අද (20) ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා දිනයයි. මේ ලිපිය කියවන අවස්ථාව වන විටත් එම ජනාධිපතිවරයා තෝරා පත් කරගෙන තිබෙන්නට පුළුවන. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහස්පෙරුම හෝ අනුර දිසානායක යන තිදෙනාගෙන කවුරුන් ජනාධිපති වුවත් ජාතියක් වශයෙන් ජය පැන් බොන්නට අපට නුපුළුවන. ඊට හේතුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය රෝහල් දැඩි සත්කාර ඒකකයක වෙන්ටිලේටරයක ආධාරයෙන් ජීවිතය ගැට ගසා ගන්නා රෝගියකුගේ ත්ත්වයට පත් ව ඇති නිසා ය.ආර්ථික වශයෙන් රට ඇත්තේ ඉතා අවදානම් තැනකය.මේ වන විට රට බංකොලොත් වී අවසන් ය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ මෙම දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් ඇදී ගියහොත් රට වසා දැමීමට සිදුවනු ඇති බවකි. ආර්ථික වශයෙන් රට විදෙස් ණය ගෙවිමේ හැකියාවක් නොමැති බව මහ බැංකුව විසින්ම ප්‍රකාශයට පත් කොට අවසන් ය.
අදටත් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් නැත . මේ නිසා ජුනි මස අවසාන සතියේ සිට ජුලි මස 21 දක්වා තෙල් සංස්ථාවට ඉන්ධන නොමැතිව සිපෙට්කෝ පිරවුම් හල් 1200 ට වැඩි ගණනක් වසා දමා තිබිණ. ඉන්ධන බෙදා හැරුණේ ඉන්දියානු IOC තෙල් සමාගමේ පිරවුම්හල් 300 ගණනින් පමණි. එම නිසා රජයේ කාර්යාල, පාසල් තාවකාලිකව වසා දැමීමට රජයට සිදුවිය.
මේ සියල්ලටම හේතුව රටේ ඩොලර් අර්බුදය ය. රටේ ඩොලර් සංචිත බින්දුවටම වැටී අවසන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කෙරුණු සාකච්ඡා අතරමඟ නතරව ඇත. එකවරම රට තුළ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වයත් සමඟ ය. අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අරම්භ කළේය.
අයි.එම්.එෆ් නියෝජිතයෝ මෙරටට පැමිණියා සේම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීමට ජාත්‍යන්තර සංවිධාන දෙකක් මෙරටට පැමිණියේය. ඔවුන් රටේ ණය ගැන අධ්‍යයනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වාර්තාවක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. එය යොමු කිරීමට නියමිතව තිබුණේ ජුලි මස දෙවන සතියේ වුවත් ඉකුත් 09 දා රටේ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එය ප්‍රමාද වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් අගොස්තු මාසය වෙන් කර ගෙන තිබුණ ද දැන් එය ද දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. මේ සියළු කාරණා සමඟ රට දිනෙන් දින පසුපසට යමින් තිබේ.
මූල්‍ය අස්ථාවරත්වයක් නොමැතිව රට ඉදිරියට යන්නේ නැත. පවතින මේ බැරෑරුම් තත්ත්වයෙන් රට ගොඩ ගැනීමේ වගකීම පවතින නව ජනාධිපතිවරයා සතු ය. ණය පුතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය තවමත් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැත. එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන ණය තවදුරටත් ප්‍රමාද වනු ඇත. එය බංකොලොත් රටක් ලෙස දරාගැනීමට ඉතා අපහසු තත්ත්වයකි. නමුත් ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනෙකු මෙය දන්නවා ද යන පැනය මතුවේ.
එසේම ජනතාවත් බලාපොරොත්තුව සිටින්නේ අලුත් ජනාධිපතිවරයා පත්වූ විගස රටේ සියළු ප්‍රශ්න ක්ෂණයකින් විසදෙනු ඇති බව ය. එහෙත් එය සිතන තරම් පහසු කාර්යයක් නොවේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසන්නේ තෙල් නැවක් පැමිණි පමණින් මෙම ගැටළුව විසඳෙන්නේ නැති බව ය. එසේ නම් අඛණ්ඩව තෙල් සපයා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුමක් තිබිය යුතු ය.ඒ කෙසේ හෝ නරකම පාලකයා පලවා හැරි පමණින් බලයට පත් වන්නා හොඳම පාලකයකු වීමට ඇති ඉඩ කඩ ඉතා අඩු ය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පන්නා දැමූ අරගල කරුවන්වත් මේ ගැඹුරු තත්ත්වය තේරුම් ගෙන ඇතැයි ඔවුන් කියන කරන දේ දෙස බැලූ විට අපහැදිලි ය. රටේ තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සැබෑවටම දන්නේ මහ බැංකුව හා ආර්ථිකය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන විශේෂඥයන් පමණකි. අද දිනය තුළ ජනාධිපතිධූරයට පත්වන ජනාධිපතිවරයා හමුවේ ගොඩ ගැසෙන බැරෑරුම්ම ප්‍රශ්න මේවා ය.
රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දේශීය ආර්ථිකය මත රැඳී සිටීමෙන් ප්‍රයා්ජනයක් නොමැත. ආර්ථික අර්බුදයෙන් මිදීමට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති පමණක් ප්‍රමාණවත් නොවේ ජාත්‍යන්තරය සමඟ පැහැදිලි ගණුදෙනුවක් ඇති කර ගත යුතුමය. ජනාධිපති වන පුද්ගලයා මේ කාරණය සම්බන්ධයෙන් සංවේදී විය යුතු සේම ඒ සම්බන්ධ විචක්ෂණ භාවයක් ද ඔහු සතු විය යුතු ය.පාලකයාගේ අවංක භාවය ජනතාව කෙරෙහි ඔහු දක්වන ආදරය ආදී මේවා ඉහත අර්බුදය විසඳීම පිණිස වන තීරණාත්මක කරුණු නොවේ.
භූ දේශපාලනය අනුව වුව ඉන්දියාව හා චිනය යන රටවල් දෙක සමඟම සමබරව කටයුතු කළහොත් පත්වන ජනාධිපතිවරයාට මෙන්ම රටටත් සෙතක් වනු ඇත. එසේ නොමැතිව ඒක පාර්ශවීය වුව හොත් රට තව දුරටත් වලපල්ලට යනවා මිස ගොඩ ඒමක් නොමැත. පත්වන ජනාධිපතිවරයා මේ සියළු කාරණා ගැන සිතිය යුතුය.
රටේ අරගලකරුවන් අන්තර්වාර පාලනයක් ඉල්ලා සිටියත්, සර්ව පාක්ෂික පාලනයක් ඉල්ලා සිටියත් මේ දේශපාලන විසදුමට සමගාමීව ආර්ථික විසදුමක් ද තිබිය යුතුය. එය ජාත්‍යන්තරය ද පිළිගත් විසඳුමක් විය යුතු ය. එක පසෙකට පමණක් බර වූ පාලනයක් ද නොවිය යුතුය.එමෙන්ම ජන අරගලයක් දුර දිග යා යුත්තේ රටේ ආර්ථික සමාජ ස්ථාවර භාවයක් ඇති වන තෙක් පමණි.එසේ නොමැතිව රටේ ව්‍යවස්ථාව නීති පද්ධතිය අතික්‍රමණය කරමින් නිරන්තරයෙන් අරගල කිරීම රට නරකම පාලකයකු අතට පත් වීමටත් වඩා අන්තරායකාරී වනු ඇත.
ලසන්ත වීරකුලසූරිය