ඉන්දියාවේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මුල් භාගයේ ය. නමුත් මේ වනවිටත් මැතිවරණ උණුසුම ඉහළ යන්නට පටන්ගෙන තිබේ. ඉන්දියානු ඉතිහාසයේ පහළ වූ ප්‍රබලම නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදිට එම මැතිවරණයේ දී දැඩි සටනක් දීමට එරට විරුද්ධ පක්‍ෂ කඳවුරු බඳින්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකිය හැකි වේ. මැතිවරණයේ දී තනි තනිව සටන් කරනු වෙනුවට පොදු පෙරමුණක් යටතේ සටන් කිරීමට එම පක්‍ෂ සැලසුම් කරමින් සිටියි. විපක්‍ෂයේ ප්‍රබල නායකයෝ රැසක් මෙම පොදු පෙරමුණ ගොඩ නැගීමේ කටයුතුවල මේ වනවිට නිරත වෙමින් සිටිති.
මෙම පෙරමුණට අදාළ වැදගත් රැස්වීමක් සඳුදා සහ අඟහරුවාදා (17 සහ 18 දිනවල) කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බෙංගලූරු හි දී පැවැත්විණි. ඉන්දියානු විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන කොංග්‍රස් පක්‍ෂයේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති (කරුණානිධිගේ පුත්) එම්.කේ. ස්ටාලින්, තවත් ප්‍රබල ප්‍රාදේශීය නායකයන් වන (දිල්ලි මහ ඇමැති) අර්වින්ද් කෙජ්රිවාල් සහ (බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි) මමතා බැනර්ජි වැනි අය මෙම හමුවට සහභාගි වී සිටියහ. සමස්තයක් ලෙස පක්ෂ 26 ක් මේ වනවිට මෙම පෙරමුණට එක්ව සිටියි.
අඟහරුවාදා පැවැති හමුවේ දී ඔවුන් මෙම පෙරමුණට අපූරු නමක් යොදා තිබේ. ඒ INDIA යනුවෙනි. එහි තේරුම Indian National Development Inclusive Alliance යන්න යි. මෙහි සභාපති ධුරයට සෝනියා ගාන්ධි පත්වීමට ඉඩ ඇති බවට ද ආරංචි පළ වී තිබිණි. INDIA-පෙරමුණ ප්‍රබල බලවේගයක් ලෙස ගොඩ නැගෙන්නට සමත් වුවහොත් 2024 මහා මැතිවරණයේ දී මෙම දෙපාර්ශවය අතර උණුසුම් සටනක් දැක ගැනීමට හැකි වනු ඇත. මහා මැතිවරණයේ දී ආසන බෙදා ගන්නා ආකාරය සහ පක්‍ෂ සියල්ලට එකඟ විය හැකි පොදු වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් පෙරමුණේ ඉහත කී හමුවේ දී සාකච්ඡා කර තිබිණි. මෙම පක්‍ෂවල මීළඟ සාකච්ඡාව මුම්බායි හි දී පැවැත්වීමට ද එහි දී තීරණය වී තිබේ.
මේ වනවිට ඉන්දියාව පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්‍ෂය නායකත්වය දරණ සන්ධානයක් විසිනි. ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යි. මෙහි ශක්තිය බොහෝ දුරට රැඳී පවතින්නේ මෝදිගේ දක්‍ෂතාව සහ ආකර්ශණීයත්වය මත ය. මෝදි සැලකෙන්නේ පරාජය කිරීමට අපහසු නායකයකු ලෙසිනි. කෙසේ නමුත් පසුගිය මැයි මාසයේ පැවැති කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලය නිසා එරට දේශපාලන ගමන් මගෙහි යම් වෙනසක් පිලිබඳ ඉඟියක් මතු විය. එම ප්‍රාන්ත සභාවේ ඒ වනවිට බලයේ සිටි භාරතීය ජනතා පක්‍ෂය පරාජය කරමින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කොංග්‍රස් පක්‍ෂය සමත් වූයේය. මෙම සිදුවීම විරුද්ධ පක්‍ෂ තුළ විශාල උත්තේජනයක් ඇති කළ සිදුවීමක් වූ බව පෙනිණි. කර්ණාටක ප්‍රාන්ත සභාවේ ආසන 224 න් ආසන 135 ක්ම දිනාගන්නට කොංග්‍රස් පක්‍ෂයට හැකි විය. භාරතීය ජනතා පක්‍ෂයට දිනාගත හැකි වූයේ ආසන 66 ක් පමණි. මෙය එම පක්‍ෂය ලැබූ විශාල පරාජයක් විය.
ප්‍රාන්ත මැතිවරණයක දී මෙවැනි තත්ත්වයක් ඇති වුව ද ජාතික තලයේ දී මෝදි සහ භාරතීය ජනතා පක්‍ෂය තවමත් ප්‍රබල තත්ත්වයක පසුවෙයි. නමුත් විරුද්ධ පක්‍ෂ නව ජවයකින් යුතුව වැඩ කරන්නට පටන්ගෙන තිබීමත් සමග ඉදිරියේ දී මෝදිට සහ ආණ්ඩු පක්‍ෂයට යම් අභියෝගයක් එල්ල වන්නට ඉඩ තිබේ.
ඉන්දියානු පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත ය. ඒ රාජ්‍ය සභාව සහ ලෝක් සභාව යනුවෙනි. මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලෝක් සභාව වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමට ය. මෙම මන්ත්‍රී මණඩලය ආසන 543 කින් සමන්විත වේ. මේ වනවිට එයින් ආසන 332 ක්ම හිමි කරගෙන සිටින්නේ භාරතීය ජනතා පක්‍ෂය නයකත්වය දරණ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යි.
විරුද්ධ පක්‍ෂ බෙංගලූරු හි ඉහත කී රැස්වීම පවත්වද්දී භාරතීය ජනතා පක්‍ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සෙසු පක්‍ෂ දිල්ලි හි හමුවක් පවත්වා තිබිණි. මෙයට පක්‍ෂ 38 ක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙම හමුව පවත්වා තිබුණේ අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. අලුත් පක්‍ෂ කිහිපයක් ද එදින සන්ධානයට අලුතෙන් එක් වූ බවක් ද වාර්තා වේ. මෙම හමුව බොහෝ දේශපාලන නිරීක්‍ෂකයන් හඳුන්වා තිබුණේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ශක්තිය පෙන්වීම සඳහා පවත්වන ලද්දක් ලෙසිනි.
නිහාල් පීරිස්