාදක වූ සංහිඳ සම්බන්ධ වැඩිදුර විමසීම පිණිස මම මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණෙමි.තවමත් එම සංහිඳ පසුව ඉදි කරන ලද දේවාලයක් ද සහිතව කුරුණෑගල-පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආණමඩුව රෝහල අද්දර වැව් ඉහත්තාවේ දක්නට පුළුවන. එහෙත් අදටත් පාසල් දරුවන්ට පවා කටපාඩමින් කිව හැකි එම නුග රුකයේ වූ ‘කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ’ අප යන විට යම් ගිනි තැබීමකට ලක්ව තිබිණි. එය එම නුග රුකට ද විනාශකාරී බලපෑමක් එල්ල කරන්නකි. එම ගම්හිමි හෝ ගම්බාර දෙවිවරුන් සම්බන්ධ සංහිඳ එලෙස ගිනි තැබීම්වලට ලක් කරන ජන සමාජයකින් ඒ සම්බන්ධ පුරාවෘත්ත ඒකරාශි කිරීම ගින්නකින් යකඩ දැවී ගිය නිවසක පුළුන් සොයන්නාක් බඳු කාරියකැයි මට ඒ මොහොතේ සිතිණි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු වන කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර ජනශ්‍රැති ආදී මානව විද්‍යාත්මක විෂය පථයන් කෙරෙහි විශේෂ උනන්දුවක් පළ කරන විද්වතෙකි. වරක් ඔහු මා හමුවේ අනාවරණය කළ මෙම කතා ප්‍රවෘත්තිය ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.

‘අපේ මහ ගෙවල් ඉස්සරහ ඒ කියන්නේ මතුගම, බොරළුගොඩ, මඟුරු ගඟ ඉහත්තාවේ දූවේ මහ නුගේට අරක් ගත්තු දෙවි කෙනෙක් ඉන්නවා කියලා ප්‍රබල ජන විශ්වාසයක් ගම්මුන් අතරේ පැතිරිලා තිබුණා. නමුත් ගමේ කවුරුත් ඒ දෙවියන්ව නමකින් හඳුනාගෙන තිබුණේ නැහැ. ඒත්, අපි පුංචි කාලේ අපේ තාත්තා ඔය නුගේ අවට සුද්ද කරලා පහනක් තියන්න පටන් ගත්තා. ටික දවසක් මෙහෙම කළත් පස්සේ ලොකු ගංවතුරක් ඇවිත් මඟුරු ගඟ උතුරලා ගිය හින්දා තාත්තට මේ පහන තියන්න බැරි වුණා. කොහොම හරි එදා රෑ සුදු ඇඳගත්තු උපාසක පෙනුමක් තියෙන අද්භූත පුද්ගලයෙක් තාත්තා ඉස්සරහ හීනෙන් පෙනි ඉඳලා තියෙනවා. ඒ පුද්ගලයාගේ අතේ වේවැලකුත් තිබුණලු. කොහොම හරි ඒ පුද්ගලයා ‘කරන්න බැරි වැඩ පටන් ගත්තේ මොකටද?’ කියලා තාත්තාට හීනෙන් තර්ජනය කරලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ තාත්තා ඒ පහන තැබීමත් එතැනින්ම නතර කළා.’

සුනිල් කන්නන්ගරයන්ගේ එම ප්‍රකාශයට විවිධ අයුරින් සමාන පුවත් නොයෙක් විට මට අසන්නට ලැබී තිබේ. ඒ අතුරින් වැඩිම කතා ප්‍රමාණයක් අසන්නට ලැබී ඇත්තේ නුවර කලාවිය සහ හත් කෝරලය ආශ්‍රිතව ය. අනුරාධපුර රුවන්වැලි සෑ ආරාමයේ කැපකරුවකු ලෙස කටයුතු කරන ඩී.එම්. මුතුබණ්ඩා මහතා පවසන අන්දමට අතීතයේ මහා වනාන්තරවල ගස් කැපීමට යන්නවුන්හට ද ඊට පෙර දින රාත්‍රියේ සිහිනයෙන් පෙනී සිටිමින් එසේ නොකරන ලෙස අවවාදාත්මකව ප්‍රකාශ කළ අද්භූත පුද්ගලයන් ගැන අත්දැකීම් රැසක් ගැමියන් තුළ තිබේ. ඔවුන් විශ්වාස කරන පරිදි එසේ සිහිනයෙන් පෙනී සිට අවවාද කරනුයේ එම වනගත ප්‍රදේශවලට අධිපති වන්නිනායක දෙවිඳුන් ය.එනිසාම හේන් වගාව සඳහා වන මුල්ම කාරිය වන වනපෙත එළි පෙහෙළි කිරීම “වල් අත්ත කැපීම”යනුවෙන් හඳුන්වන පැරණි ගැමියෝ එය යායේ රාළ නම් වන ප්‍රජා නායකයකු විසින් පමණක් කළ යුතු ආධ්‍යාත්මික කාරියක් සේ සලකති.එහෙත්,මෙම අයියනායක දේවත්වය තුළට අවශෝෂනය වූ වෙනත් ප්‍රාදේශීය දෙවි වරු ද සැලකිය යුතු ප්‍රමාණයක් හිඳින බව මගේ වැටහීම ය.

කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටියේ රන්වල දේවාලය එම මාර්ගයේ ගමන් කරන්නවුන් අතරේ අතිශය ජනප්‍රිය පුදබිමකි. එහෙත්, එය අතීතයේ රන්වල දෙවියන් සඳහා වෙන් වූ පුදබිමක් නොවන බවටත් 1900-1902 යන වසරවල දී එම ස්ථානයේ තිබූ කරත්තකරුවන්ගේ ගිමන්හලක් වූ තේ කෝපි කඩයක් අද්දර වූ අඹ ගසක් මුල් කොටගත් සංහිඳක් බව කී කිරිඳිවැල ඒ.එම්. සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් හෙළි කළේ මෙබඳු පුවතකි.

‘මගේ අම්මාගේ තාත්තා ඉස්සර ඒ පැත්තේ හිටපු ප්‍රභූවරයෙක්. ඒ කාලේ ඔය කියන තේ කෝපි කඩේ ප්‍රධාන කෑමක් හැටියට තිබිලා තියෙන්නේ පොල් එක්ක හිඟුරල කියන අල ජාතිය. ඒ හින්දා ඒ කාලේ මිනිස්සු ඒ පැත්තටත් හිඟුරල කියන නම ම පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඉස්සර ඔය කඩේ වැඩ කරලා තියෙනවා උඩරට තේ වත්තකින් ගෙනාපු කොල්ලෙක්. දෙමළෙන් කොල්ලට කියන්නේ පොඩියෙන් කියලානේ. ඒ කඩේ මිනිස්සුයි කරත්තකාරයොයි පොඩියෙන් කියලා කතා කරපු ඒ කොල්ලා පස්සේ ‘පොඩියා’ විදියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉස්සර ඔය තේ කෝපි කඩේ ඉස්සරහා තිබුණලු රූස්ස අඹ ගහක්. ඉතින් කාලයක් යනකොට මේ ගෙඩියා ඒ ගහ වටේ සුද්ද කරලා හැමදාම හවසට ඒ ගහට පානක් තියන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි පොඩියගේ මේ පුරුද්දට සමහර කරත්ත කාරයොත් යොමු වෙලා එතැන ‘පහන ළඟ’ කියලා ප්‍රසිද්ධ වුණාලු. මේ පොඩියා පස්සේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණා කියලත් අම්මා කිව්වා. ඊට පස්සේ තමයි ඔය පුවක්පිටියේ දේවාලය හිඟුරල පහන ළඟ කියන නමින් රන්වල දෙවියන්ට කැප කරලා තියෙන්නේ.’ සේනාරත්න මහතා කීය.

ඉහත සඳහන් කතා ප්‍රවෘත්තීන්ගෙන් අපට වටහා ගත හැකි ප්‍රධානතම කරුණක් තිබේ. එනම් අප සමාජයෙන් වැඳුම් පිදුම් ලබන ප්‍රධාන පෙළේ දෙවි දේවතාවුන් නොවන අඩුම තරමින් හරියකට නමක් ගමක් වත් නොමැති ප්‍රාදේශීය දෙවි වරුන් ද සැලකිය යුතු පිරිසක් සිංහල බෞද්ධ සමාජයේ ඇදහීමට ලක් වන බව ය.

තිලක් සේනාසිංහ

 

උරුමයක අසිරිය